Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

රට ගැන සිතමු

රට වැටිලා කුස ගිනි ඇවි­ලෙන කාලේ
මැති­ව­ර­ණ­යක් තැබු­මෙන් ඇති කිමද පලේ
දැන් ඩිංගක් හිස ඔස­වනු හදන වෙලේ
දුන්නොත් සහය එක්වී හොඳ නොවෙද බොලේ

මුඩු­බිම් සිය­ල්ලම ගොවි­තැන් බත් කරමු
කර්මාන්ත නැංවී­මට වෙර දරමු
පටු බල­වේ­ග­යන් නිර­තුරු පිටු දකිමු
සිය­ලුම පක්ෂ­යන් එක­තුව රට හදමු

වර්ජන අර­ග­ලෙන් ඵල නොව සැමට
ජාතිය ගැන සිතා රට ගත යුතු උඩට
සත්තට ඔබම ඔබ ගැන එක­ඟව සිතට
යනු හැක සැමට තිර සුබ ගම­නක් පෙරට

චම්පා ගුණ­සේ­කර


සිති­වි­ල්ලක්

මඳ පවන් රැළි හෙමින් ඇවි­දින්
ඔහෙ ඔහේ දැව­ටු­ණාවේ
වනය රත්සර ළහිරු කිර­ණින්
නැහැ­විලා ඉප­දු­ණාවේ

කැදලි තනනා විහඟ රංචුව
රිසිව දොඩ­මලු වුණාවේ
ගල් පරයෙ හැපි හැපී නදි­යත්
පෙණ නංව­මින් ගියාවේ

ඒ. එච්. චම්පිකා ජය­මිණි


රිදුම් පිරි ඇගේ හද­වත

කුටු­ම්බයෙ කොටු­වුණ
මහද
රිදුම් පිරි
කටු අකු­ලක දැව­ටුණ
සිනිඳු සළු­වක් මෙනි…
නුඹ විඳින
රළු වදන්
සැඬ පවන් වැද
කටු තුඩු මතම තෙර­පෙන…
විලි­ස්සන විට මධු විතක උම­තුව
කොනි­ත්තන විට වැහි කෝඩ හීග­තුව
වෙළි වෙළී …
රැයක – පහ­සක
බොර­පාට දෑසින් පිරි­මැද
මුදු ළමැදෙ මුළු සිරුරෙ
සිලි – සිලියෙ තව­රන
රස වදන් වැල්වල මල් සුවඳ
එසැ­ණම වියැ­කෙන
පුංචි වැහි බිඳු මෙනි
ඝන­දු­රක නිවි – නිවී දැල් වෙන
කදෝ­කිමි වැනි එළි මෙනි

ලාල් කළු­ත­රගේ


මේ ඇර­ඹු­මයි

තබා සිත අට ලෝ දමින් හිමි කෙරුණු දෙය
මත­ක­යන් ඉගි­ල්ලෙයි ගෙවී යන කාලයේ
නොන­ග­තය අහ­ව­රව සුබ නැකත් වඩින තුරු
බලා ඉන්නට වේවි! ආයෙ­මත් මුල සිටම

කුංච­ නා­දය නඟ­න්නට අම­ත­කව ගියද
සුදු නෙළුම් මල­කුත් පිපුණා ද සොඬ අඟින්
එවන් සිහි­න­යක් නුදු­ටුව ද අලු­යම ගෙනෙන
සිත තුළ නිදයි රජ කුමරු කවි පද කිරුළ තනන

නෙතු­වල ගැටෙන සඳ එවන් හමු­වක අසිරි
දලු කොළ මල් පිපෙයි අංකු­රය මෝදු වී
විස්සයි විසි හත­ර­ටත් ආ වඩ­න්නට
පන්හිඳ කළ­එළි බසියි ලොව දකි­න්නට

දයා ඩී. වන්නි­නා­යක


පියා­ණෙනි

කටු අකුල් ගිරි දුර්ග ගහන වු මාවතේ
ඉදි­රි­යට ඇදෙන හැටි කියා දී මා වෙතේ
දිව බොජුන් නැති වුණත් කිසි­දාක හාමතේ
තැබුවෙ නැහැ අප­ට­මයි කැප කළේ ජීවිතේ

ළය පුරා දරා­ගෙන අපි­රි­මිත දරු සෙනේ
මා රැගෙන මුල් වරට පාස­ලට ගිය දිනේ
සිහි­න­යක් මෙන් අදත් ඒ දිනය මට පෙනේ
එවන් හැම මොහොතෙ ඔබෙ සුවඳ මට දැනේ

කුඩා කල මා ඇඳපු සිතු­ව­මක් තෙළි තුඩින්
දුටුව විට අඩු පාඩු කියාදී සෙනෙ­හ­සින්
පෑ දයා ගුණය අද ගිලි­හිලා මා ළඟින්
ඔබ සිහිව ගල­නවා උණු කඳුළු නෙත් අගින්

පාලිත ගුණ­සිංහ


සිතු­වම

අතට ගෙන පොඩි පින්ස­ලක්
නිවා ගන්න ලොකු ගිනි කඳක්
යළි නොඑන බව දැන දැනත්
ඇන්දා එහි ඔබෙ සිතු­ව­මක්

සිටියෙ ඔබ අතැ­තිව මලක්
සමඟ මුව­ගෙනි හස­රැ­ල්ලක්
ඉබේ ඇඳි ඒ සිතු­ව­මක්
කළා මගෙ හද අළු ගොඩක්

එම්.එල්.පී. ඉඳු­මිණි හේරත්


ඒඩ්ස්

ආලය ආද­රය සෙනෙ­හස පිරුණු සිත
මානව දිවිය සතු­ටට පත් කරනු ඇත
කාමය රතිය හා රාගය ඇලුණු සිත
රෝගය ඒඩ්ස් වැලඳී දුක් විඳිනු ඇත

ලය­නල් ගමගේ


රළ පෙර­ළිය සුනා­මිය

සුනා­මිය ඇවිත් මේ මස විසි හයට
දහ­නව වස­රක්ම ගතවී ඇති කලට
මියැ­දුණ අතු­රු­දන් පිරි­සගෙ නාම­යට
සොව පළ­ක­රමු සිත තුළ ඇති­වන දුකට

කැල­ඹිලි ගතිය ඇති­වී­මෙන් මුහුද යට
රළ ඉහ­ළට ගොසින් ඇවි­දින් ගොඩ­බි­මට
වතු­පිටි ගෙවල් දොර­වල් සුනු­වි­සුනු කොට
ජීවිත පවා නැති විය අයියෝ අපට

කෙත­රම් බල­වත්ද කිව­හොත් සුනා­මිය
දුම්රිය පෙරළුවා මාතර බලා ගිය
සිහි­පත් වෙලා මගි­යන්ගේ විලා­පය
කම්පා වෙනව අද­ටත් ගම පැරෑ­ලිය

නන්ද­වීර ගාල්ලගේ


නිය­ඟලා

නෙළා ගන්නට නොහැකි තැන්ව­ලම හුදෙ­කලා
බලා ඉන්නට පමණි මල් පිපුණෙ හිනැ­හිලා
කළා වුව රැඟුම් යන ගම­නෙදී නැළ­විලා
ගලා යන ගඟක් සිටි­යාද මඟ නැව­තිලා

හලා හල විස අලය පොළොව යට සඟ­වලා
මළා මුත් බලා රස මුලා වී පෙර­ළලා
වෙළා ගත් නෙත ගැඹුරු දැක්ම නැති හුද­කලා
කලා රස අඩු­වෙලා ඇත්ද මල නිය­ඟලා

මල්කා රත්න­තුංග


අමර මතක

කවි­යට හිතේ හැමදා තිබූ කැමැ­ත්තට
පද බැඳි හතර පද යැව්වා දින­මි­ණට
අමරේ පෙළ ගහන කවි පිටුවේ අගට
මගෙ කවි පෙළක් තිබුණා සම­හර දිනට

අසූ ගණ­න්වල ‘දින­මිණ’ පුවත් පත
කවි­යට දීපු තැන හරි ඉහ­ළින්ම ඇත
කවි රස බෙදා­ගෙන පාඨක දනන් වෙත
සති­යට දින දෙකක් කවි වැර­දුනේ නැත

අමරේ එදා ඔබ අප හට අත දුන්න
සම­රමි සදා පුද­නෙමි මේ මල් ගොන්න
රස­ව­න්ත­යෙකි ඔබ හිත හරි සුප­සන්න
තව එක වරක් අප අතරේ ඉප­දෙන්න

ගාමිණී චන්ද්‍ර­සේන


දෙකම එකට

හමු­වීම
වෙන්වීම
දෙකම
හමු­වීම
තුළම

කේ. ඩබ්ලිව්. සිරි­සේන


කඳුළු

කළු පැහැ­යෙන්
උපැස් යුව­ළ­කට
යට­වුණු,
හඬන ගින්දරේ,
කර­කැ­වෙන
රතු පැහැයේ,
අත, කර, කන
කඳුළු කැට…

කීර්ති කපු­වත්ත


සබඳ

මේ විසල්
ලොවෙහි මට
ඔබ උතුම් මිනි­සෙ­කිය
සියලු දෑ
වෙනස් විය
ඔබ තවම නොවෙ­නස්ය
පෙර ලෙසම ළෙන්ග­තුය
සබඳ ඔබෙ
මිතුරු හද
ළබැඳි ඔබෙ
මිතු­රු­දම
මට මහඟු සවි­යක්ය

ශ්‍රීමතී කුමාරි ජය­කොඩි


ඇබෑර්තු නැත

අඩ­සිය වසක්
වින්දා දුක්
ගොඩක්
දන්නා අය ඉන්නවා
හුඟක්
ඒ අය දුන්නෙ නෑ
ඉඩක්

සමන් සුර­වීර ආරච්චි


හුදෙ­කලා වී මගේ ලොවේ

මල් කිනිති දුරු­ත්තට පිනි අගින් තෙමෙද්දී
තැබු සිහින මන්දිර හද­වතේ බිඳෙද්දී
ඇති නැති පර­ත­රය මහ ඉහ­ළින් දැනෙත්දී
අව­ස­රයි නික්මෙන්න නුඹේ සිත් පුර­ව­රෙන්

අපේ කතා බහ ඉර හඳ තරු යට දැනෙන්දී
බැඳි සෙනෙ­හස හද­වතේ ගැඹු­රුම තැන රැඳෙද්දී
මා යා යුතුයි දැනුම දෙන්නට දැයේ දුවා දරු­වන්ට
ජීවි­තය සිනා­සෙයි මතු­දාක වස­න්තය උදාවී

නුඹ හුදෙ­කලා වී ලෝකයේ මා සොයද්දී
නැඟෙයි අපගේ මතක සට­හන් හද­වතේ ශේෂ වී
සොයා එන්න අනා­ග­තය වෙත වර්ත­මා­නය දිගේ
හිඳින් නම් නුඹ එන­තුරා හුදෙ­කලා වී මගෙ ලොවේ

අසංක දේවේන්ද්‍ර


සොහො­න්ප­ල්ලාගේ සිත

රාත්‍රිය බිය­ක­රුය මා හට
තිගැ­ස්මක් කැල­ඹේය සිත තුළ
ඇඟිලි ගනි­මින් එළි­වෙනා තුරු
නොනින්දේ පසු වේය මා සිත

කැලඹි සිත­කින් කරන මුර­යද
විටෙක සිතු­නත් අත් හැරී­මට
කරන රැකියා පසුව මා හට
සිතා ගන්නට නොහැකි වී ඇත

සවස මෙහි ආ මඟුල් පෙර­හැර
නිර­න්තර සිහි වේය මා හට
සසරෙ බිය­කරු බවද දැන් මට
ටිකෙන් ටික වැට­හේය කදි­මට

බී.එම්.ඒ. සඳුනි කල්පනි


ළඳුනි නුඹ කවුද?

තම්බපණ්ණි­යට ආ රුව­කට තුටුව
පර­වේ­ණිය රටේ නොර­ටුන් වෙත පිදුව
කිරු­ළක් අහිමි දරු­වන් දෙදෙ­නෙකු වැදුව
කුවේ­ණිය නුඹද ළඳුනේ ලක වික්‍රම

රැ මැදි­යමේ රහ­සින් පෙම් දිව ඔසුව
දිව ගෑ කතා­වක් ඇත – රූපෙට හසුව
දරු­වන් ලැබු තව තව පණ්ඩුට පසුව
චිත්‍රා නුඹද එක්ටැඹ තුළ සිර කෙරුව

තහ­නම් පෙමක් අබි­ය­සදී හිස පිදුව
දස්කොන් කතා­වක ඇත ඉති­හස දිගුව
දරු­වන් සිටි – නොසිටි කිසි­වක වග නැතිව
නුඹ­මද ළඳුනි ප්‍රමි­ලාවෝ මෙහි විසුව

රජ කුල මැදුරු සිරි යහ­නුන් පිටු දුටුව
සිය හිමි­යන්ගේ ගුටි බැට කෑ අඩු නැතුව
මර­ණය ළඟදි වුව ළය පා රැකි පුතුව
අම්මාවරු නුඹය – වැළ­ලුණු ලොව දිගුව

ගාමිණි මද්දු­මගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division