Home » ලිවින් ටුගෙදර් මාරයි කියලා හිතුවට ඒක මාර නෑ

ලිවින් ටුගෙදර් මාරයි කියලා හිතුවට ඒක මාර නෑ

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

– මට කිසිම හදිස්සියක් එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ
– කම්මැළි අයට මාත් එක්ක වැඩ කරන්න අමාරුයි
– තිබ්බා ගැහුවා නාට්‍යවල මම රඟපාන්නේ නැහැ

වොල්ගා කල්පනි කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත එක්ක පුංචි තිරයත් සමඟ ගැටෙන රංගන ශිල්පිනියක්. ඒ නිසාම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑ ටෙලි නාට්‍යයෙන්ම ඈ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නවා, තවමත් සම්මානවලට හිමිකම් කියන වගේම කාලයක් පුංචි තිරය එක්ක ගනුදෙනු කරන ඈ ගැන තොරතුරුයි මේ.

වොල්ගා කොහොමද ජීවිතේ ..?

මම කවදත් සතුටින් ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ නිසා ඒ සතුට හැමදාමත් මම වින්දා. අදත් සතුටින් ජීවත් වෙනවා . මේ දවස්වල මම රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ‘තත්පරයක්‘ හා ‘ලලයි ලිලයි ලා‘ කියලා. එකක් අතිශය බොළඳ චරිතයක්. අනිත් එක ඊට වඩා හාත් පසින්ම වෙනස්. එකම කාලසීමාවක මේ චරිත දෙකේ වෙනස විඳින්න රසිකයින්ට පුළුවන් වීම ගැන මට සතුටක් තියෙනවා

එකිනෙකට පරයන චරිත ලබන්නත් ඒ චරිතවලට දුන් සාධාරණය නිසා සම්මාන ලබන්නත් වොල්ගා වාසනාවන්ත වෙලා..?

සම්මාන ලැබීම ගැන මම නිහතමානී ව සතුටු වෙනවා. වොල්ගා කල්පනී කියන නමට ඉදිරියෙන් හොඳ කියන වචනය අහන්න හැමදාම මට ඕන වුණා. ඒ වාසනාව මට මුලින්ම හිමි වුණේ ප්‍රධාන චරිතයක් මුලින්ම රඟපෑ කොළඹ අහස නාට්‍යයේ චතුරීගේ චරිතය නිසා. සුමති සම්මාන උ‍ෙලළේ ජූරියේ සම්මානය ලබමින් ජනතාවගේ ආදරේ ලබන්න පුළුවන් වුණා. එතැන් පටන් මම සම්මාන ලැබුවා. මෑතකදී මට මාණික්කාවත නාට්‍යයට සම්මානයක් ලැබුණා. එහි රඟපෑවේ අන්ධ චරිතයක්. ඒ සම්මානය සියලුම අන්ධ අයට උපහාරයක් වේවා! කියනවා. අසීරූ අවස්ථාවලට මුහුණ දීලා ඒ චරිතය හොඳින් රඟපෑ නිසාම ජනතාවගේ ආදරේ ලබා ගන්න පුළුවන් වුණා. කොහොම නමුත් මම දෙවියෝ බුදුන් ජේසුස් අදහනවා. ස්වභාවධර්මය විශ්වාස කරනවා. ඒ සියල්ලේ ආශීර්වාදයත්, වාසනාවත් මගේ දක්ෂතාවත් මට බලපෑවා මේ ගමන සාර්ථක කර ගන්න කියලා හිතනවා. ඒ වගේම මට ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න ලැබුණේ. අනිත් එක තිබ්බා ගැහුවා නාට්‍යවල මම රඟපාන්නේ නැහැ. ඒවත් බලපානවා නාට්‍යයක් සාර්ථක වෙන්න.

වොල්ගා එක්ක ටිකක් වැඩ කරන්න අමාරුයි කියන්නේ ඇත්තද..?

මාත් එක්ක වැඩ කරන්න අමාරු ලෙහෙසියෙන් පහසුවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන අයට හා විනයක් නැති අයට විතරයි. මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ ඒ චරිතය හරියට කරන්න හා ඊට අවශ්‍ය උපරිමය දෙන්න මම උපරිමයෙන් මහන්සි වෙනවා. ඉතින් මාත් එක්ක ඒ කැප කිරීම කරන්න කැමති අයට මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. කම්මැළි අයට මාත් එක්ක වැඩ කරන්න අමාරුයි.

වොල්ගා ලැබෙන හැම ආරාධනාවක්ම පිළිනොගන්නේ නිස්කලංක ව ජීවත් වෙන්න ඕන නිසාද..?

මම ආසයි නිස්කලංක ව ජීවත් වෙන්න. මම මහා ගොඩක් නිර්මාණවලට දායක වෙලා නැහැ. ලැබෙන ආරාධනා මට ගැළපෙනවා නම් ඒ චරිතය තුළ මට යම් දෙයක් කරන්න තියෙනවා නම් මම එය භාර ගන්නවා. මට කිසිම හදිස්සියක් එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ. මම මේ ගමන හිමින් යන්නේ. මම කලාවට ආදරේ කරන කෙනෙක් වගේම කලාවට හරිම කෑදරයි. ඒ නිසා කලාවට ගෞරව කරන පිරිස එක්ක මම වැඩ කරනවා. ඒ වගේම නිදහසේ ජීවත් වෙනවා.

තවම ඉන්නේ කසාද සහතිකය කොළේකට විතරක් සීමා වූ දෙයක් කියලා හිතන මතයේද.. ?

විවාහ සහතිකය ඕන වෙන්නේ කවදා හරි මහත්තයාගේ දේපළ ටික ගන්න තමයි. එතැනින් එහාට ඒක කොළයක් විතරයි. බැඳීමේ වටිනාකම ඒ කොළෙන් මනින්න බැහැ. තවම ඉන්නේ ඒ මතේම තමයි .

වොල්ගාට ආර්ථික අතින් ප්‍රශ්න නැති නිසා එහෙම කියන්න පුළුවන් කියලා කෙනෙකුට හි‍ෙතන්න පුළුවන් ..?

මට ආර්ථික ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මම මහා සල්ලිකාරියක් නෙමෙයි. මට වඩා මගේ පෙම්වතාට හොඳට සල්ලි තියෙනවා. මට වඩා හම්බ කරන්නේ එයා කිවුවොත් හරි

පෙම්වතා ගැන ප්‍රසිද්ධියේ කියන්නේ නැත්තේ..?

මට පෙම්වතෙක් ඉන්නවා. එයා කවුද මොනවද කරන්නේ කියලා මම කියන්න කැමති නැහැ. මම කොහොමත් මගේ පුද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ කරගෙන යන එන තැන් කන කෑම බීම විනෝද වෙන දේවල් සමාජ මාධ්‍යයේ දාන කෙනෙකුත් නෙමෙයි. නමුත් පෙම්වතෙක් නැහැ කියලා බොරු කියාගෙන හැංගිලා ආදරේ කරන්නෙත් නැහැ. මට පෙම්වතෙක් ඉන්නවා එයා එක්ක සතුටින් ජීවිතේ බෙදාගෙන ජීවත් වෙනවා

ලස්සන මනාළියක් වෙලා ඔහු එක්ක විවාහ වෙන්න කැමති නැද්ද ..?

මම ඕන තරම් එක එක විදිහට මනමාලියන්ට ඇඳලා තියෙනවා. ඒ නිසා විශේෂ ආසාවක් නැහැ , ඒත් ඔහු එක්ක විවාහ වෙන්න සමහර විට ඉඩ තියෙනවා

ලංකාවේ සංස්කෘතිය ට පටහැණියි කියන ලිවින්ටු ගෙදර් සංකල්පය එක්ක ඔබ ජීවත් වෙන්නේ..?

මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ. ලිවින්ටු ගෙදර්. ඒක ඇත්ත, ඒක මම හංගලත් නැහැ. ඒ ක්‍රමය ලංකාවට පටහැණියි. ලිවින්ටු ගෙදර් ජීවිතේ හොඳයි කැමති කෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම පුද්ගලික ව කැමතියි. ඒකට මම විරුද්ධ නැහැ, තව කෙනෙක් ගැන මට කියන්න බැහැ. ඒ වගේම කියන්න ඕන ලිවින්ටු ගෙදර් ජීවීතේ වගකිම් රහිතයි. ඒක මාර ජීවිතයක් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක මාර නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක බොරුවක්. විවාහ ජීවිතේ වගේම වගකීම් ගොඩක් එක්ක තව කෙනෙක් සමඟ ජීවිතේ බෙදා ගැනීමක් කරන්නේ. බිරිඳගේ වගකීම් සියල්ල ඉටු කරන්න ඕන. මමත් ඒ වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division