Home » චමින්ද ගිය මඟ තවත් අය යයිද?

චමින්ද ගිය මඟ තවත් අය යයිද?

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියලා ජනප්‍රිය කතාවක් අපි අතරේ තිබෙනවා පමණක් නොවෙයි ඒක නිතරම භාවිත වෙනවා. ඒත් මේක කියමන කිසිසේත්ම ‘ධනාත්මක’ එකක් නොවෙයි. ඒක නිතරම භාවිත වෙන්නේ ඍණාත්මක අදහසකින්.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ හදිසි ඉල්ලා අස්වීමත් එක්ක බොහෝදෙනෙක් ඉහතින් දක්වන ලද ‘නොට්ටිගේ පුතා’ කතාව කියනවා ඇහුණා. ඒත් ඒ චමින්ද විජේසිරිව ඉලක්ක කරගෙන නොවෙයි. සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව ඉලක්ක කරගෙන. මේ කතාව ඇතුළේ කිසියම් පරස්පර ස්වභාවයක් තිබුණත් දේශපාලනයේ අනුලෝම – ප්‍රතිලෝම ගැළපිය හැකි බොහෝදෙනෙක් කියන්නේ චමින්ද හරහා ප්‍රකාශයට පත් වුණේ සජිත් ප්‍රේමදාසගේ ‘උපන් ගෙයි’ දෝෂයක් බවයි.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය කියවන විට ඔහුගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අමතක කළ නොහැකියි. ඒකට හේතුව සජිත්ගේ සමස්ත දේශපාලනයම කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ, ලියවී තිබෙන්නේ ‘ආර්. ප්‍රේමදාස’ කේන්ද්‍ර කරගෙනයි. ඒ නිසා සජිත්ගේ ධනාත්මක මෙන්ම ඍණාත්මක ක්‍රියා කලාපයන් කියවිය හැකි වන්නේ ආර්. ප්‍රේමදාස කියවා ගැනීමෙන් පසුවයි.

කතාව චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම නිසා මේ කතාව ඍජුව ඒ වෙත යොමු කළහොත් චමින්ද විජේසිරි හදිසියේම ඉල්ලා අස් වුණේ ඇයි? ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙමින් කිව්ව කතාව ඔහුගේ ඇත්තම කතාව ද? බොහෝ දේ දේශපාලන විචාරකයන් කියන්නේ චමින්ද ඉල්ලා අස්වුණේ ‘සජිත්ගේ සතුටට හේතු නොවන’ කිසිවකුට පක්ෂය තුළ අනාගතයක් හෝ ගමනක් නැති බවට කාලයක් පුරා පක්ෂය තුළ පැවැති පීඩනය වෙනත් ආකාරයකින් පුපුරා යාමක් ලෙස බවයි. ඒ වගේම සජිත් පක්ෂය තුළ ‘ඒකාධිපතියකු’ ලෙස ක්‍රියා කරන බවටත් ප්‍රබල චෝදනාවක් කාලයක් පුරා තිබෙනවා. විශේෂයෙන් සජිත්ගේ ‘මම පමණයි’ යන පටු මානසිකත්වය වගේම දක්ෂයන් හා තමන්ට අභියෝගයක් විය හැකි තෝරා ගත් පිරිසක් කොන් කිරීමත්, තමන්ට අභියෝගයක් නොවන ‘එහෙයියන්’ පිරිසක් වටකර ගෙන සිටීමත් පසුගිය කාලය පුරා සමගි ජන බලවේගය තුළ අළුයට ගිනි වාගේ තිබුණ සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ දෙනකුට මේ පීඩනය දරා ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබුණත් මනූෂ, හරීන් වගේම වම්පික සහ ෆොන්සේකාත් පසුගිය කාලය තුළ යම් යම් අවස්ථාවල එළිපිට යුද්ධ ප්‍රකාශ කළ අවස්ථා තිබුණා.

මේ නිසා චමින්ද ඉල්ලා අස්වෙමින් කළ කතාවේදී සජිත් ගැන දුන් සහතිකය පහසුවෙන් නොසලකා හැරිය නොහැකියි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි මේ අවස්ථාවේ ‘කොරහත් බිඳගෙන’ එළියට යන්න තරම් චමින්ද අඳබාලයෙක් විය නොහැකි නිසයි. ඒ නිසා චමින්ද සජිත්ට පොඩි බටර් පාරක් ගාලා එළියට බැස්සත් ඔහුගේ ඉල්ලා අස්වීම ‘ඍජුව’ සජිත්ගේ පක්ෂ නායකත්වයේ සළුපිළි ගලවා දැමීමක් බව අපට අපට අමතක කළ නොහැකියි.

අග – මුල ලෙහා ගැනීම

ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට සජිත් ප්‍රේමදාස, ආර්. ප්‍රේමදාසගේ දේශපාලනය මත යැපෙනවා සේම ඒ අනුව ක්‍රියාත්මක ද වෙනවා. අර්. ප්‍රේමදාස ගැන කතා කරන බොහෝදෙනෙක් කරන පොදු චෝදනාවක් තමයි ඔහු තමන්ට අභියෝගයක් විය හැකි පුද්ගලයන් හොඳින් හෝ නරකින් දේශපාලනයෙන් අතුගා දැමූ බව. එවැනි අවස්ථාවක තමන්ට හෝ පක්ෂයට විය හැකි හානිය හෝ විනාශය ගැන නොසලකා හැරීමට තරම් ඔහුගේ මේ ‘භීතිය’ ප්‍රබල වුණා. ඒ සඳහා උදාහරණ ගණනාවක් දැක්විය හැකි වුණත් වඩාත් ජනප්‍රිය හා දේශපාලනිකව බලපෑම් සහගත අවස්ථාව වුණේ ‘ලලිත් – ගාමිණි’ ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් පිටමං කිරීමයි. එදා රටටම පිළිගත් ජාතික නායකයන් වූ ලලිත් – ගාමිණී පක්ෂයෙන් නෙරපා හැරීමට අවශ්‍ය ‘ඕනෑම දෙයක්’ කිරීමට ප්‍රේමදාස නොපැකිළුණු බව පොදු රහසක්.

ඒ වගේම දක්ෂයන් සම්බන්ධයෙන් ‘ප්‍රේමදාස භීතිකාව’ නිසා ලලිත් – ගාමිණී ‘පසුපෙළ ඇමැතිවරු’ වී ඩී.බී. විජේතුංග වැනි (හිටපු ජනාධිපති) ඒ වන විට පසුපෙළ සිටි දේශපාලනඥයන් මුල් පෙළට පැමිණීමත් දේශපාලන පාඩම් පමණක් නොවන බව අප අමතක නොකළ යුතුයි. ආර්. ප්‍රේමදාස පක්ෂය තුළ ඒකාධිපතියකු’ ලෙස කටයුතු කළා පමණක් නොව ඒ හරහා සමස්ත දේශපාලන ක්‍රියාවලියටම කිසිදා නිවැරදි කළ නොහැකි හානියක් කළ බවත් අප කවුරුත් දන්නා කියන කරුණක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වත්මන් දේශපාලන භාවිතය නොව පසුගිය කාලය පුරාම ඔහුගේ සමස්ත දේශපාලන භාවිතය ‘පිය ආරය’ අනුව සිද්ධ වුණ බව අප‌ට මේ අනුව වටහා ගත හැකියි.

සජිත් – මෙතැනින් කොතැනටද?

සජිත් ප්‍රේමදාස ‘බල වියරුවකින්’ පෙළෙන බවත්, ඔහු ලෝකයාට පෙන්වීමට තැත් කරන ‘ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය’ ඔහුගේ භාවිතය තුළ නොමැති බවත් සජිත්ගේ හම්බන්තොට යුගයේ සිට ළඟින්ම සිටි බොහෝදෙනෙක් කියන ප්‍රකට කතාවක්. මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ කිහිපදෙනකුම සඳහන් කළේ ‘සජිත් තමා ගැන පවතින අධි තක්සේරුව නිසා කිසිවකුට ඇහුම්කන් නොදෙන සහ කිසිවකුට තමා අබිබවා යාමට ඉඩ නොදෙන අධිපතිවාදී ආකල්පයකින් ක්‍රියා කරන බවයි. ඔවුන්ට අනුව සමගි ජන බලවේගය යනු අවස්ථාවක් ලැබුණු ඕනෑම මොහොතක පුපුරා යාමට සූදානමින් සිටින ගිනි කන්දකට නොදෙවැනි තැනක් බවට පත්ව තිබෙනවා.

‘අද යම් පිරිසක් සජිත් සමඟ ඉන්නවා නම් ඒ පක්ෂ මාරුවකට හෝ පක්ෂය අතහැර යාමට සුදුසු දේශපාලන පසුබිමක් නොමැති නිසයි. සුදුසු පරිසරය නිර්මාණය වුණ ඕනෑම අවස්ථාවක විශාල පිරිසක් හරීන් – මනූෂ ගිය පාරේ යන්න සූදානමින් සිටිනවා. චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම ඔවුන් තුළ උත්තේජනයක් ඇති කර තිබෙන නමුත් සජිත් පාඩම් ඉගෙන ගනී කියලා මේ කිසිවෙක් විශ්වාස කරන බවක් පේන්න නැහැ. ඔවුන් අවස්ථාව ලැබුණ ගමන් දේශපාලන තීන්දුවක් ගන්නා බව සහතිකයි’ සජිත් සමඟ සමීපව කටයුතු කළ දේශපාලනඥයින් සහ මාධ්‍යකරුවක් කිහිපදෙනකුගේ අදහස්වල පොදු හරය වුණේ මෙවැනි අදහසක්.

“සජිත් ප්‍රේමදාස දේශපාලනයේ මුල් යුගයේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා, ඒ වගේම තමා පක්ෂය තුළ (එවකට එජාපය) ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකමින්, තරුණ නායකත්වයට ඉඩ නොදීම තුළින්, දක්ෂයන්ට ඉඩ නොදීම තුළින් බැට කෑ බව ප්‍රකාශ කළා. අපි දැක්වා සජිත් වසර ගණනාවක් පක්ෂ තුළ කල්ලි සහ කණ්ඩායම් නිර්මාණය කරගෙන පක්ෂයේ ශක්තියට සහ එහි ඒකාග්‍රතාවට විශාල හානියක් කරනවා. එහි අවසානයේ සජිත් නව පක්ෂයක් නිර්මාණය කළා පමණක් නොව එජාපයට දැවැන්ත හානියකුත් කළා. ඒත් අවසාන ශේෂ පත්‍රය මොකක්ද? අද ඔහු සේවය කරන්නේ එදා තමන් බැට කෑ බව කියන දේවල්වලටම වීම දෛවෝපගත කතාවක්. එදා එජාප නායකයාගේ අසීමිත බලතල, ඒකාධිපතිවාදය ගැන කතා කළ සජිත් ප්‍රේමදාසට තමන්ගේම මන්ත්‍රීවරුන්ගෙන් ඒ කතාව ඇසීමට සිදුව තිබෙනවා. පක්ෂ ඒකාග්‍රතාව රැක ගැනීමට නොහැකි බව චෝදනා කළ ඔහුට ඩයනාගේ සිට මනූෂ, හරීන් සහ අවසාන වශයෙන් චමින්ද විජේසිරි දක්වා තරුණ නායකයන්ගේ චෝදනා හමුවේ පක්ෂ ඒකාග්‍රතාව රැක ගැනීමට නොහැකිව තිබෙනවා. මේවා දේශපාලනයේ දෛවෝපගත සිදුවීම් කියලා ලඝු කරන්න බැහැ. මේවා පැහැදිලිවම නායකත්ව දුර්වලතා. සජබ තුළත් නායකත්ව ඒකාධිපතීත්වයක් වර්ධනය වීම හුදු අහම්බයක් නොව ජානගත ව්‍යාධියක්” මේ සජිත්ගේ දේශපාලන ජීවිතය සමීපව අධ්‍යයනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරකයෙක්ගේ දීර්ඝ කතාවක සාරාංශයක් පමණයි.

ජාතික මැතිවරණ ද්විත්වයක් සහ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට නියමිත ඉදිරි කෙටි කාලය තුළ සජිත් ප්‍රේමදාස මුහුණ දෙමින් සිටින මේ විවේචන සහ අභියෝග කිසිසේත් සුළු කොට නොතැකිය යුත් තත්ත්වයක් වන්නේ ප්‍රධාන විපක්ෂය ලෙසත්, අනාගත ආණ්ඩුවක් භාර ගැනීමට සූදානම් බව කියන පක්ෂයක් ලෙසත් සමගි ජන බලවේගය ඉදිරි පෙළ ස්ථානයක සිටින නිසයි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබන, ඒ වෙනුවෙන් කැප වූ වැඩපිළිවෙළක් ඇති බව කියන පක්ෂයක නායකත්වයේ ඒකාධිපතිභාවය ඒකී පක්ෂයට පමණක් නොව සමස්ත දේශපාලන යන්ත්‍රණයටම යහපතක් උදා නොකරන බව අපි අත්දුටු සත්‍යයක්. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය දුර්වල වීම හෝ එහි ප්‍රජාතන්ත්‍රවාදී සුජාතභාවය ප්‍රශ්න කිරීමට ලක්වීම යනු පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබා සිටින බහුතරයක් පොදු ජනතාව තුළ කණස්සල්ලක් මෙන්ම අපේක්ෂාභංගත්වයක් ඇති කරන තත්ත්වයකි. මෙයින් වාසිය හෝ අවස්ථාව උදා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොවන කෙටි මං මඟින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සිහින දුටු ඉතිහාසයක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩි විශ්වාසයක් නොතබා සිටින බලවේගවලට බව පැහැදිලි කරුණක්.

එනිසා සජබ මෙම මැතිවරණ වසරක් තුළ මුහුණ දෙන මේ සංකීර්ණතාව පක්ෂ නායකත්වය පමණක් නොව සජබ මන්ත්‍රීවරුන් සහ ඔවුන් සමඟ කටයුතු කරන සෑම පාර්ශ්වයක් විසින් ම දැඩි සැලකිල්ලට ගත යුතු කරුණක්. ඊට හේතුව වන්නේ මේ මෝරා එමින් තිබෙන අර්බුදය අවස්ථාව ලද විගස පුපුරා යාමට ඇති හැකියාව අපේක්ෂා කළාට වඩා වැඩි දෙයක් පිළිබිඹු කරන නිසයි.

තවත් අය යයිද?

‘චමින්ද ගිය පාරේ තවත් අය යයිද?’ මෙය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ඒකට පිළිතුරු මේ වන විටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබිලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස නායකත්ව අරගලය ආරම්භ කළ මුල් යුගයේ ඔහු සමඟ සිටි බොහෝ දේශපාලනඥයන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් ඔහු සමඟ වර්තමානයේ දකින්නට ලැබෙන්නේ අඩුවෙන්. පක්ෂයේ මුල් පුටු වගේම, මාධ්‍ය අවකාශය, තීන්දු – තීරණ ගැනීම බොහෝවිට තිබෙන්නේ ‘එහෙයියන්’ හෝ අභියෝගයකින් තොර පුද්ගලයන් අත මිස පක්ෂයට එළියක්, ජවයක් ලබාදිය හැකි අය සතුව නොවෙයි. ඒ නිසා තමන්ට හිමිව ඇති සහ අනාගතයේ (ආණ්ඩුවක් තුළ) තමන්ට හිමිවිය හැකි තැන ගැන සජිත් සමඟ අද සිටින බොහෝදෙනකු තුළ පවා දැඩි සැකයක් හා කණස්සල්ලක් පවතින බව ප්‍රකට කරුණක්. ඒ බව පැවසීමට තරම් චමින්ද විජේසිරිට ‘කොන්දක්’ නොතිබුණත් සරත් ෆොන්සේකා, හරීන් සහ මනූෂ පමණක් නොව සජිත්ගෙන් මුලත් වෙන්ව ගිය ඩයනා පවා පෙන්වා දී තිබෙනවා.

රන්ජන්, චම්පික සහ තවත් බොහෝදෙනෙක් තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවක හා වේදිකාවක මේ බව නොබියව ප්‍රකාශ කරන ආකාරයක් අප බොහෝවිට දැක තිබෙනවා. ඒ නිසා සජිත්ගේ සජබ ඒකාධිපතීත්වයට සහ අධි තක්සේරුවට අභියෝග කරන්න සූදානම් බොහෝදෙනෙක් ‘තැටිය රත්වන’ ඕනෑම අවස්ථාවකදී තමන්ගේ වේදනාව හෝ කණස්සල්ල එළිපිට ප්‍රකාශ කරමින් ‘චමින්ද පන්නයට’ වඩා ප්‍රබල විරෝධයක් සමඟ තමන්ගේ ගමන ආරම්භ කරනු ඇති බව නිසැකයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. ඒ නිසා අපට ඉතාම නුදුරේදීම සජබ තුළ තවත් නායකත්ව කැරැල්ලක් හෝ පුපුරායාමක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවනු ඇති බව නිසැකයි.

මේ සමඟ තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ ඇත්තටම වත්මන් ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට සජිත් ප්‍රේමදාසට සහ ඔහු සමඟ සිටින කල්ලියට හැකියාවක් තිබේද යන්නයි. සජිත් ප්‍රේමදාසගේ පසුගිය අතීත ක්‍රියාකාරීත්වය දැක්ක සහ ඒ ගැන අවධානයෙන් සිටි බොහෝදෙනෙක් කියන්නේ වත්මන් දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ වර්ධනය වෙමින් තිබෙන ජනතා සහ ආර්ථික – සමාජයීය වුවමනාවන්ට පිළිතුරක් වීමට සජබයට ඇති හැකියාව සීමිත බවයි. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස තවමත් තම පියාගේ අඩිපාරේ යාමට දක්වන උපන් ගෙයි කැමැත්ත සහ ඔහුට එවැනි තැනකින් ඔබ්බට කල්පනා කිරීමට ඇති නොහැකියාව හමුවේ ‘විකල්පය’ වීමට ඔහුට සහ ඔහු වටා සිටින කණ්ඩායමට ඇති හැකියාව අතිෂය සීමිත බවයි පොදු අදහස වන්නේ.

මේ ගැන අදහස් දැක්වූ බොහෝදෙනකු කියන්නේ විපක්ෂ නායකයා ලෙස සජිත් මේ දක්වා වත්මන් සමාජ – ආර්ථික හා විශේෂයෙන් දේශපාලන අභිලාෂයන් ගැන දක්වන ලද පසුගාමී ආකල්ප සහ මන්දගාමී ක්‍රියාකාරීත්වය හමුවේ ඔහු ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට ජනතාව නොපෙලඹෙනු ඇති බවයි.

මෙය හුදු අදහසක් නොව දේශපාලන යථාර්ථයක් වන්නේ සජිත් ප්‍රේමදාස තවමත් තම පක්ෂය තුළ පවා පූර්ණ විශ්වාසයක් සහ ගෞරවයක් දිනා ගැනීමට අසමත් වීම තුළයි. එසේම ඔහුගේ දේශපාලන පෞරුෂත්වය කිසිසේත් ‘ආකර්ෂණීය’ හෝ විශ්වාසනීය නොවන තත්ත්වය තුළයි. මේ ඍණාත්මක තත්ත්වය ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයකු මුහුණ දෙන ස්වභාවික තත්ත්වයක් නොවන ‘තමන් විසින් වගා කරගත්’ තත්ත්වයක් බවයි අපගේ අදහස වන්නේ. එනිසා සජිත් ගැන විශ්වාසය තැබීමට ජනතාව නොව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා ඉදිරියේදී වරක් දෙවරක් නොව කිහිප වරක් සිතනු ඇති බව පැහැදිලි කරුණකි.

ඩේමියන් ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division