Home » ලග්න හතකට ඉහළ සුබපල
ත්‍රිග්‍රහ සංයෝගයක් උදා කරමින් බුධ ග්‍රහයා මකර රාශියට

ලග්න හතකට ඉහළ සුබපල

by sachintha
January 27, 2024 1:00 am 0 comment

ග්‍රහ ලොව බුද්ධිමතා ලෙස සැලකෙන බුධ ග්‍රහයා පෙබරවාරි 01 වැනිදා පස්වරු 2.30ට මකර රාශිගත වීමත් සමඟ මේෂ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන ලග්න හිමියන්ට ඉතා සුබදායක වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

සෙසු ලග්න හිමියන්ට ද සුබ අසුබ මිශ්‍රව ලැබෙන අතර නුවණින් සිතා බලා බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සියලු දෙනාටම සියලු බාධක ජයගෙන තම කටයුතු සාර්ථක කරගත හැකිය.

මකර රාශිය අයත් වනුයේ සෙනසුරුටය. පෙබරවාරි 20 වැනිදා දක්වා දින 20ක කාලයක් බුධ ග්‍රහයා එහි සිටින අතර විශේෂයෙන් මේ කාලය මොළය වෙහෙසවා, ඥානයෙන් කටයුතු කරන අයට ඉතා සුබදායකය. මේ අතර පෙබරවාරි 05 වැනිදා කුජ ග්‍රහයාද මකර රාශියට පිවිසේ. රවි ග්‍රහයා ද මෙකී දිනවල මකර රාශියේ ගමන් කරන බැවින් ඉන් ත්‍රිග්‍රහ සංයෝගයක්ද උදා වෙයි. පෙබරවාරි 12 වනදා සිකුරු ද මකර රාශියට පිවිසෙන අතර ‍ඉන් කුජ බුධ සිකුරු ත්‍රිග්‍රහ සංයෝගය උදා වෙයි.

මෙසේ ශනිගේ රාශියකට බුධගේ පැමිණීම රටේ ඉංජිනේරු, වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල විශාල දියුණුවකට මඟ පාදයි. එම ක්ෂේත්‍රවල පවතින බොහෝ ගැටලු නිරාකරණය වන අතර වෛද්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අයට ජනතා ප්‍රසාදය හිමිවන ආකාරයේ සුවිශේෂ සිදුවීම් සිදු වේ. විශේෂයෙන් ශල්‍යකර්ම ආදිය ඉතා සාර්ථක වෙයි. විද්‍යා හා කාර්මික අංශයේ නව සොයා ගැනීම් සිදුවේ. ඉතා සියුම් දේවල්වලට ද අවධානය යොමු වන කාලයක් වෙයි. රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ට ඉතා සුබදායක අතර ඔවුන්ටද මහජන ප්‍රසාදය හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ටද මෙම කාලය තුළ වැඩි ලාභ ලබා ගැනීමට හැකි වේ. සංගීත වැනි කලා ක්ෂේත්‍රවල නිරත අයට නව නිර්මාණ බිහි කිරීමට හැකි වෙයි. විශේෂයෙන් මෙම කාලය නුවණ යොදා ගන්නා තීරණ රටේ යහපතට හේතු වන කාලයක් ලෙස සැලකිය හැකිය. ග්‍රහ මාරුව ඒ ඒ ලග්න හිමියන්ට බලපාන ආකාරය මෙලෙසිනි.

මේෂ – මේෂ ලග්න හිමියන්ට වඩාත් සුබදායක වේ. ආදායම් ඉහළ යයි. මිල මුදල් ලාභ හිමි වෙයි. මෙරට හා පිටරට රැකියා බලාපොරොත්තු ඉටු වේ. උසස් වීම් හිමි වේ. ජනතා ප්‍රසාදය හිමි වේ.

වෘෂභ – වෘෂභ ලග්න හිමි ඔබ මෙම කාලයේ රෝග පීඩාදියෙන් තරමක් ප්‍රවේශම් විය යුතුය. ඔබේ ගෞරවයට හානි විය හැකි බැවින් සෑම විටම ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. මිල මුදල් භාවිතයද ඉතා අරපරෙස්සමෙන් සිදු කළ යුතුය.මිථුන – මෙම ග්‍රහ මාරුව මිථුන ලග්න හිමි ඔබට සුබදායකය. රැකියා, වෙළෙඳාම් කටයුතුවලින් ආදායම් හා දියුණුව ලැබේ. සතුරු කරදර දුරු වේ. දරුවන්ගේ දියුණුව ඇති වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ඉතා සුබදායකය. ජයග්‍රහණ අත් වේ.

කටක – කටක ලග්න හිමියන්ට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. වියදම් අධික වේ. එහෙත් මිල මුදල් ලාභ හිමි වේ. රැකියා කටයුතුවලට බාධා මතු වේ.⁣ සෞඛ්‍ය තත්ත්වයද එතරම් යහපත් නොවනු ඇත. විදේශ ගමන් පිළිබඳ සුබදායී බලාපොරොත්තු තැබිය හැක.

සිංහ – ලියකියවිලි කටයුතුවල නිරත සිංහ ලග්න හිමියන්ට බුධ මාරුව වඩාත් සුබදායකය. කීර්ති ප්‍රශංසා හිමි වේ. මිල මුදල් ලාභ ලැබේ. තමාගේ වචනයේ බලයට අන් අය යටත් වේ. ධෛර්යය, උනන්දුව සහිත දියුණුවට කටයුතු සලසාගත හැකි කාලයකි.

කන්‍යා – කන්‍යා ලග්න හිමි ඔබේ තනතුරු උසස් වේ. උසස් අයගෙන් ගරු සැලකිලි ලැබේ. සතුරන් පරාජය වේ. තරග විභාගාදිය පහසුවෙන් සමත් වේ. බලාපොරොත්තු බොහෝ දුරට ඉටු වේ.

තුලා – තුලා ලග්න හිමි ඔබ කරගෙන ආ වැඩ කටයුතුවල දියුණුවක් මේ කාලයේ ඇති වේ. අලුත් වැඩ ආරම්භ කිරීමටද සුදුසුය. කීර්ති ප්‍රශංසා හිමි වේ. සතුරන් පරාජය වේ. පවුලේ දියුණුව සැලසේ. විශේෂයෙන් මවට හොඳයි.

වෘශ්චික – වෘශ්චික ලග්න හිමි ඔබට මෙම බුධ මාරුව මිශ්‍ර ඵලදායක වේ. ඔබ යහපත් අරමුණකින් කරන කටයුතුවලින් වුවද ඇසුරු කරන අය සමඟ සිත් බිඳීම් ඇතිවිය හැකිය. අලුත් මිතුරන් ඇසුරට අවස්ථාව හිමි වේ. බලාපොරොත්තු ඉටු කරගැනීම තරමක් අසීරු වේ. අධික වියදම් යෙදේ.

ධනු – මෙම කාලයේ ධනු ලග්න හිමි ඔබේ රැකී රක්ෂා කටයුතුවල විශාල දියුණුවක් ඇති වේ. ධන ලාභ හිමි වේ. තත්ත්වය උසස් වේ. ඔබේ වචනයට අන් අය අවනත වේ. ඉගෙනීමේ කටයුතු දියුණු වේ. පෙර පින් මතු වේ.

මකර – මෙම කාලය තුළ ඔබේ වැඩ කටයුතුවල වෙනසක් ඇතිවිය හැකිය. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව ලැබේ. ඒවා ඔබේ යහපත පිණිස වේ. ලියකියවිලි වැඩවලින්ද සාර්ථක ප්‍රතිඵල ලැබේ. හිස, උගුර ආශ්‍රිත අසනීප ඇතිවිය හැකිය.

කුම්භ – මෙම ග්‍රහ මාරුව කුම්භ ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක වේ. ආදායම් වැඩි වේ. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට, ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ලැබේ. සමාජය තුළ ඔබේ නම ප්‍රසිද්ධ වේ. රෝග පීඩා, අපවාද ආදිය ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

මීන – මීන ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතුවලට මෙම කාලය ඉතා සුබදායකයි. ඒ සඳහා උනන්දුව වැඩි වේ. නුවණ දියුණු වේ. නීරෝගි වේ. සිතට කයට සතුට සැනසීම ඇති වේ. ආර්ථික ලාභ හිමි වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යාවේදී, විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division