Home » විවාහයට සුදුසු කතකගේ දේහ ලක්ෂණ දැනගන්න

විවාහයට සුදුසු කතකගේ දේහ ලක්ෂණ දැනගන්න

මනාලියකට මනා රූසපුවක් අවශ්‍යමයි

by sachintha
January 27, 2024 1:04 am 0 comment

සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළ සිරිතට විරිතට අනුව විවාහයක් සිදු කිරීමට යාමේදී මනාලියක් බලන්නට යාම සිරිතකි. ජන්ම පත්‍ර හොඳින් ගැළපීනම් සමාජයීය වශයෙන් ද දෙපාර්ශ්වය ගැළපේ නම් ඉන්පසු එළැඹෙන පියවර වනුයේ යෝජිත තරුණිය බලන්නට යෑමය. අනෙක් සෑම කාරණයකදී මෙන්ම මෙහිදී ද මුලින්ම ක්‍රියාත්මක වනුයේ තරුණයාගේ පාර්ශ්වයයි. නෑදැයන් කීපදෙනෙකු සමඟ යන මෙම ගමන බෙහෙවින් තීරණාත්මක වනුයේ මංගල්‍යය සිදුවන බව හෝ සිදු නොවන බව හෝ තීන්දු කරන ගමන බැවිනි. මෙහිදී මනාලයකු වන්නට සිහින මවන තරුණයාට නිෂේධ බලයක් හිමි වේ.

මනාල මහතා සමඟ යන නෑදෑයන් යෝජිත මනාලියගේ නිවැසියන් සමඟ ගෙමිදුලේ සුහද කතාබහක යෙදෙන අතර, යෝජිත මනාලිය සමඟ දොඩමලු වන්නට මනාල මහතාට ලැබෙන මඳ අවසරය නුවණැති තරුණයෙකුට නම් ඇය මනා-ලියක් දැයි හඳුනා ගන්නට හොඳට ම ප්‍රමාණවත් ය. මනා-ලියක් වන්නට නම් මනා ගති පැවතුම්, මනා කතාබහක් සහ මනා රූසපුවක් අවශ්‍ය වේ. කපු මහතාගෙන් හෙළි නොවූ බොහෝ තොරතුරු තරුණියගෙන් හෙළි කර ගන්නට බුද්ධිමත් තරුණයාට හැකි වේ.

පෙර විසූ ජ්‍යොතිෂ ආචාර්යවරු සිය ඉගැන්වීම්වලදී මනාලියක සතු විය යුතු ලක්ෂණ සහ මනාලියක සතු නොවිය යුතු ලක්ෂණ රැසක් ද දක්වා ඇත. ශරීර ලක්ෂණ මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව යහපත් වූ මනාලියක සතු විය යුතු දේහ ලක්ෂණ රාශියක් අතරින් ස්වල්පයක් මෙහි සඳහන් කරමි.

සීනු හඬකින් යුක්ත මනා වූ කටහඬක් පැවතීම එක් ලක්ෂණයකි. කතාබහේදී ප්‍රිය වචන සංයමයකින් යුක්තව භාවිත කරන්නට දැනගෙන සිටීමද තවත් එක් ලක්ෂණයකි. ඉතාම සිනිඳු ලොම් සහිත සිරුරක් තිබීම මෙන්ම සිහින් දත් පිහිටා තිබීම සහ දත් අතර හිඩැස් නොතිබීම වැදගත් දේහ ලක්ෂණ වේ. හංසයෙකුගේ හෝ ඇතින්නකගේ හෝ ගමන් විලාසයක් දැරීමද නිල් පැහැති දිගටි ඇස් පිහිටා තිබීමද වැදගත්ය. ශරීරයේ ප්‍රමාණයට ගැළපෙන පයෝධර තිබීම සහ සමස්ත ශරීරය උසට සහ මහතට ගැළපෙන සේ පැවතීමද මනාලියක සතු විය යුතු අංගෝපාංග ලෙස ජ්‍යොතිෂ ආචාර්යවරු දක්වා ඇත.

පෙර කී ආචාර්යවරු දක්වා ඇති පරිදි විවාහ කර ගැනීමට නුසුදුසු ස්ත්‍රීහු ද වෙති. එබඳු ස්ත්‍රීන්ගේ ලක්ෂණ රාශියක් අතරින් කීප දෙනෙකු පමණක් මෙහි සඳහන් කරමි. ගොර ගොර ශබ්ද සහිත කටහඬක් පැවතීම, තොරතෝංචියක් නොමැතිව දොඩමලු වීම, කතාබහ අතරට අපහාස – උපහාස සහ පිහි පාරවල් බඳු වචන භාවිත කිරීම වැනි ලක්ෂණ සහිත ස්ත්‍රීන් විවාහය සඳහා තෝරා නොගත යුතු බව දැක්වේ.

එමෙන්ම අඳුරු වර්ණයෙන් යුක්ත ඇස් තිබීමද, දැවැන්ත වූ පයෝධර තිබීමද, පිරිමියෙකුගේ මෙන් අත්පාවල දැවැන්ත මස්ගොබ තිබීමද මනාලියකට නොතිබිය යුතු ලක්ෂණ වේ. රෝම රහිත හෝ අධික ලෙස රෝම සහිත වූ ස්ත්‍රීන් ද විවාහය සඳහා නුසුදුසුය. දෙබැම එකට යා වී තිබෙන්නා වූ ද කෙණ්ඩා දෙකෙහි රෝම රැසක් තිබෙන්නා වූ ද, අතිශයින් කෙට්ටු වී ගිය සිරුරක් තිබෙන්නා වූ ද, දුප්පත් ළැම පෙදෙසක් තිබෙන්නා වූ ද, බැලූ බැල්මට පිරිමියෙකු ලෙස පෙනෙන්නා වූ ද ස්ත්‍රීහු විවාහයට නුසුදුසු බව ජ්‍යොතිෂ ආචාර්යවරුන්ගේ මතයයි.

වර්තමානයේදී ඇගයීමට ලක්වන ලක්ෂණයක් වන සිනාසෙන විට දෙකොපුල වළ ගැසීම පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු දකිනුයේ නුසුදුසු ලක්ෂණයක් ලෙසය.

විවාහයකට ස්ත්‍රියක් තෝරාගැනීම සම්බන්ධ තොරතුරු රැසක් ඉහතින් දක්වා ඇත්තේ විස්තර සහිතවය. වර්තමානය වන විට විවාහයකට ඇති සුදුසුකම ඉතා කෙටි නිර්ණායක තුනකට සීමා වී ඇත. ඒවා නම් දැනුම, පෙනුම සහ ගිණුම යි. එම නිර්ණායක තුන දැවැන්ත අදහස් රාශියක් කැටිකර දැක්වීමකි. ස්ත්‍රියකගේ දැනුම, පෙනුම සහ ගිණුම පරීක්ෂා කර බැලීම විවාහයක් සඳහා කරන තෝරාගැනීමකට සුදුසු නිර්ණායක ලෙස දැකීම නරකම නැහැ නේද?

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අසෝක විජයසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division