Home » ඒ ආදරය තවමත් හදවතේ ඒ විදිහටම තියෙනවා

ඒ ආදරය තවමත් හදවතේ ඒ විදිහටම තියෙනවා

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

– මම මිල්ටන් පෙරේරාගේ මුණුබුරා බව අමතක නැහැ
– ජනතාවගෙන් ලැබෙන ආදරය මහා පුදුමාකාරයි ඒ ආදරය හරිම ශක්තිමත්

ගායක පරපුරකින් පැවත එන දිල්මින් පෙරේරා මේ වන විට ජනප්‍රිය රුල්ලට එක්වී හමාර ය. ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයට එක් වුණු තරුණ සංගිත කණ්ඩායමක්වන “පොයින්ට්ෆයිව්” (POINTFIVE) සමඟ එක් වෙමින් ඔහු ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි ගායකයකු බවට අද පත් ව තිබේ. බටහිර ආරට ගී ගයන, බටහිර ආරේ ගී තනු හා සංගීත සංයෝජනය කරන, ඊට ම ගැළපෙන්නට ඔහු විසින් ම පද බඳින ගී ප්‍රසංග වේදිකාවේ සහ ඔහුගේ ම යූටියුබ් නාළිකාවෙන් ඇසෙද්දී විටෙක අපට හැ‍ඟෙනුයේ ඔහු සිය පරපුර අමතක කළා දෝ කියා යි.

දිල්මින්, ඔබ ඔබේ පරපුර අමතක කළා ද….?

කොහෙත් ම නැහැ. මම ඉ‍ගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මට බටහිර ආරට සමීප වී තිබෙනවා. නමුත් මට මගේ සීයා ඒ කියන්නේ මිල්ටන් පෙරේරාගේ මුණුබුරා බව අමතක නැහැ. මගේ තාත්තා ප්‍රියංකර පෙරේරා සීයාගේ ගීත බොහෝමයක් ගායනා කර තිබෙනවා. මමත් විවිධ අවස්ථාවලදී සීයාගේ ගීත ගායනා කර තිබෙනවා. ලැබෙන ආරාධනා පරිදි ඒවා ගායනා කරනවා. සීයා ගායනා කළා වගේ ගීතයක් ඒ කියන්නේ ඒ ශෛලියේ ගීතයක් අලුතෙන් ම වචන සහ තනුවක් නිර්මාණය කරලා ගායනා කරන්න මට වුවමනාවකුත් තියෙනවා. ඒත් මම පෙරදිග සංගීතය දන්නේ නැති නිසා එවැනි නිර්මාණයක් මගේ රසිකයින් කොයි විදිහකට භාර ගනී ද කියලා චකිතයක් නම් මට තියෙනවා. එවැනි ගීතයක් ඉදිරියේදී කරනවා.”

ඔබට සීයා ව හමුවෙලා නැහැ නේද…?

මම සීයාව දකින්නේ එයා ගැයූ ගීතවලින් පමණයි. මට කවදාවත් මිල්ටන් පෙරේරා නමැති මගේ සීයා හැබැහින් මුණගැසී නැහැ. ඒ වුණාට මිල්ටන් පෙරේරා ගැයූ ගීත වේදිකාවේ ගායනා කරද්දි ඒ මගේ සීයා නේද කියලා මට ලොකු හැඟීමක් දැනෙනවා. එතුමා රටක් හඳුනන, ආදරය දිනා ගත් කෙනෙක් නිසා ඒ ගීත ගයද්දි මම ගොඩාක් පරිස්සම් වෙනවා.

ඔබ ගායකයෙක් වුණේ තාත්තා නිසා ද…?

තාත්තා සින්දු කිවුවාට වැඩිපුර ගෙදර හිටියේ නැහැ. මං පොඩිකාලේ අම්මායි,තාත්තායි ගොඩාක් කාර්ය බහුලයි. මම වැඩිපුරම හිටියේ සියායි, ආච්චියි එක්ක. සීයා ඒ කියන්නේ අම්මාගේ තාත්තා ගිටාර් වාදනය කළා. එයා නිසා තමයි මම වැඩිපුර ම වාදනයට යොමු වුණේ.

වැඩි බැඳීමක් පුංචි කාලේ තිබුණේ අම්මා එක්ක ද තාත්තා එක්ක ද…?

ඇත්තට ම කියනවා නම් ආච්චියි, සීයයි එක්ක තමයි මගේ බැඳීම තිබුණේ. ඒ දෙන්නා එක්ක තමයි මං පුංචි කාලේ වැඩිපුර ගත කළේ. තාත්තා හැම තිස්සේම කේන්ති ගත්ත කෙනෙක්. මමත් පොඩි කාලේ හරිම දඟයි. ඒ නිසා නිතරම තාත්තාගෙන් ගුටි කෑවා. තාත්තා එක්ක දුරස් බවක් තමයි ඒ නිසා පුංචි කාලේ තිබුණේ. ඊට වඩා අම්මා එක්ක සමීපකමක් තිබුණා. හැබැයි ලොකු දඟ වැඩක් කළ වෙලාවට නම් මං තාත්තාටත් වඩා බය වුණේ අම්මටයි. එහෙම වෙලාවට අම්මා හරිම සැරයි. ආච්චියි සීයයි තමයි මගේ ෆිට් එක.

තාමත් එහෙමද…?

සීයා නම් නැති වුණා. ඒ ආදරය තවමත් හදවතේ ඒ විදිහට ම තියෙනවා. නමුත් දැන් ඉස්සර වගේ නෙවෙයි. තාත්තායි, අම්මායි දෙන්නා එක්කම මම යා‍ළුවෝ වගේ ඉන්නවා. විවාහයෙන් පස්සේ වෙනම පදිංචියට ගියත් හැමතිස්සෙම අම්මයි, තාත්තයි බලන්න යනවා. තාත්තා අසනීපෙන් ඉන්න නිසා ඔහු ගැන වැඩි උනන්දුවකින් බලනවා.

ලොකු වුණා ම ගායකයෙක් වෙනවා කියලා පුංචි කාලේ බලාපො‍රොත්තුවක් තිබුණා ද..?

ඉඩ ලැබෙන හැම වෙලාවක ම සෙල්ලම් කරන්න බැලුවා හැරෙන්නට වෙන කිසිම බලාපොරොත්තුවක් මගේ ජීවිත‍යේ තිබුණේ නැහැ. මම අද මේ ඉන්න තැනට මාව ඇදලා දැම්මේ අමෙරිකාවේ විශ්වවිද්‍යාලයට යන ක‍ාලේ මට හමුවුණ චරිතයි. ඔහු දැන් සංගීතඥයෙක්. ඔහු තමයි මට සංගීතයම තමයි මගේ ගමන කියලා පෙන්නලා දුන්නේ. ඒ වන තුරු මට මේ වගේ ගමනක් එන්න කිසිම අරමුණක් තිබුණේ නැහැ. දැන් මම මේ ගමන ගැන සතුටුයි. ඒ වෙනුවෙන් දැන් මහන්සි වෙනවා. මේකේ හැදෑරීම් ගොඩාක් තියෙනවා. ඒවත් එක්ක මේ ගමන යනවා.

පොයින්ට් ෆයිව් සංගීත කණ්ඩායම මේ දවස්වල කාර්යබහුල ද..?

ඔව්. නදිමාල් පෙරේරා සහ මම තමයි කණ්ඩායමේ ගීත ගායනය කරන්නේ. මේ ටිකේ නම් දිගට ම වැඩ තියෙනවා. තිස් එක රෑ ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් එක්ක ප්ර සංගයක් තිබුණා. ඊට පස්සේ දිගටම ඒ වගේ ප්‍රසංග තිබුණා. මංගල උත්සව තියෙනවා. තව විවිධ උත්සවවලට ආරාධනා ලැබී තිබෙනවා.

කණ්ඩායමේ පුහුණුවීම් කරන්න වෙන් වූ තැනක් තියෙනවා ද…?

කලින් නම් එක එක තැන්වල පුහුණුවීම් කළා. නදිමාල් පෙරේරා ස්ටුඩියෝ එකක් පටන් ගත්ත නිසා දැන් අපි හැමෝ ම පුහුණුවීම් කරන්නේ ඒ ස්ටුඩියෝ එකෙයි.

ඔබගේම ගීත එකතුවක් ළඟදී එනවා නේද…?

ඔව්. ඒකේ පළමුවැනි සින්දුව මම ‘සුරංගනාවී’ කියලා එළි දැක්වුවා. දෙවැනි සින්දුව මායාවී. මේ විදිහට එකින් එක හෙමින් හෙමින් මගේ ගීත මං එළි දක්වනවා. මමම ලියලා, මමම තනු හදලා, මමම ගයන ගීත නිසා ටිකක් හෙමින් තමයි මේ ගමන යන්නේ. කලබල වෙන්න දේකුත් නැහැනේ. වෙළෙඳ අරමුණකුත් නැහැ. මගේ ආසාවට මම මේ ගීත කරනවා. මායාවී ගීතයට සංගීත සංයෝජනය කළේ සනුක වික්‍රමසිංහයි. ඒකේ පින්තූරත් කළා. රස්තාට ඒ වෙනුවෙන් ස්තුතියි. ඒ ගීතයෙත් පද, තනුව, ගැයුම මගේ ම යි. සනුක වික්‍රමසිංහ ‘ලතින් කුමාරි’ කියලා ගීතයක් හදලා තියෙනවා. ඒකත් ඉදිරියේදී අහන්න ලැබේවි. මේවාට අමතර ව සංගීත අධ්‍යක්ෂණ කටයුතුත් කරගෙන යනවා. සනුක නිසා තමයි ඒ කටයුතුවලට යොමු වුණේ

සංගීතය හැර ඔබ කැමති වෙනත් කලාවන් තියෙනවා ද…?

චිත්‍ර අඳිනවා. ඉස්සර නම් හරියට චිත්‍ර. ඇන්දා. දැන් සංගීත වැඩ නිසා නිදහස නැහැ. ඒ වගේම දවසකට චිත්‍රපටි හතරක් විතර මම බලනවා.

ඔබගේ මව දිල්හානි අශෝකමාලා යන මඟ යන්න ඔබ දක්ෂයෙක් නෙවෙයි ද…?

අම්මාගේ මඟ යන්න පටන් ගත්තත් මං හොඳටම දන්නවා අම්මා තරම් දක්ෂ වෙන්න නම් මට බැරි වෙයි. අම්මා එදා කාලේ ඉඳලා රඟපාපු චරිත බැලුවාම දැන් ර‍ඟපෑම්වල විශාල දියුණුවකුත් මට පේනවා. හැම වර්ගයකම චිත්‍රපටි බලන කෙනෙක් හැටියට මම කියන්නේ මගේ අම්මා හරිම දක්ෂ යි. මමත් එහෙන් මෙහෙන් රඟපාලා තියෙනවා. ‘දඩඉම’ චිත්‍රපටයේ මම රඟපෑවා. ඇත්තටම මම දන්නේ නැහැ මට රඟපාන්න පුළුවන් ද කියලා. අනික ඉතින් සංගීත වැඩ නිසා රඟපෑමට මුළු දවසක් කැප කරන්න පුළුවන් කමක් නැහැ.

කලාව වෘත්තිය කර ගැනීම අවදානමක් නෙවෙයි ද…?

මේ වගේ රටක මේ කාලේ පවතින ආර්ථික අර්බුදත් එක්ක බලද්දි කලාව විතරක් වෘත්තිය කරගෙන ජීවත් වීම ලොකු අවදානමක් තමයි. ඒත් ඉතින් මට වෙන රස්සාවකුත් නැහැ. මේ කලාවෙන්ම තමයි දැන් ඉතින් ජීවිතය

ගෙවන්නේ. ඒ නිසා ලොකු කැපවීමකින් මේ කලාව තව තවත් දියුණු කරගෙන, අලුත් අලුත් දේවල් එළි දක්වමින්, සීයාගෙන් එන පරපුරේ ගරුත්වය තාත්තා වගේම ආරක්ෂා කර ගනිමින්, මගේ ම කියලා නිර්මාණත් කරමින් අනාගතය දකිනවා. මං හිතනවා ආසාව තියෙන නිසා පවතින්න පුළුවන් උනන්දුවත් ඇති වෙනවා. ඒ වගේ ම ජනතාවගෙන් ලැබෙන ආදරය මහා පුදුමාකාරයි. ඒ ආදරය හරිම ශක්තිමත්. යම් හේතුවකින් කඩා වැටිමක් වුණත් යළි නැඟී සිටින්න ඔවුන්ගේ ආදරය ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ ආදරයට ගොඩාක් ස්තුතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division