Home » ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්….

ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්….

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

“ඉතිං සර් බිසී ද?.. චුට්ටක් කතා කරන්න ද?..”

අදත් නිරෝෂිගේ මිහිරි කටහඬ දුරකතනයේ රැව් දෙන්න ගත්තා.

“.ඔව්.. නිරෝෂි කියන්න..”

මා ඇයට අනුබල දුන්නා. මීට පෙර ඇමතුමෙන් ඇය පවසමින් සිටියේ ඇයගේ විවාහය දෙදරා යන්නට පසුබිම සැකසුණු හැටියි. අද ඇය සැරසෙන්නේ එහි ඉතිරි කොටස පවසන්නට විය යුතුයි.

නිරෝෂි මා වෙත ඉදිරිපත් කළ රැකියා අයැදුම්පතට අනුව ඇය මට වඩා වසර දහ අටකින් පමණ වයසින් බාලය. එහෙත් ඇය ඇගේ බිඳී ගිය පළමු විවාහයේ සියලු තොරතුරු මා වෙත පවසන්නේ ඈ මගේ සම වයසේ සමීප මිතුරියක මෙන් නොවේද?

“…සර්ට මං එදා කීවානේ මගේ මනුස්සයට මං කොච්චර ආදරෙන් හිටියද කියලා…”

ඇය නැවතත් පෙරදා නතර කළ තැනින්ම සිය ආත්ම ප්‍රකාශනයට පිවිසෙන්නේ එදා රිද්මයෙන්මය.

“..ඩිවෝස් එකේ තීන්දුව ලැබුණාම මං ඒ ගෙදරින් බැහැලා ආවේ එයා අරගෙන දීපු දෙවෙනි දවසෙ සාරියයි, මඟුල් මුද්දයි ඒ මනුස්සයා අතටම ආපහු බාර දීලයි සර්..

ඉතිං මම සර්ගෙන් අහන්නේ… මට ආපු අලුත් මඟුල් යෝජනාවෙ මහත්තයට ඒ පරණ කතාවේ විස්තර දැන්ම කියන්නද එපාද කියලයි.”

ඇගේ හුස්ම හඬ මට ළංව ඇසුණා.

“..ඇයි ඉක්මන් වෙන්නේ.. නිරෝෂා.. සිදුවෙන්න ඕනෑ ඔයාගෙ අතීත කතාව පුළුවන් තරම් ඉක්මනට ඒ අලුත් මහත්තයට කියන එක නෙමෙයි.

ඔයා වගේම අසාර්ථක විවාහයකින් තනි වෙච්ච ඒ මනුස්සයට එහෙම වෙන්න හේතුවයි, එයාගෙ අනාගත අරමුණුයි හැකිතරම් ඉක්මනට ඔයා දැනගත යුතුයි කියලයි මට නම් හිතෙන්නේ..”

” ඒ කියන්නෙ ඔයා අලුත් මනමාලයට ස්ථිරවම වචනෙ, කැමැත්ත දුන්නට පස්සේ ඔයාගෙ පළමු විවාහයේ අතීත විස්තර එයාටත් එයාගෙ කලින් විවාහයේ විස්තර ඔයාටත් දිගින් දිගටම හාර හාරා විමසීමේ බලය දෙන්නටම සහමුලින්ම අහෝසි වෙනවා..ඒ නිසා දැනගත යුතු සියලු දේවල් දෙවෙනි විවාහයට කැමැත්ත ප්‍රකාශ කරන්නට කලියෙන් අහලා දැනගන්න කියලයි මම නම් උපදෙස් දෙන්නේ..”

තානායමෙන් ඈත කඳු මුදුන්වල පිහිටි විදුලි සංදේශ පරිපථ කුලුනු අපේ සංවාදයේ සියුම් සුසුම් පවා මැනවින් සන්නිවේදනය කරමින් සිටියා.

අතීතයේ පටන් තානායමේ විවාහ උත්සව ආදියට තාතායමේ සකසා ගත නොහැකි රසකැවිලි වර්ග පිටතින් සපයා ගන්නවා.

එම කාර්යයට බොහෝ කලක පටන් දායක වන්නේ තානායමට මීටර් දෙතුන් සියයක් ඈතින් පිහිටි දුප්පත් නිවසක කාන්තාවක් විසිනුයි.

ගොවිතැන්වල නියුතු සැමියකුගේ බිරියක වන ඇය එදා පටන් තානායමේ ළමයි හැඳින්වූයේ ඉඳිආප්ප අම්මා කියලයි.

ඉඳිආප්ප හදනවා කියන එක එදා අතීතයේ අද වගේ පහසු නෑ.

කලින්දා රෑ හාල් පෙඟෙන්නට දාලා හාල් කොටලා පෙනේරෙන් හලලා තමයි ඉඳිආප්පවලට හාල් පිටි හදාගත්තේ.

කාලයාගේ ඇවෑමෙන් ක්ෂණික ඉඳිආප්ප පිටි පැකට් වෙළඳපොළට පැමිණියා.

ඉඳිආප්ප අම්මලාගේ සේවය ඉන්පසුව තානායම්වලට ක්‍රමයෙන් අනවශ්‍ය වන්නේ ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් උදේට ඉඳිආප්ප තැම්බීම තානායම් මුළුතැන්ගෙයට පැවරුණු නිසයි.

ඒ නිසා අද වෙද්දි බොහෝ වියපත් ඉඳිආප්ප අම්මා දැන් තානායමට පැමිණෙන්නේ ඉඳහිට විවාහ උත්සවයක කැවුම් කොකිස් අවශ්‍යතාවයකට හැරුණු විට සිංහල අවුරුද්ද, ජනවාරි පළමුවෙනිදා උදේ තේ මේසය වැනි විශේෂ අවස්ථාවකදී තානායමට අවශ්‍ය රසකැවිලි ඇණවුම සඳහා පමණයි.

අතීතයේ මට මතක කාලේ ඉඳිආප්ප අම්මාට වයස දාහතරක පහළොවක තරමේ හුරුබුහුටි දැරිවියක් සිටියා.

ඉඳිආප්ප අම්මාට බැරි අමාරු දවසට හිමිදිරියේම ඒ දැරිවි තානායමට ඉඳිආප්ප අරගෙන ආවේ ඇය පාසල් යන්න සැරසුණු සුදු ගවුම පිටිනුයි.

හිටි හැටියෙම ඒ දැරිවි තානායමට ඉඳිආප්ප රැගෙන එන ගමන නතර වුණා.

හොයලා බැලුවාම ඒ දැරිවි වැඩිවිය පැමිණිලා.

ඉන් පස්සෙම ඇය තානායමට ආවේ නෑ.

ඊට මාසෙකට විතර පස්සේ ඇගේ නොපැමිණීමට සැබෑ හේතුව හෙළිදරව් වුණා.

“..තානායමේ මුලුතැන්ගෙයි සහායක අපේ කුස්සියේ ලකියා ඉඳිආප්ප අම්මාගේ දුවගෙ කම්මුල් අතගාලා… “..ඔයාගෙ මුහුණ හඳක් වගෙයි.” කියලා.

ආධුනිකත්ව මණ්ඩලය යටතේ තානායමේ මුළුතැන්ගෙයි පුහුණුව ලබමින් සිටිය ලක්ෂ්මන් නමැති නව යොවුන් ගැටවරයා ඒ කරපු අවර ක්‍රියාව ඉඳිආප්ප අම්මා නොදන්නවා විය නොහැකිය.

එසේ නම් එය පැමිණිල්ලක් හැටියට මට ඉදිරිපත් නොකළේ ඇයි ?

ඊට හේතුව එම සංවාදය දුරදිග ගියහොත් දැරියගේ නමට කැළලක් වනවා මෙන්ම එම නොසන්ඩාල ක්‍රියාව සිදුකළ තරුණයාගේ රැකියාවද අහිමි වී තමන්ගේ ඉඳිආප්ප ඕඩරයත් අවලංගු වේදැයි බිය වූ නිසාද?

මීට මාසෙකට විතර කලින් දවසක්දා හවසක ඒ ඉඳිආප්ප අම්මා මාව සොයාගෙන ආවා.

ඒ තනිවම නෙමෙයි. එදා තානායමට ඉඳිආප්ප අරගෙන ආව හුරුබුහුටි දැරිවියත් එක්කයි.

අද වෙද්දි ඒ පොඩි කෙල්ල මහ ගෑනියක්.

එදා අපේ කුස්සියේ ලකියාගේ නිර්දේශය හරියටම හරි නොවේදැයි මට හිතුණා.

ඇගේ මුහුණ සඳක් වගේම ලස්සනයි තමයි.

“..සර්ට මතක ඇතිනේ.. මේ මගේ එකම දුව..”

“..ඔව්.. ඔව්.. මොකද අමතක.. දැන් දුව මහ ළමිස්සියක් නේ..”

“..අනේ පොඩි උදව්වක් ඕනෑ වෙලා සර්.. දුව රස්සාවකට අයදුම් පත්‍රයක් දානවා… ඒකට ඥාතීන් නොවන දෙන්නෙකුගේ නම් දෙකක් ඉල්ලනවා සර්.. එයින් එකකට පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම දැම්මා.

ඉතින් මේ දුවත් එක්කම ආවේ අනෙක් නමට සර් ගේ නම දාන්න අවසර ගන්නයි..”

“..අයියෝ ඕක ඇවිල්ලාම අවසර ඉල්ලන්න තරම් දෙයක්ද?.”

මගේ වචනයෙන් දෙදෙනාගේම මුහුණුවල රැඳි ආතතිය ලිහිල් වී සිනාවක් ඇඳුණා.

“…දැන් ඉතින් රස්සාවක් නොකර කන්න බොන්න බෑනේ සර්..”

එදා දැරිවියකව සිටිය කලාතුරකින් මුණ ගැසී තිබූ ඉඳිආප්ප අම්මාගේ දුව ඉතා කුළුපග අයුරින් මා සමඟ කතාවට වැටුණා.

ඊට දින දෙක තුනකට පසුව රෑ නමයට පමණ නිරෝෂාගෙන් පළමු දුරකතන ඇමතුම ආවා.

සර් මං ඉඳිආප්ප අම්මාගේ දුව.. සර්ගෙ නමත් ඒ විදිහටම නන් රිලේටඩ් රෙෆරීස්වලට දැම්මා… ඉතින් කවුරු හරි විමසීමක් කළොත් සුදුසු විදිහට මගේ ගැන කියන්න සර්… තෑන්ක්යු.. ගුඩි නයිට් සර්..”

එදා ඒ අයුරින් ඇරඹි දුරකතන කතාබහ අද වෙද්දී ඇයගේ පළමු විවාහය දෙදරා ගිය හැටි දක්වා අඛණ්ඩව ඇදී ගොස් තිබෙනවා.

හෙට අනිද්දා ඇය තවත් විවාහයක් සිදු කරගෙන ජීවිතයට මුහුණ දිය යුතුයි.

එම නිසා ඇයගේත් මගෙත් මේ රාත්‍රී කතාබහ මෙලෙසින් පවත්වාගෙන යාම සීමා කළ යුතු නොවේදැයි මට සිතුණා.

ඔව්.. මීළඟ ඇමතුමේ සිටම ඇයට හිතෛෂි අසා සිටින්නෙකු වීමෙනුත්, සවිස්තර පිළිතුරු දීමෙනුත් ක්‍රමයෙන් ඈත් වීමට මා එකහෙළා තීරණය කළා.

රංජන් ගාමිණි ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division