Home » රාහු ග්‍රහයාගේ සුබ – අසුබ සංයෝග

රාහු ග්‍රහයාගේ සුබ – අසුබ සංයෝග

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

– ග්‍රහ මණ්ඩලයේ සිටින ඡායා ග්‍රහයන්ගෙන් එක් අයෙක්
– රාහු – සඳු සංයෝගයෙන් ජන්මියා නොමඟට

රාහු සංයෝගය ගැන කතා කිරීමට ප්‍රථමයෙන් රාහු ග්‍රහයා ගැන මඳක් විමසා බලමු. නවග්‍රහයින් අතරෙන් රාහු ද පුදුම ලෙස විශේෂත්වයක් ඇති ග්‍රහයෙකි. රාහුට අන්‍ය ග්‍රහයන්ට මෙන් දිව්‍ය රාජයා යැයි කියවෙන්නේ නැත. අසුරයින්ගේ රාජයා යයි මුල සිටම ව්‍යවහාර වේ. අසුරයෝ ඥානවන්ත කොටසක් නොවේ. ක්‍රියාකාරීත්වය අතින් සූර්යින්ට වඩා වේගවත්ය. මද්‍යසාරයට ඉතා ප්‍රියය. ග්‍රහ මණ්ඩලයේ සිටි ඡායා ග්‍රහයන් දෙදෙනා අතරෙන් රාහු ද එක් අයෙකි. චන්ද්‍රයා ඇතුළු සියලුම ග්‍රහයන් භ්‍රමණය වන බව අපි දනිමු. චන්ද්‍රයාගේ භ්‍රමණ ගමනේදී දකුණු කොටස කේතු ලෙසත් උතුරු කොටස රාහු ලෙසත් හැඳින්වේ.

රාහුට නියම ඔළුවක් නොමැත. නයි හිසක් පූට්ටු කරගෙන තිබේ. අත් පා දිගය. කකුල් බොහෝ දිගය. යන්නේ අශ්වයා පිටෙනි. ඌත් හයියෙන් දුවයි. රාහු කිසිම කට්ට කපටි වැඩක් නොදනී. නරක කුමක් වුවද පෙනෙන්නට දැනෙන්නට ප්‍රසිද්ධියේ කරයි. අපි දැන් රාහු අනෙකුත් ග්‍රහයන් සමඟ සංයෝග වූ විට දක්නට ලැබෙන හොඳ නරක සාකච්ඡා කර බලමු. රාහු සමඟ අනෙකුත් ග්‍රහයන් එක් වූ විට ඇතැමුන් එය මණ්ඩල යෝග ලෙස සලකයි.

1) රාහු – සඳු සංයෝගය

රාහු සඳු සමඟ යෝග වූ විට සඳුගේ ශාන්ත සෞම්‍ය ගතිය අඩු කරයි. චිත්ත වේගය අධික කර පුද්ගලයා නොමඟට යොමු කරයි. මෙම රාහු සඳු සංයෝගය ස්ත්‍රී සම්බන්ධ කටයුතුවලදී ඉක්මන් වන පිහිටීමකි. මේ පිහිටීම භාර්යාවට ඥාතීන්ට පිය, මවු පාර්ශ්වයේ ඥාතීන්ට හොඳ පිහිටීමක් නොවේ. ඒ අයට අපලයි. මේ නිසා මේ සංයෝගය උපන් අයට මෙම මහ දශාවලදී හා අතුරු දශාවලදී ඉහත සඳහන් කළ ඥාතීන්ගේ විරුද්ධවාදීකම් ඇති වේ.

රාහු – සඳු දෙදෙනා බලවත්ව කේන්දරයේ සිටී නම් මෙය ඉතා හොඳ පිහිටීමකි. රාහුට වෘෂභ/ මිථුන/ කුම්භ බලවත් වන අතර සඳුට වෘෂභ – කටක රාශි බලවත් වේ. මෙවන් රාශිවලදී මේ යෝගය පිහිටියේ නම් සඳුගේ සියුම් ඥානයන් රාහුගේ වේගයත් එක් වූ දක්ෂ ක්‍රියාකාරී කෙනෙක් වේ. මේ අනුව මේ සංයෝගයේ හොඳ නරක දෙපැත්තම තිබෙන බව පැහැදිලිය. ලග්නයේ වමට ගණනය කිරීමෙන් මෙම රාශි තේරුම් ගැනීමට හැකි වේ.

2) රාහු – රවි සංයෝගය

රාහු සමඟ රවි සංයෝග වීමෙන් රාහුගේ බලය අධික වේ. මෙවන් අය බොහෝ ප්‍රකට පුද්ගලයන් වේ. කේන්දරයේ 11 වැන්නේ නම් එය එසේම වේ. රාහු මහ දශාව ලැබූ විට බොහෝ ප්‍රසිද්ධ වේ. ප්‍රකට වේ. රාහු සිටින්නේ 2 – 11 රාශිවල නම් ධනය අතින් දියුණු වේ. සුබපල ගෙන දේ. ඉගෙනීම සම්බන්ධ ස්ථානයට මේ යෝගය සුබ නොවේ. (5 වැන්නේ) ඉගෙනීම දුර්වල වේ. 6 වැන්නේ නම් සතුරන් මර්දනයට ඉතාම දක්ෂ පිහිටීමකි. 4 වැන්නේ නෑදෑයින්ගෙන් වෙන් වේ. නෑදෑයෝ දුරස් වේ.

3) රාහු – කුජ සංයෝගය

මේ සංයෝගයෙන් උපන් අය ඉතාම වේගවත්ය. කේන්දරයේ කොනක පිහිටියද එතනට කැඩීමක් බිඳීමක් ඇති කරයි. ඉගෙන ගන්නා කාලයේදී මේ සංයෝගය නිසා රාහු දශාව ලැබුවහොත් ඉගෙනීම කඩාකප්පල් වෙයි. ලග්නයේ මේ යෝගය තිබේ නම් තදබල තුවාලයක් හෝ හිස අවුල් වීමක් සිදු වේ. තමාගේ තත්ත්වයට නොගැළපෙන දාමරිකකම් කරයි. විවාහ වී කලක් ගත වූ අයගේ පවුල්වල සණ්ඩු සරුවල් ද ඇති වීමට හේතු වේ. තමාගේ ධනය නරක දේවලට වියදම් කරයි. සුබ සංයෝගයක් කිසිසේත් කිව නොහැකිය.

මේ යෝගය කේන්දරයේ 3වැන්නේ නම් සහෝදර සහෝදරියන් සමඟ වාදභේද ඇති කරගනී. බලය ලබා ගැනීමට තද ආශාවක් දක්වයි. මේ සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ටිය වැටුණොත් සිවුපා සතුන්ගෙන් සපා කෑමට පවා ලක් වේ. මේ යෝගය 4 වැන්නේ නම් මුල් දේපළවලට ගොස් කෝලාහල ඇතිකර ගනී. තම මුල් දේපළ විනාශ වේ. තැන්වල ආරවුල් ඇති කර ගනී. වෙනදා නොකළ චණ්ඩි පාට් දමයි. මිනිසාට තම ගෘහස්ථ ජීවිතය අවුල් වේ.

මේ යෝගය 5 වැන්නේ නම් හදිසි රෝගාබාධවලට ලක් වේ. ස්ත්‍රීන් සමඟ අනියම් සම්බන්ධකම් ඇතිකර ගැනීමට හේතු වේ. සූදුවෙන් පරාජය වේ. හෘදයාබාධ පවා ඇති වීමට ඉඩ තිබේ. 6 වැන්නේ නම් මවු පාර්ශ්වයේ නෑදෑයින්ගේ භේද වීම් ද 7 වැන්නේ නම් සහකාරියට අපලද 8 වැන්නේ හදිසි විපත් අනතුරු ද ඇති වේ. 9 වැන්නේ නම් පියා සමඟ අමනාපකම් ඇති වේ. 10 වැන්නේ නම් රැකියාවේ ගැටලු ඇති වේ. 11 වැන්නේ මිතුරන් හතුරන් වේ. 12 වැන්නේ නඩුවලට පැටලවීම් ඇති වේ. මේ රාහු – කුජ සංයෝගය අසුබ පැත්තට අපි කතා කළා එක් සුබ පැත්තක්ද දක්නට ලැබේ. කේන්දරයේ උපචය රාශිවල (එනම් 3-6-10-11) රාහු සමඟ කුජ එකමුතු වූ විට කුජ ඉතාම බලවත් වේ. සුබපල ගෙන දේ. මේ රාශිවල විශේෂයෙන් 11 වැන්නේ මේ දෙදෙනා යෝගය සූදුවෙන් ජය ලබන බව සඳහන් කිරීමට පිළිවන. මහා ධනවත් යෝගයක්ද වේ.

4) රාහු – බුධ සංයෝගය

මේ යෝගය ඉගෙනීම ලබන කාලයේදී අධ්‍යාපනයෙන් නිසි පල නෙළා ගැනීමට නොහැකි වේ. නමුත් පාවිච්චියට පත් වූ විවිධ මාර්ගවලින් එනම් බුද්ධිය මෙහෙයවා කරන ව්‍යාපාරවලින් ජය ලබා ගැනීමට හේතු වේ.

5) රාහු – ගුරු සංයෝගය

මෙය හැම විටම සුබපල දෙන යෝගයක් බව සිහි තබාගත යුතුය. විශේෂයෙන්ම 5 -11 රාශිවලදී මේ සංයෝගයෙන් උපන් අය ජීවිතයේ මැද කාලය නොසිතූ අයුරින් පොහොසත් වේ. ලොතරැයි වාසනා ලැබීමට හොඳ යෝගයකි. ලොතරැයි වාසනා දිනූ සිය ගණනක කේන්දර පරීක්ෂා කිරීමේ අත්දැකීම්වලින් මෙය මා ප්‍රකාශ කරමි.

6) රාහු – සිකුරු සංයෝගය

මේ යෝගයෙන් උපන් අය අධික වීර්ය ඇත්තෝ වෙති. ස්ත්‍රියක නම් පුරුෂයන් කෙරෙහිද පුරුෂයෙක් නම් ස්ත්‍රීන් කෙරෙහිද තදින් ඇලෙයි. ඒ අතින් මෝඩකම්ද කරයි. අධික කාමුක පිහිටීමකි. පාඩු ඇතිවන දේවල් කරයි. කේන්දර 7 වැන්නට මේ සංයෝගය කිසිසේත් සුබ නොවේ. නමුත් දෙදෙනාටම එම යෝගයෙන් උපන් අය නම් විවාහ ජීවිතයට ගැටලුවක් නොවේ.

7) රාහු – ශනි සංයෝගය

මේ සංයෝගය සුබයි. ලොකු ව්‍යාපාර ගෙන යෑමට මේ යෝගය ඉවහල් වේ. දේපළ රැස් කිරීමට ඉතාම සුබ යෝගයකි. දෙදෙනා එක් වූ විට කම්මැළි නැතිව හොඳින් ක්‍රියාශීලිව කටයුතු කිරීමෙන් දියුණු වේ.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී කොස්ගොඩ – කේ.ඩී.ආර්.පී. රාජකරුණා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division