Home » අංක 1 හිමි පෙම්වතාට – පෙම්වතියට අංක 7 ආදරවන්තයා – වන්තිය හොඳින්ම ගැළපෙයි

අංක 1 හිමි පෙම්වතාට – පෙම්වතියට අංක 7 ආදරවන්තයා – වන්තිය හොඳින්ම ගැළපෙයි

අංක විද්‍යා ජ්‍යොතිෂය

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

මෙවර නිපුණතා අංක 1ට අංක 5 – 6 – 7 – 8 – 9 අංකවල ගැළපීම

යහපත් විවාහ සම්බන්ධතාවකට හෝ හවුල් සම්බන්ධතාවකට අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව වඩාත් ගැළපෙන සහකරුවා සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව නිපුණතා අංක 1ට අදාළව නිපුණතා අංක 1,2,3,4 යන අංකවල ගැළපීම පසුගිය කලාපයෙන් සාකච්ඡා කරන ලදී. මෙවර නිපුණතා අංක 1ට අංක 5, 6, 7, 8, 9 යන අංක හිමි අයගේ ගැළපීම සඳහන් කරනු ලැබේ.

නිපුණතා අංකය සොයා ගැනීම සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

නිපුණතා අංක 1ට නිපුණතා අංක 5 වන අයගේ ගැළපීම

මෙම අංක එක සහ පහ හිමි අයෙකුගේ ගැළපීම එතරම් සාර්ථකභාවයක් දැකිය නොහැකිය. මෙය දුර්වල සම්බන්ධතාවක් ලෙස සඳහන් කළ හැකිය. මුලින් හොඳට හිටියද ටික කාලයක් යන විට ගැටලු ඇති කරයි. දීර්ඝකාලීනව සබඳතාව පවත්වාගෙන යාමට නොහැකි විය හැකිය. අංක එක හිමි කෙනා තම අරමුණ වෙනුවෙන් කැපවුණ ස්ථාවර ගති ස්වභාවයන්ගෙන් යුතු අයකු වන අතර අංක පහ අස්ථාවරභාවයෙන් යුතු වෙනස්වනසුලු ගති ස්වභාවයන්ගෙන් යුක්ත ලිංගික ආසාවන් බහුලව ඇති කරන ගතියක් පෙන්වයි. මෙහිදී අංක එක පිරිමියා වී අංක පහ ස්ත්‍රිය වුවහොත් මෙම නොගැළපීම වඩාත් තීව්‍ර වනු ඇත. අංක එක ස්ත්‍රිය වී අංක පහ පිරිමියා වුවහොත් පිරිමියාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ස්ත්‍රිය දැඩි කැප කිරීමක් කළ යුතු අතර ස්ත්‍රිය එය තේරුම්ගෙන කටයුතු කිරීම මත දෙදෙනාගේ ඉදිරි ජීවිතය තීරණය වෙයි.

නිපුණතා අංක 1 ට නිපුණතා අංක 6 වන අයගේ ගැළපීම

මෙම අංක හිමියන්ගේ ගැළපීම ඉතා යහපත් මට්ටමක හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට හැකියාව ඇතිකරයි. අංක එක පිරිමියා විශ්වසනීය යහපත් ගති ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන අතර අංක 6 ස්ත්‍රිය ආදරණීය බිරියක් ලෙස ගෙදර වගකීම් මනා ලෙස තේරුම්ගෙන කටයුතු කරයි. අංක 6 ස්ත්‍රියගේ ප්‍රියමනාප කාරුණික ගතිය තරමක් දැඩි ගති ඇති අංක එක හිමි පිරිමියා අවනත කරගැනීමට සමත් වෙයි. මෙහිදී පිරිමියා අංක 6 වී ස්ත්‍රිය අංක 1 වුවහොත් ස්ත්‍රියගේ සියලු කටයුතු වෙනුවෙන් පිරිමියාගේ උපරිම සහයෝගය ලැබෙයි. එමෙන්ම ඔහුගේ ආදරය සහ ආරක්ෂාවද මනාව ලැබේ. එමෙන්ම අංක 1 ස්ත්‍රිය අංක 6 ස්වාමියාව නිතරම සතුටින් තැබීමටත් ඔහුගේ කටයුතු සොයා බලා කර දීමටත් උත්සාහ කරයි. නමුත් මෙහිදී අංක එක පුද්ගලයාගේ ආත්මාර්ථකාමී ගතියත් අංක හය කෙනාගේ පරාර්ථකාමී ගතියත් නිසා දෙදෙනා අතර යම් මත ගැටුම් විටින්විට ඇතිවිය හැකිය.

නිපුණතා අංක 1ට නිපුණතා අංක 7වන අයගේ ගැළපීම

මෙම අංක අතර ගැළපීමද ඉතාම යහපත් හොඳ සම්බන්ධතාවක් ලෙස සඳහන් කළ හැකිය. ජීවිතය සතුටුදායක ආකාරයෙන් පවත්වා ගැනීමට හැකියාව ඇත. අංක 1 පිරිමියා ඉදිරියට යාමට කැමති වගකීම් මනා ලෙස ඉටුකරන තම ස්වාධීනත්වය පිළිබඳ තදින් හිතන තැනැත්තෙකු වේ. ඔහුගේ මෙම ගතියට සහජ ඥානයක් සහිත හොඳ සහයෝගීතාවක් දක්වන කැපවීමේ ගුණයෙන් යුක්ත අංක හත ස්ත්‍රිය මනා ලෙස ගැළපෙයි. දෙදෙනාගේ රුචි අරුචිකම් අතර හොඳ ගැළපීමක් තිබේ. අංක හත ස්ත්‍රිය තුළ තිබෙන ආකර්ෂණීය බව සහ විශ්වසනීය භාවයත් නිතර සමාව දීමට සූදානම් වන ගතියත් නිසා අංක එක පුද්ගලයා සමග ගැටුම් මතවාද ඇතිවුවද ඒවා සමථයකට පත් කරගෙන ඉදිරියට යාමේ හැකියාව පවතී.

නිපුණතා අංක 1 ට නිපුණතා අංක 8 වන අයගේ ගැළපීම

මෙම අංක හිමියන් අතර ඇතිවන බැඳීම සාමාන්‍ය සබඳතාවකි. යහපත් ලෙස සබඳතාව දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට නම් දෙදෙනා අතර මනා අවබෝධයක් තිබිය යුතුය. දෙදෙනා තුළ පවතින දැඩි මතධාරී ගතිය නිසා ගැටුම් ඇති කරයි. සබඳතාව ඉදිරියට පවත්වාගෙන යාමට නම් නිතරම දෙදෙනාගෙන් එක් අයෙක් යටත් වීමට සූදානම් විය යුතුය. අංක එක පුද්ගලයා තම ආවේගශීලීභාවය පාලනය කරගැනීමටත් සමාව දීමටත් සූදානම් විය යුතු අතර අනිත් කෙනාගේ සිත තමා වෙත ඇදබැඳ තබා ගැනීමටත් කටයුතු කළ යුතුය. දෙදෙනා අතර මනා සහයෝගයත් ආදරයත් තිබේනම් පමණක් ඉදිරියට යාමට මේ අයට අවස්ථාව ලැබේ. මෙම කැප කිරීම් කරන අය හොඳ සබඳතා පවත්වාගෙන යනු දැකිය හැකිය. එසේ නොවන්නේ නම් දැඩි පීඩාකාරි තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවිය හැකි අතර අවසානයේ වෙන්වීම දික්කසාදය වැනි තත්ත්වයක් ඇති කළ හැකිය. අංක එක ස්ත්‍රිය වී අංක අට පිරිමියා වීම තුළද හොඳ අවබෝධයක් සහ කැපකිරීම් තුළ ඉදිරියට යා හැකිය. බොහෝ විට මෙහිදී අංක එක ස්ත්‍රිය වෙනත් ආදරයක් සොයා යාමට ඉඩ තිබේ.

නිපුණතා අංක 1ට නිපුණතා අංක 9 වන අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීම හොඳ යහපත් සබඳතාවකි. අංක එක පිරිමියාට අංක නවය ස්ත්‍රිය මනා ලෙස ගැළපෙන්නේ අංක එක පිරිමියා තුළ තිබෙන අඩුපාඩුවලට ගැළපෙන ගුණාංග අංක නවය තුළින් පරිපූර්ණය වීම නිසයි. අංක එක තුළ තිබෙන ඒකාධිකාරී තමා ප්‍රමුඛයා වීමේ ස්වභාවයට අංක නවය තුළ තිබෙන මානව හිතෛෂීභාවය සහ අනුකම්පාව මනා ලෙස සංකලනය වෙයි. අංක එකට හොඳ සහයෝගයක් අංක නවය තුළින් ලබා දෙයි. පිරිමියා අංක නවය වී ස්ත්‍රිය අංක එක වී අංක මාරු වී යෙදුණද ගැටලුවක් ඇති නොකරයි. දෙදෙනා අතර මත ගැටුම් වාද විවාද ඇති කරන අවස්ථාවක් වන්නේ අංක එක පුද්ගලයා තමා මූලික කොට සිතීමත් අංක නවය පුද්ගලයා අන් අය හෙවත් සමාජය මූලිකකොට සිතීම නිසාය.

නිපුණතා අංක 2 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division