Home » සීසන් ටිකට්වලට සිසුන්ගෙන් ඉහළ ඉල්ලුමක්

සීසන් ටිකට්වලට සිසුන්ගෙන් ඉහළ ඉල්ලුමක්

සිසු සැරිය බස් රථ සංඛ්‍යාවත් ඉහළ දමයි

by Mahesh Lakehouse
January 13, 2024 12:40 am 0 comment

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ 2023 වසරේදී පාසල්, විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාලවල සිසුන්ගේ සීසන් ටිකට් ඉල්ලුම ඉහළ යාමෙන් රුපියල් මිලියන 21,775ක මුදලක් ආදායම් ලෙස ලැබී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉකුත් 12 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එයින් සීසන් ටිකට්පත් සඳහා පාසල් සිසුන්ගෙන් අය කරනු ලබන්නේ සියට 07ක මුදලක් පමණක් බවත් ඉතිරි සියයට 93ක මුදල රජය විසින් දරනු ලබන බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන්ගෙන් සීසන් ටිකට්පත් සඳහා අය කරගනු ලබන්නේ සියයට 21ක මුදලක් පමණක් බව ද සඳහන් කළ ඇමැතිවරයා ඉතිරි සීයට 79ම රජය විසින් දරන බව ද පැවසීය.

2022 වසර තුළ අලෙවි කළ සීසන් ටිකට්පත් සඳහා මිලියන 14,941ක ආදායමක් ලැබී ඇතැයි ද සඳහන් කළ ඇමැතිවරයා 2023 වසරේදී 2022ට සාපේක්ෂව රුපියල් මිලියන 7,834ක ආදායමක් සීසන් ටිකට් අලෙවියෙන් ලැබී ඇතැයි ද අවධාරණය කළේය.

2023 වසරේ සීසන් ටිකට්පත් වෙනුවෙන් රජය දරන වියදමින් මිලියන 8,000 මුදලක් ලැබී ඇති ඇති අතර තවත් මිලියන 12,136ක් ලැබිය යුතුව තිබෙන බවද මෙහිදී හෙළි කළ ඇමැතිවරයා ඒ සඳහා සිසුන්ගේ අය කරගෙන ඇත්තේ රුපියල් මිලියන 1,638ක් පමණක් බවද කියා සිටියේය.

2022 වසරේදී සීසන් ටිකට්පත් සඳහා මිලියන 6,100ක මුදලක් රජයෙන් ලැබී තිබෙන බවත් ඒ සඳහා ලැබිය යුතු මුළු මුදල මිලියන 13,788ක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර එහිදී සිසුන්ගෙන් අය කරගෙන ඇත්තේ රුපියල් මිලියන 1,153ක් පමණක් බව ද සඳහන් කළේය.

ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන් මාසිකව සීසන් ටිකට්පත් ලබා ගැනීමේ ඉහළ වර්ධනයක් සිදුව ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය. මෙරටේ මහාමාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා වෙන් කළ මුදලටත් වඩා වැඩි මුදලක් මෙරටේ සිසු පරපුරට සහන මිලට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා රජය විසින් දරා තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පාසල් නිවාඩු සමය බැවින් චක්‍රලේඛවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේදී සීසන් ටිකට්පත් නිකුත් කිරීමට අයිතියක් නොමැති වුවත් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන් වෙනුවෙන් සීසන් ටිකට්පත් නිකුත් කළ බව ද ඇමැතිවරයා පැවසීය.

මෙයට අමතරව පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක වන සිසු සැරිය පාසල් බස්රථ සේවාවට මහා භාණ්ඩාගාරය මඟින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ප්‍රතිපාදන ලබාදෙන අතර, ලංගම බස් රථ 790ක් සහ පෞද්ගලික බස් රථ 710ක් සිසු සැරියට යොදවා ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

වසර 2023දී දළ වශයෙන් පාසල් 5,331ක සිසු සිසුවියන් 115,500ක් සිසු සැරියේ ගමන් කර ඇති අතර, ඒ වෙනුවෙන් ගමනාගමන මණ්ඩලය විසින් රුපියල් මිලියන 493.71ක් වැය කර ඇත. 2023 වසරට සිසු සැරිය ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 1,660ක් වුව ද මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල රුපියල් මිලියන 1,580කි.

මෙම වැඩසටහනට යොදවා ඇති බස් රථ මඟින් ලැබෙන ආදායම, වියදම පියවා ගැනීමට පමණක් ප්‍රමාණවත් වුවද මෙම සේවාව හුදෙක් අධ්‍යයනයට අත්වැලක් දෙන සමාජ සත්කාරක ක්‍රියාවක් ලෙස ශ්‍රීලංගම මඟින් ඉටුකරන බවද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේය.

සිසු සැරිය සේවාවට අමතරව දෛනිකව තවත් බස් රථ 1,450ක් පාසල් ආරම්භ කරන සහ පාසල් අවසන් වන වේලාවන් අනුව සේවයේ යොදවා ඇති අතර එම සේවාව අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වේ. එමෙන්ම එය කාර්යාල රාජකාරි හා පාසල් සිසුන් යන දෙපිරිසටම ගමන් කළ හැකි පොදු සේවාවක් ලෙස පවත්වා ගෙන යෑමට ද පියවර ගෙන ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division