Home » බොලිවුඩ් සිනමාවේ අලුත්ම නිර්මාණය රිතික් සහ දීපිකා උඩු ගුවනේ දස්කම් පාන Fighter

බොලිවුඩ් සිනමාවේ අලුත්ම නිර්මාණය රිතික් සහ දීපිකා උඩු ගුවනේ දස්කම් පාන Fighter

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

– ජනවාරි 25දා සිට Fighter චිත්‍රපටය තිරගත වේ 
– චිත්‍රපටයේ වියදම ඉන්දීය රුපියල් කෝටි 250 ක්

බොලිවුඩ් සිනමා ප්‍රේක්‍ෂකයන් මේ වසරේ මහත් බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක් තව දින කිහිපයකින් තිරගත වීමට නියමිත යි. ඒ Fighter චිත්‍රපටය යි. මෙය 2024 වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත බොලිවුඩ් සිනමාපට අතර වඩාත්ම කතාබහට ලක් වන නිර්මාණයක්. එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 25 වැනි දින යි. Fighter ඉන්දීය රුපියල් කෝටි 250 ක (ලංකා රුපියල් කෝටි 970 ක පමණ) වියදමින් නිපදවුණු දැවැන්ත සිනමාපටයක්.

සුපිරි නළු නිළියක් කිහිප දෙනෙකුම මෙහි චරිත නිරූපණය කරනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතික් රෝෂාන් සහ දීපිකා පදුකෝන්. ඊට අමතරව ජනප්‍රිය නළු අනිල් කපූර් ද මෙහි රඟපානවා. මෙම සිනමාපටය ඉන්දියානු ගුවන් හමුදාවේ නියමුවන් කිහිප දෙනෙකුගේ වික්‍රමයන් පසුබිම් කරගත්, දේශප්‍රේමය තේමා කරගත් සිනමාපටයක් බවයි පැවසෙන්නේ. ගුවන් නියමුවන් මුහුණ දෙන අභියෝග, ඔවුන්ගේ සටන්, ඔවුන් අතර ඇති සමගිය, සහෝදරත්වය වැනි කාරණා මේ තුළ නිරූපනය වන බව ඒ පිලිබඳ පළවන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. බාහිර සතුරන් සමග සටන් කරන අතරම මෙම වීරයන්ට තමුන්ගේම සීමාවන් සමඟ ද සටන් කරන්නට සිදු වෙනවා.

මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පට සිනමාලෝලීන්ව දැඩි ලෙස ආකර්ශනය කර ගන්නට සමත් වුණා. උඩු ගුවනේ වීර වික්‍රමාන්විත මෙහෙයුම්වල නිරතවන ගුවන් යානාවල ඉතා වේගවත් දර්ශන ඊට ඇතුළත්ව තිබුණා. මෙහි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීම සඳහා මාස හයක පමණ කාලයක් ගත කළ බවත් සඳහන් වෙනවා.

Fighter චිත්‍රපටයෙහි රිතික් රඟපාන්නේ ෂම්ෂේර් පතේනියා නමැති ගුවන් නියමුවකුගේ චරිතයක්. දීපිකා මිනාල් රතෝර් නමැති චරිතයක් ද, අනිල් කපූර් රාකේෂ් ජායි සිං නැමැති චරිතයක් ද රඟපනවා. මෙම සිනමාපටයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය රිතික් සහ දීපිකා එකට රඟපාන පළමු සිනමාපටය වීමයි. රිතික් සමඟ සිනමාපටයක රඟපෑමට දීපිකා බොහෝ කලෙක සිටම ආසාවෙන් පසු වූ බවත් පැවසෙනවා. දැන් එම ආසාව ඉටු වී ඇති බවයි පෙනෙන්නේ.

දීපිකා සහ රිතික් දෙදෙනාම විශාල වශයෙන් ප්‍රේක්‍ෂකයන් සිනමා ශාලා වෙත ආකර්ශනය කර ගැනීමට හැකියාව ඇති නළු නිළි දෙපළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2019 වසරේ තිරගත වූ රිතික් ගේ War චිත්‍රපටය ඉතා ඉහළ ආදායම් උපයමින් අති සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වුණා. ඒ අතර පසුගිය වසරේ දීපිකා රඟපෑ චිත්‍රපට දෙකත් ආදායම් අතින් වාර්තා පිහිටුවන්නට සමත් වුණා. ඒ පතාන් සහ ජවාන් චිත්‍රපට දෙකයි. ජවාන් 2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපටය ලෙස වාර්තාවක් පිහිටු වූ බව රහසක් නොවෙයි. පතාන් ද ආදායම් අතින් දෙවැනි වුණේ ජවාන්ට පමණයි.

ඇතැම් සිනමා ලේඛකයන් දීපිකා හඳුන්වන්නේ ‘බොක්ස්ඔෆිස් රැජින’ හැටියට යි. ඒ, ප්‍රේක්‍ෂකයන් සිනමා ශාලා වෙත ඇද ගැනීමට ඇය තුළ ඇති හැකියාව නිසා යි.

Fighter චිත්‍රපටය හොලිවුඩ් සිනමාවේ අතිශයින් ජනප්‍රිය වූ Top Gun චිත්‍රපටවලින් ආභාෂය ලැබූවක් බවටත් ඇතැමුන් අදහස් දක්වා තිබෙනු දැකිය හැකි වුණා. Top Gun චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස්. 1986 වසරේ තිරගත වූ Top Gun චිත්‍රපටය මෙන්ම 2022 වසරේ තිරගත වූ Top Gun: Maverick චිත්‍රපටයත් ඉතා ඉහළ ආදායම් උපයන්නට සමත් වුණා.

Fighter චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ බොලිවුඩ් සිනමාවේ දක්‍ෂතම අධ්‍යක්‍ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්. පසුගිය වසරේ අතිශයින් සාර්ථක වූ පතාන් සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේත් ඔහු යි.

මෙම සිනමාපටයේ දෙවැනි කොටසකුත් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. අධ්‍යක්‍ෂ සිද්ධාර්ත් ආනන්ද් Tiger vs Pathan චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු Fighter 2 චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරනු ඇති බවයි සඳහන් වන්නේ. ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් ප්‍රධාන චරිත රඟපාන Tiger vs Pathan හි රූගත කිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය තිරගත වීමට නියමිතව ඇත්තේ 2026 වසරේ යි.

Fighter චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන රිතික් රොෂාන්ගේ සිනමා ජීවිතය වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයත් මේ කාලයේ මාධ්‍ය තුළ නිතර අවධානයට ලක් වෙනවා. ඔහු සහ ඔහුගේ පෙම්වතිය වන සබා අසාද් අතර ප්‍රේම සම්බන්ධය පිළිබඳ තොරතුරු නිතරම වාගේ පළවනු දකින්න පිළිවන්. 50 හැවිරිදි රිතික් සහ 38 හැවිරිදි සබා අතර ආදර සම්බන්ධය ආරම්භ වී තිබුණේ 2021 වසරේ යි. සබා අසාද් ගායිකාවක ලෙස විශාල ප්‍රසිද්ධියක් දිනා සිටින කලා ශිල්පිනියක්.

රිතික් මෙයට පෙර විවාහ ජීවිතයක් ගත කළ කෙනෙක්. ඔහු විවාහ වී සිටියේ සුසේන් ඛාන් සමඟයි. 2000 වසරේ විවාහ වූ ඔවුන් 2014 වසරේ එකිනෙකාගෙන් දික්කසාද වුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division