Home » චාල්ස් රජු ඈන් කුමරිය අතේ ජනපතිට එවූ පණිවිඩය

චාල්ස් රජු ඈන් කුමරිය අතේ ජනපතිට එවූ පණිවිඩය

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද, මහ මැතිවරණයද යන පැනයට විසඳුම පසුගියදා ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදීය.

එහිදී ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බව ප්‍රකාශ වීමත් සමඟම දේශපාලන පක්ෂ නව වසර ආරම්භයේදීම ජනපති සටනට සුදානම් විය. ජනාධිපතිවරණය සැප්තැම්බර් එන බව ජනපති රනිල් ප්‍රසිද්ධ කළේ විපක්ෂය මහ මැතිවරණ කතා කියද්දී ය. අප්‍රේල් මාසයේදි මහ මැතිවරණයක් පැමිණෙන බවට පණිවිඩය රට පුරා ඇවිළී ගියේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හරහාය. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම් ඊට තව තවත් පිදුරු එකතු කිරීම නිසා පිල් මාරු දෙකක්ද සිදුවිය.

ජනපති රනිල්ගේ සුබ පණිවිඩය

සදුදා සවස ජනපති ඇමැති මණ්ඩලය වෙත ගියේ සුබදායක පණිවුඩයක් ද රැගෙනය. ඒ අය වැයෙන් යෝජනා කළ වැටුප් වැඩි කිරීමේ යෝජනාවට සංශෝධනයක් එකතු කිරීමටය. අය වැයෙන් යෝජනා වූයේ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමේ පළමු ගෙවීම අප්‍රේල් මාසයේ සිට කිරීමටය. දෙවන වාරිකය ඔක්තෝබර් මාසයේදී එක්කොට එතැන් සිට රුපියල් 10,000ක් රාජ්‍ය සේවකයන්ට ගෙවීමටය.

නමුත් අප්‍රේල් සිට ගෙවීමට වූ යෝජනාව සංශෝධනය කරමින් එය ජනවාරී සිට ගෙවීමට යෝජනාවක් ජනපති රනිල් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, එය ඒකමතිකව සම්මත වූවේය. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනාව වැඩි කිරීමට ජනපති කටයුතු කළේය.

ඇමැති මණ්ඩල හමුව අවසන් කොට ජනපති ගියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමටය. ජනපති රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේද සුබ පණිවුඩයක් තැබුවේය.

ජනපතිගේ කතාවට අත්පොළසන්

“ගමේ සංවර්ධනයට අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 120ක පමණ ප්‍රතිපාදනයක් හිමි වෙනවා. ගමේ යටිතල පහසුකම් ටික හදන්න ලෝක බැංකුව සහය දෙනවා. පාරවල් ටික හදන්න ආසියානු සංවර්ධන බැංකුව උදව් කරනවා. ඡන්ද අවුරුද්දක් එන්නේ. දැන් ගමට ගිහිල්ලා වැඩ පටන් ගන්න.” ජනපති කියද්දි සැවොම අත්පොළසන් දුන්හ.

තහනම් වචනය ගෝල්ෆේස්

“සර් පොලීසිය කරන යුක්තිය මෙහෙයුම හොඳට යනවා. මේ අල්ලන කුඩු ප්‍රසිද්ධියේ විනාශ කරන්න ඕන. ජනතාවට පේන්න ඕනේ අපි අල්ලපු මේවා විනාශ කරනවා කියලා.” මහින්දානන්ද අලුත්ගමගේ දීර්ඝ විස්තරයක් කළේය.

“පවතින නීතිය එක්ක ඒක කරන්න අපහසුයි. නඩු භාණ්ඩ හැටියට මේවා තියෙන්න ඕනේ.” ඇමැති ටිරාන් එයට පිළිතුරු බැන්ඳේය.

“කට්ටියත් එක්කම මේ අල්ලන කුඩු ගෝල්ෆේස් එකට ගෙනැල්ලා ජනතාව ඉදිරියේ විනාශ කරන්න පුළුවන් නම් හොඳ පණිවිඩයක් රටට ගෙනි යන්න පුළුවන්.” මහින්දානන්ද යළිත් කීවේය.

“මේ මේ මේ ගෝල්ෆේස් නම් කිසි දෙයක් ගේන්න එපා. මතකනේ කාලයක් එන්න දීලා වෙච්ච වැඩේ. ගොල්ෆේස් නම් බෑ.” කියමින් ජනපති සිනාසෙද්දී මන්ත්‍රීවරුන්ද කොක් හඬලන්නට වූහ.

අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණේ ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදි ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් පක්ෂ මහ ලේකම් තනතුර යළිත් රංගේ බණ්ඩාරට පිරිනැමීමේ ලිපිය නිකුත් කළේය.

අසනීප තත්ත්වය හේතුවෙන් එදින ඔහු රැස්වීමට නොපැමිණි නිසා එය රංගේට භාරදීමේ වගකීම පැවරුණේ පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්ටය. දේශපාලන කතාබහ ඇදී ආවේ ඉන් පසුවය. විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වෙන බව ජනපතිට කීවේ නියෝජ්‍ය නායක රුවන්ය.

රනිල් ජනාධිපති අපේක්ෂක වූ හැටි

කළමනාකරණ කමිටු සෙසු සාමාජිකයන් වන වජිර, රවි, මනූෂ, හරීන්, කිත්සිරි හා දිනුක් කොළඹගේ එය තහවුරු කරමින් කතා කරන්නට වූහ.

“මැතිවරණ සිතියම අනුව පළමුව එන්නේ ජනාධිපතිවරණය. ඒක සැප්තැම්බර් ඔක්තෝබර් අතර කාලයේදි ඒවි. ඊට පස්සේ ජනවාරි වන විට පාර්ලිමේන්තු මැතිවරණය එනවා. මාර්තුවල අපිට පළාත් සභා තියන්න පුළුවන්.” ජනපති කියද්දී අනෙක් පිරිස කීවේ මේ පණිවිඩය ජනතාවට දිය යුතු බවයි.

ඒ අනුව එම පණිවිඩය මාධ්‍ය වෙත මුදා හරීමේ වගකීම හරීන් වෙත පැවරුණු අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ නම් කිරීමේ යෝජනාවක් ද එහිදි සම්මත විය.

පුළුල් සන්ධානයකින් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත් කිරීමට යෝජනා සම්මත වූ අතර සන්ධානයේ නම සහ ලකුණ සකස් කිරීමේ වගකීම හරීන් හා රවීට පැවරුවේ සෙසු පිරිසගේ කැමැත්ත පරිදිය.

“වෛද්‍යවරුන්ගේ දීමනා වැඩි කිරීමට ඇමැති මණ්ඩලය ගත් තීන්දුවට විරුද්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙක් වෘත්තීය සමිති වර්ජනය කරන්න පටන් අරගෙන.” වජිර ඒ අතරතුර දේශපාලන කතාවක් ද ඇද ගත්තේය.

“වෛද්‍යවරුන්ට දුන්නේ ප්‍රවාහන දීමනාවක්. එයාලා වැඩට අවේ නැතිනම් රෝගීන් මියැදෙනවා. ආචාර්යවරුන්ට වැටුප් වැඩි කළේ ඔවුන් රට හැරයාම තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන නිසයි. දැන් වර්ජනය කරන අය ඉල්ලුවේ රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක්. මම ඒකෙන් 10,000ක් දීලා තියෙනවා. වෛද්‍යවරු 20,000 වැටුප් වැඩිවීම එපා කියලා ඔවුන්ගේ වෙන ඉල්ලීමක් කළා. අනෙක් අය මට එහෙම ඉල්ලීම් කළේ නෑ.” ජනපති රනිල් පිරිසට කරුණු පැහැදිලි කළේ එලෙසිනි.

රතු මුහුද කැ‍ලඹෙයි

මෙහිදි ඇමැති මනූෂ කීවේ කියුබාව ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ රටවල් ගණනාවක් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවය. කියුබාව 500%කින් ඉන්ධන මිල ඉහළ දමා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ගැටලුව මත අපටත් ලොකු බලපෑමක් එන බව ජනපති කීවේ ඒ අතරවාරයේය.

චාල්ස් රජුගෙන් ජනපතිට ලැබුණු පණිවිඩය

ඈන් කුමරිය ලංකාවට පැමිණියේ මේ අතරවාරයේය. ඇය වෙනුවෙන් ජනපති රනිල් රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කළේ ජනාධිපති මන්දිරයේය. බදාදා සන්ධ්‍යාව නිමවෙද්දී ඈන් කුමරිය ජනපති මන්දිරයට පැමිණි අතර, ජනපති ඇය පිළිගත් පසු දෙදෙනාම එහි අසුනකට බර වූයේ තොරතුරු කතාබහ කිරීමටය. අසුන් ගනිද්දීම ඈන් කුමරිය තම බෑගයෙන් කවරයක් ගෙන එය ජනපති අත තැබුවේය.

එහි සටහන් වූයේ චාල්ස් රජුගේ සුබ පැතුම් පණිවුඩයකි. දෙරට අතර සබඳතා සිහිපත් කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙල චාල්ස් රජු එම කෙටි සටහනින් අගය කර තිබුණි. අසල සිටි විදෙස් සේවයේ නිලධාරීන් කතා කළේ චාල්ස් රජු මෙවැනි ලිපි යොමු කරන්නේ තමන්ට හිතවත් නායකයන්ට පමණක් බව කියමින්ය.

වජිර – රාජිත හමුවක්

ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ බේරුවලට ගියේ මැණික් ව්‍යාපාරිකයන්ගේ “ජෙම් ශ්‍රී ලංකා 2024” ප්‍රදර්ශනය විවෘත කිරීමටය. එම අවස්ථාවට සජබ මන්ත්‍රී රාජිත ද එක්ව සිටි අතර මන්ත්‍රී වජිර සමඟ ඔහු බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටි අයුරු කාටත් දැකගත හැකි විය.

එහිදි අපූරු කතාවක් කීවේ ඇමැති චාමර සම්පත් ය. “කලින්ම මේක බලන්න ජ.වි.පෙ නායකතුමත් ආවා. හැබැයි එතුමා නිකම්ම ගියා. මැණික් කර්මාන්තය දියුණු කරන්නේ අපි. ඉදිරි අවුරුදු පහටම සැලසුම් ජනාධිපතිතුමා හදලා තියෙන්නේ. ඒ නිසා ඉස්සරහටත් වැඩ කරන්නේ අපි. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා බලය ගන්න කලින් කියපු කතාවක් තමයි දුන්නොත් ගන්න බෑ කියන එක. එතුමගේ බෑනා තමයි දැන් ඉන්නේ.” ඇමැති චාමර සම්පත් කියද්දී සැමට සිනා නොවී සිටීමට නොහැකි විය.

ජපන් මුදල් ඇමැතිවරයාද, මැද පෙරදිග තානාපතිවරු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ද ජනපති රනිල් මුණ ගැසුණේ බ්‍රහස්පතින්දා ය. එදින මැති ඇමැතිවරු පිරිසක් ද පැමිණ සිටි අතර ඔවුන් පවතින දේශපාලන තත්ත්වය ගැන කතා කළහ.

“චමින්ද විජේසිරි වෙනුවට පාර්ලිමේන්තු එන නයනට රාජපක්ෂලා එක්කත් ඥාති සම්බන්ධයක් තිබෙනවා කියලා ආරංචියි.” කතාව ඇරඹුවේ ඇමැති මනූෂ ය.

“ජනාධිපතිතුමා මැතිවරණයට එනවා කියලා දැන් කට්ටිය ජනාධිපති අපේක්ෂකයෝ තෝරන්න පටන් අරගෙන.” ඇමැති ප්‍රසන්න කීවේ එවැන්නකි.

“මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලත් නෑ. එන්නේ නෑ කියලත් නෑ. හැබැයි ඊළඟ අවුරුදු පහ වෙනුවෙන් රට දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදනවා.” ජනපති කීවේ කට කොනකට සිනහවක් ද නඟා ගෙනය.

වශී බෝලය එළියට

පසුගියදා 10 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ මන්ත්‍රිවරුන් මැති සබයට ඇතුළු වන දොරටුව අසල දීර්ඝ කතාබහක නිරත වුයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හා විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙකි.

කොහොමද මන්ත්‍රිතුමාගේ සැප දුක කියමින් කතාව ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනයි.

හොඳින් ඉන්නවා. මන්ත්‍රීතුමා මොකද ජනාධිපතිතුමා කියන්නේ” යනුවෙන් විමසා සිටියේ ජේ.සී. අලවතුවල හා හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

“ජනාධිපතිතුමා කියන්නේ හැමෝම එකතු කරගෙන රට හදන්න කියලා. බයවෙන්න එපා. අපේ නායකතුමා ගැන ඔබතුමන්ලා දන්නවානේ. නිසි දේ නිසි වෙලාවට කරයි“ යනුවෙන් වජිර කියා සිටියේය.

තවත් දේශපාලන කරුණු හා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතාබහ වූ අතර, එතන සිටි තවත් කෙනෙකුට දිලිප් වෙදආරච්චි කීවේ රනිල් මහත්තයාගේ වශී බෝලය වැඩ පටන් ගෙන ඇති බවයි.

ඒ ගැන වැඩි විස්තර කරමින් දිලිප් වෙදආරච්චි කියා සිටියේ රනිල් මහත්තයට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ගේ සහාය ලබාගැනීමේ වැඩේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ආරම්භ කර තිබෙන බවයි.

අගමැතිගෙන් ප්‍රසන්නට පැසසුම්

මෙවර අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කරන ලද විමධ්‍යගත අරමුදල් සංවර්ධන කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

මේ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් හා පළාත් ලේකම්වරුන්ද කැඳවා තිබුණි.

“සංවර්ධන කමිටුවලට මුදල් වෙන්කිරීමෙන් සංවර්ධන කටයුතු සමානව ක්‍රියාත්මක කරන්න පුළුවන්.” අග්‍රාමාත්‍යවරයා පළමුව රැස්වීමේ අරමුණ පැහැදිලි කරමින් කතා කළේය.

“ප්‍රසන්න රණතුංග ඇමැතිතුමා නියාමන වැඩපිළිවෙළ ගම්පහ දැනටමත් හොඳට ක්‍රියාත්මක කරනවා. ඒක බස්නාහිර පළාතේම හොඳට ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාම ඒක පැහැදිලි කරන්න ”අගමැතිවරයා කීවේ ඇමැති ප්‍රසන්න දෙස බලමිනි.

“සංවර්ධන කමිටුවලට මුදල් වෙන් කළාම සංවර්ධන කටයුතු සඳහා තමන්ට මුදල් ලැබෙන්නේ නෑ කියල විපක්ෂය කියනවා” මන්ත්‍රිවරයකු ඇසුවේ ඇමැති ප්‍රසන්නගේ පැහැදිලි කිරීම අවසන්වනවාත් සමඟය.

“ අද විපක්ෂයට ගමට යන්න බෑ. ඒක නිසා ඔය වගේ අභූත චෝදනා කරනවා. ඔයාල බය නැතුව ගමට යන්න. ගිහිල්ලා වැඩකරන්න.” ඒ ඇමැති ප්‍රසන්නය.

“ඔව්..ඔව්.. අනිවාර්යයෙන්ම ගමට යන්න ඕන. ඒ වගේම තමන්ට ඕන විදියට සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න බෑ. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය අනිවාර්යයි” අගමැතිවරයා කීවේ අවවාදාත්මක ස්වරයෙනි.

“අපි ගත්තා. ඇතැම් ඒවා තවමත් ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා” කීවේ මන්ත්‍රී සංජීව එදිරිමාන්නය.

“මෙහෙමයි මන්ත්‍රිතුමා අපි කරන්නෙ මන්ත්‍රීවරුන්ට ගමට යන්න අවස්ථාවක් දෙන්නයි. ඔබතුමාලට තමන්ගේ දිස්ත්‍රීක්කයට, ගමට ගැළපෙන විදියට වැඩේ කරන්න පුළුවන්” ඇමැති ප්‍රසන්න කීය.

“ඇමැතිතුමා මගේ අරමුණත් ඒකමයි. ඔබතුමා හැටන් පාරෙන් එන්න. මම රත්නපුර පාරෙන් එන්නම්. අපි ඔක්කොම යන්නෙ එක තැනකට. සිරිපාදෙදි හමුවෙමු” එදිරිමාන්න යළි කීය.

“පාරවල් කීපයකින් සිරිපාදෙ යන්න පුළුවන්. ඒ නිසා පාර වරද්ද ගන්නෙ නැතුව හරි පාරේ යන්න” එදිරිමාන්නගේ හරස් පදය තේරුම්ගත් අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

ඩයනාත් ජනාධිපති සටනට

“දැන් ජාතික ලැයිස්තුවෙන් ආපු අයටත් මුදල් වෙන් කරන්න පුළුවන්ද” ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය ඇසුවාය.

“ඔව්… දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙදි පුළුවන්” අගමැතිවරයා කීය.

“මට නම් ඕන රටටම සල්ලි වෙන් කරන්නයි” රාජ්‍ය ඇමැතිවරිය කීවාය.

“ඇයි ඔබතුමිය ජනාධිපතිවරණයට එනවද?” මැති ඇමැතිවරුන් විමසූහ.

එයට රාජ්‍ය ඇමැතිවරිය සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

ලාන්සා‍ගේ නව සන්ධාන රැලිය 27 වැනිදා

නව සන්ධානයේ ජා ඇළ ආසනයේ මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇළ නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

එම රැලියේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ජා ඇල පරණ තානායමේදී පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්විණි.

මේ අවස්ථාවට නිමල් ලන්සා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල අමරසිංහ, හිටපු පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න, සුගීශ්වර බණ්ඩාර, නලින් සමරකෝන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

“අපේ ලන්සා ඇමැතිතුමා දේශපාලනය කරන්න ගිහින් සියල්ල නැතිකර ගත්තා, සියලු ව්‍යාපාර අරගලකාරයෝ මංකොල්ල කෑවා, එතුමා මිනිසුන්ට උදව් කරපු කෙනෙක්, ජේවීපීකාරයෝ ගම්වලට ගිහින් කරන මේ බොරුව මිනිස්සුන්ට තේරුම් කරන්න අපිට විදියක් නැතුව හිටියේ, දැන් අපට ඒ අවස්ථාව ලැබුණා “ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කීවේය.

“දැන් බය නැතිව ගම්වලට ගිහින් මේ ඇත්ත ජනතාවට කියන්න”නිමල් ලන්සා මන්ත්‍රීවරයා කීවේය.

ජී.එල්. හා ඩලස්ට නාමල්ගෙන් ආරාධනාවක්

සුපුරුදු පරිදි මේ සතියේත් මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිල නිවසේදී රාජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව පැවත්වුණේ පසුගිය බදාදාය. මෙයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

“පොහොට්ටුව හැර හිය අය ගොඩක් එන්න අහනවා“ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

“ඔව් අපි ඒ අය ගැන බලන්න ඕනෙ. මොකද ඔය කීප දෙනෙක් විපක්ෂයට යයි. හැබැයි ස්වාධීන වෙච්ච මන්ත්‍රිවරු බොහොමයක් දෙනෙක් අපිත් එක්ක අත්වැල් බැඳගන්න ආයෙමත් සූදානමින් ඉන්නෙ“ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පැවසීය. “ඔව් ඒ විතරක් නෙවෙයි පක්ෂ නායකයින් ගැනත් බලන්න ඕනෙ මම එදා වොයිස් කට් එකෙත් කිවුවා ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම මහත්තුරු දෙන්නා අපේ පක්ෂය එක්ක ඉන්නම ඕනෙ“ එසේ කීවේ නාමල් රාජපක්ෂය.

“අපි ගිය හැමෝටම ආරාධනා කර සිටිමු“ තවත් මන්ත්‍රීවරයකු පැවසීය. “ස්වාධීන වෙච්ච මන්ත්‍රිවරු පක්ෂ නායකයින් එක්ක වෙන වෙනම කතා කරන්න පෞද්ගලිකව මුණ ගැහිලා“ නාමල් පැවසීය.

සජබ වැඩමුළුව

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 8 වන සදුදා පැවැත්වූයේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදීය. ආසන සංවිධායකවරුන් සහභාගි වූ මෙම වැඩමුළුව දවස පුරා පැවැත්වුණි. වැඩමුළුව ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ මෙම වර්ෂය තිරණාත්මක වර්ෂයක් වන බවයි. කුමන මැතිවරණයක් පැවැත්වුවද එයට මුහුණ දීමට පක්ෂයේ සියලු සංවිධාන ශක්තිමත් කළ යුතු බවද මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

ජී.එල්ට කලින් රනිල්ට කතාකරන ලෙසට සජිත්ට යෝජනාවක්

සජබ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නීතීඥ උපුල් ජයසූරිය නැඟිට ප්‍රකාශ කළේ “ ඇයි මේ පොහොට්ටුවේ අයත් එක්ක සාකච්ඡා කරන්නේ, අපි ඉස්සරවෙලාම සාකච්ඡා කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය සමඟයි කියාය. ඇයි අපි ඒක නොකර මේ ජී.එල්. පීරිස් වගේ මිනිස්සු එක්ක සාකච්ඡා කරන්නේ“

එවිට එයට ප්‍රතිචාර දැක් වූ සජිත් ප්‍රේමදාස කියා සිටියේ “ඔව් ඔව් ඒක හොඳයි අපි ඒකටත් විවෘත බවයි“

අජිත් රාජපක්ෂගේ ගෙදරට හිරමන

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගියදා බරවකුඹුක ප්‍රදේශයේ පවුල් 2500කට පානීය ජලය ලබාදෙන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කළේ පසුගිය 06 වැනිදා තමන්ගේ උපන් දිනය යෙදී තිබුණු දිනයේම වීම විශේෂත්වයකි.

චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද ඊට අමතරව ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තමාට ප්‍රදේශවාසීන් ආදරය කරන බව තමා හොදින් දන්නා බවත් අරගලය පැවති 2022 මැයි 09 වැනිදා තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙකුගේ නිවසට හෝ හානියක් සිදුකිරීමට අරගලකරුවන්ට නොහැකි වූ බවත් ඊට හේතුව මුළු ගමේම ජනතාව තමන් සමඟ සිටින නිසා බවත් අජිත් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.

“සමහරුන් එදා මගෙන් ඇහුවේ ගෙදර තියෙන හිරමනේ අරගෙන ඇවිල්ලා හරි අපේ ගෙදර ආරක්ෂා කරනවා කියලයි. ” යනුවෙන් අජිත් රාජපක්ෂ පැවසීය.

වජිරගෙන් බදු පාඩමක්

“ඇමැතිතුමා මේ දවස්වල සමාජයේ සිටින බොහෝ දෙනෙක්ගේ ගැටලුව වෙලා තිබෙන්නේ ටැක්ස් ප්‍රශ්නය. එහෙමත් නැතිනම් TIN අංකය ගන්න එක ගැන. මේ ගැන විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සෙත් පළ වෙනවා අපි දැක්කා. ඇත්තටම මේ ගැන ඔබතුමා දකින්නේ කොහොමද?”

“මමත් සමාජ මාධ්‍යයේ පළවන අදහස් වගේම රූපවාහිනියේ පළ වෙන අදහසුත් බොහෝමයක් නීරීක්ෂණය කළා. මේ ගැන මට කියන්න තියෙන්නේ, බොළඳ දේශපාලන කතාවලට ජනතාව තවදුරටත් රැවටිය යුතු නැහැ.

බදු අය කිරීමේ සහ බදු ක්‍රියාවලිය අනාගතයේදී විශේෂ වෙනස්කම් අනුව කළ යුතුව තිබෙනවා. තමන් උපයන ආදායම අනුව බදු ගෙවීමේ ක්‍රියාවලිය සිදුකළ යුතුව තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ බදු නිසියාකාරයෙන් ගෙවන අතර ඇතැම් ව්‍යාපාරිකයින් මෙම ක්‍රියාවලිය මගහැර කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ සියලුම බැංකු පද්ධතිය සහ ශ්‍රී ලංකාවේ ඉහළ සියලුම ව්‍යාපාරිකයන් බහුතරයක් ටැක්ස් ඇපිල් කොමිසමේ අභියාචනා ඉදිරිපත් කරමින් කාලය ගත කරමින් තිබෙනවා. බදු වශයෙන් ගත්තම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා අවසන් වුණාට පසුව අවස්ථාව තිබෙනවා ටැක්ස් ඇපිල් කමිෂන් එකට යන්න. ටැක්ස් ඇපිල් කොමිසමේ ප්‍රශ්නය අවසන් වුණාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්කම තිබෙනවා. මේ ක්‍රියාවලිය වේගවත් කරලා යම් යම් බදු ගෙවීම් පැහැර හැරලා තිබෙනවානම් ඒවා අය කර ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් වජිර පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division