Home » මනාලියකට සුදුසු උත්තම පුරුෂ මනාලයා

මනාලියකට සුදුසු උත්තම පුරුෂ මනාලයා

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

දියණියට මංගල යෝජනාවක් ඇවිත් ඇත. ගැළපීම් හොඳ බැවින් පළමු හමුවට දින තීන්දු කොට ඇත. මනාලයා ජැණ්ඩියට හැඳ පැලඳගෙන පැමිණ මනාලියගෙන් ලද බුලත් හෙප්පුවද පිළිගෙන සුහද කතාබහක යෙදී සංග්‍රහ ලැබ නික්ම ගොස් දින කීපයක් ගත වී ඇත.

කපු මහතා ජයග්‍රාහී විලාසයෙන් පැමිණ මනාලයාගේ පාර්ශ්වයේ කැමැත්ත නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. දැන් යෙදී ඇත්තේ මනාලියගේ පාර්ශ්වයෙන් සිදු කෙරෙන සංචාරයයි. මෙය සාම්ප්‍රදායික ව්‍යවහාරයට අනුව ‘ගෙවල් දොරවල් බලන්නට’ යන ගමනයි.

‘ගෙවල් දොරවල්‘ බලන්නට යාම ලේසි නැත. ඒ සඳහා පුහුණුව ලත් කාන්තාවෝ වෙති. ඔවුන් කැඳවාගෙන යා යුතුය. නැතහොත් ගිය වැඩේ හරියට කෙරෙන්නේ නැත. මනාලයාගේ පාර්ශ්වයේ නිවැසියන් සමඟ කතාබස් කරන අතරතුරදීම ඔවුන්ගේ මුළුතැන්ගෙය, නාන කාමරය, නිදන කාමරය ආදිය සියුම් පරීක්ෂාවට ලක්වේ.

පුහුණුව ලත් කාන්තාවකට වැසිකිළි යාමටද ඕනෑ වේ. ඒ සත්‍ය අවශ්‍යතාවකට නොව පිරික්සා බැලීම උදෙසාය. මේ ආකාරයට සියල්ල විමර්ශනයට ලක්වේ. එම විමර්ශනයේ ප්‍රතිඵල මත තම දියණිය එම නිවසට දෙනවාද නැද්ද යන්න තීන්දු වේ.

ගෙවල් දොරවල් බලන්නට යන ගමන්වලදී වරදින තැන් ද ඇත. ඇතැම් විට තම පරීක්ෂාවට ලක් වී ඇත්තේ යෝජිත මනාලයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසයි. ඒ බැව් නොදන්නා මනාලියගේ පාර්ශ්වය මංගල්‍යයට එකඟ වනුයේ තමා පරීක්ෂා කළ නිවස අංගසම්පූර්ණ බව පෙනී ගිය බැවිනි.

ගෙවල් දොරවල් බලන්නට යාමේදී සත්‍ය වශයෙන්ම බැලිය යුතු වැදගත්ම දේ පරීක්ෂා වන ප්‍රමාණය අඩුය. එනම් යෝජිත මනාලයාගේ ස්වභාවය නිසි ලෙස නිරීක්ෂණය නොකිරීමයි. එම වරද කිසිසේත් සිදු නොවිය යුත්තකි. වඩාත් විමසිලිමත් විය යුත්තේ තම දියණිය දෙන්නට සූදානම් වන්නේ උත්තම පුරුෂයෙකුටද, නැතහොත් අධම පුරුෂයෙකුටද එසේත් නැතහොත් ඒ දෙකෙහි අතරමැදි ගති ලක්ෂණ ඇති මධ්‍යම පුරුෂයෙකුටද යන්නයි. පුරාණයේ විසූ ජ්‍යොතිෂ ආචාර්යවරු ඉහත දක්වා ඇති පුරුෂයන් වර්ග තුනෙහි ගති ලක්ෂණ ඉතා පැහැදිලිව දක්වා ඇත.

පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු දක්වා ඇති පරිදි උත්තම වූ පුරුෂයෙකුගේ ගති ලක්ෂණ රාශියකි. ඒ අතරින් වැදගත් ම කීපයක් මෙහි දක්වමි. යහපත් වූ හැසිරීමක් තිබීම ඒ අතුරින් එකකි. තැනට සුදුසු ලෙස හැසිරීම මඟින් ඒ බව පෙන්නුම් කෙරේ. උගත් අයෙකු වීම තවත් ලක්ෂණයක් වන අතර වස්තුව ඇති අයෙකු ද විය යුතුය. ධනෝපායන මාර්ග සාධාරණ සහ ධාර්මික ඒවා විය යුතුය. ඒ හැරුණු විට විවාහ විය යුතු වයස නොඉක්මවූ අයෙකුද විය යුතුය. මනා වූ අඟපසඟ සහිත ප්‍රියමනාප, කඩවසම් අයෙකු ද විය යුතු ය.

මේ හැරුණු විට පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු විවාහයකට නුසුදුසු අධම ගණයේ පුරුෂයන් පිළිබඳව ද දක්වා ඇත. ඒ අතරින් ගුණධර්මවලින් තොර පුද්ගලයෙකු වීම සහ විකලාංග සහිත අයෙකු වීම විවාහයකට නුසුදුසුකමක් ලෙස දක්වා ඇත. තවද කුෂ්ට රෝග සහිත අය හා කබර ඇති අය ද විවාහයට නුසුදුසු අය ලෙස දක්වා ඇත.

පැවිද්දන්ට සහ ගරුකටයුතු උතුමන්ට නින්දා, පරිභව, අපහාස, උපහාස හා හිරිහැර කරන අයද, යහපත් පැවතුම් ඇති ජනයාට මරණ භය ඇති කරවන අයද විවාහයක් සඳහා තෝරා ගැනීමකට නුසුදුස්සෝ වෙති. ඉතා කෙට්ටු ශරීරයක් සහිත වූද, දිරා ගොස් ඇති ශරීරයක් සහිත වූද, වපර ඇස්වලින් යුක්ත වූද පිරිමින් විවාහයක් සඳහා තෝරා නොගත යුතු බව පුරාණ ජ්‍යොතිෂ මතයයි. ඒ හැරුණු විට ඉතා දුර බැහැර පදිංචිව සිටින අයටද කිසිම ආගමකට හෝ දහමකට ගරු නොකරන අයට ද තරුණියක් සරණපාවා නොදිය යුතු බව දක්වා ඇත.

ඒ හැරුණු විට උන්මත්තක භාවයෙන් යුක්ත වීම, මීමැස්මොර රෝගියෙකු වීම, ශරීර ඉන්ද්‍රියයන් විකලාංග වී තිබීම යන කරුණු සහිත අයටද තරුණියන් සරණ පාවා නොදිය යුතු බව පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරුන්ගේ මතයයි.

ගෙවල් දොරවල් බලන්නට යන අය ඉහත කී කරුණු පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුක්තව යා යුතුය. එසේ නොවී සැබැවින්ම ගෙවල් දොරවල්වල ස්වභාවය පමණක් බලා මංගල්‍යය තීන්දු කළහොත් ඔබගේ ආදරණීය දියණියට සිදු වන්නේ මහත් විපතක් බව අවධාරණය කරමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අසෝක විජයසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division