Home » ජීවිතේට සතුට ගෙනාපු මිනිස්සුන්ට වගේම කඳුළ වේදනාව තරහ වෛරය අරන් ආපු අයටත් පින් දෙන්න

ජීවිතේට සතුට ගෙනාපු මිනිස්සුන්ට වගේම කඳුළ වේදනාව තරහ වෛරය අරන් ආපු අයටත් පින් දෙන්න

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

ජීවිතේ පුරාවටම අපි අවට ඉන්න මිනිස්සුන්ව අපි ළඟ තියෙන එක එක භාජනවලට දාලා වර්ග කරනවා. ඔය වර්ග කිරීම අපේ දැනුම, ආකල්ප, මානසික මට්ටම, බුද්ධිය, වයස ඔය දේවල් එක්ක වෙනස් වෙන්න පුළුවන්.

පුංචි පුංචි වෙනස්කම් තිබුණට බහුතරයක් මිනිස්සු ජීවිත කාලය පුරාවටම බැඳීම්වල පවතින ස්වභාවය අනුව තමන්ගෙ මානසික පහසුව තකා මිනිස්සුන්ව වර්ග කරනවා.

එයා නිසා මට රිදුණා, එයා නිසා මාව තනි වුණා, එයා මාව රැවට්ටුවා, එයා මට බොරු කළා, එයා මට වංචා කළා, එයා මගෙ හිත කැඩුවා…. ඔය වගේ චෝදනා එක්ක අපි අවට ඉන්න මිනිස්සුන්ව අපි එක එක වර්ගවලට බෙදනවා.

නමුත්, තව කෙනෙක්ගෙ ක්‍රියා කලාපයක් නිසා ඔබට දැනුන හොඳ හෝ නරක හැඟීම වෙනුවෙන් කිසිවෙකුට චෝදනා කරන්න එපා .

ජීවිතය කියන්නෙ හිස් කොළයක්. ඒ කොළය තුළ වෛයිවර්ණ හැඩ තල මවන්න ඔබට එක එක පාට පෙන්නලා දෙන්නෙ අන්න ඒ උඩ කියපු පිරිස තමයි .

ඔබ නොසිතුවාට ඔබට නොදැනීම විශ්වවිද්‍යාල සීයක ගියත් ගන්න බැරි උපාධි එක එක විදිහේ මිනිස්සු ඔබ ළඟටම ගෙනත් දීලා යනවා.

අද කෙසේ වෙතත් පසු කාලෙක ජීවිතේ ඉස්සරහට යන්න, හිත හයිය කරගන්න, කුණාටුවලට මුහුණදෙන්න උදව් වෙන්නේ අර එක එක විදිහේ මිනිස්සු ඔයාට උගන්නපු දේවල්ම තමයි. ජීවිතේට පන්නරය ලැබෙන්නෙ ඒ විවිධ මිනිස්සුන්ගේ විවිධ හැසිරීම් රටාවලින්ම තමයි.

ජීවිතේට සතුට ගෙනාපු මිනිස්සුන්ට ස්තුතියි කියන්න, ඒක ඔබට ආශීර්වාදයක් ඒ වගේම දුක කඳුළ වේදනාව තරහ වෛරය අරන් ආපු අයට පිං දෙන්න.

ඔයාට රිදවපු, ඔයාව වට්ටපු, අවශ්‍යම අවස්ථාවේ ඔයාව තනිකරපු මිනිස්සුන්ට ඊටත් වඩා පිං දෙන්න. මොකද එයාල තමයි හොඳම.

එයාල තමයි ඔයාට ඔයාගෙ හොඳම version එක පෙන්නලා දෙන්නේ. ඕනෑම කෙනෙක්ට තමන්ගෙ නියම දරාගැනීම, නියම හැකියාව විනිවිද පේන්න පටන් ගන්නෙ තදින්ම රිදුනට පස්සෙ. ඉතින් ඔබට රිදවපු මිනිස්සු ඔවුනුත් නොදැන ඔබට ඔබව නිවැරදිව හඳුනාගන්න සලස්වලා නේද? අන්න ඒ නිසා ඒ හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙන්න.

සරලව කිව්වොත්, මිනිස්සුන්ව වර්ග කරන්න එපා…

ඔයාට හමුවෙන මිනිස්සු ළඟ එක එක පාට තියනවා ..

ඔයාගේ ජීවිත චිත්‍රය ලස්සනටම අඳින්න නම් ඒ හැම පාටම ඔයාට ඕන වෙනවා .

මේක නිවැරදිව තේරුම් ගත්තදාට ඔයාට ලස්සනට හිනා වෙන්න පුළුවන්.

අන්න ඒ ඔබේ හිනාවෙන් ලෝකය වෙනස් කරන්න.

හැබැයි, මොනම හේතුව නිසාවත් ලෝකයාට ඔබේ ඒ හිනාව වෙනස් කරන්න ඉඩ දෙන්න එපා ..

අනීෂා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division