Home » අපල දුරු වන්න කතරගම දේවාලයකට රතු මල් මාලාවක් පූජා කරන්න

අපල දුරු වන්න කතරගම දේවාලයකට රතු මල් මාලාවක් පූජා කරන්න

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ජ්‍යොතිෂ ගැටලුවලට පිළිතුරු දෙන්නේ විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ

රොබට් රණසිංහ – අඹේපුස්ස

ප්‍රශ්නය – මාගේ කේන්දරයට අනුව 2024 වසර මා හට කෙසේ විය හැකි ද?

ජ්‍යොතිෂ විග්‍රහය – කේන්දර හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සඳහන් කරන විට පසුගිය කාලය පුරාවට එතරම් යහපත් තත්ත්වයක් තිබී නැහැ. එම නිසා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත යුතුයි. කේන්දරයේ සඳහන්ව ඇති ආකාරයට ඉහළ නායකත්ව කේන්දරයක්. ඒ වගේම සමාජය තුළ කැපී පෙනෙන කේන්දරයක්. සමාජ පරිපාලනය, නායකත්වය ආදිය නිසා සමාජයේ කීර්තිමත් බවකින් කටයුතු කිරීමට හැකියාව තිබෙන ජන්මයකින් තමා ඉපදී තිබෙන්නෙ. එය කේන්දරයේ තිබෙන විශේෂ තත්ත්වයක්. එසේම ඉහළ යෝග කීපයක් පවතිනවා. දැනීම් කාරක ගුප්ත මනසක් තිබෙන බව පෙන්නුම් කරනවා. 2024 වසර තමන්ගේ ජයග්‍රාහී වසර බව පැහැදිලිවම සඳහන් කළ හැකියි. එහි සමාරම්භය සඳහන් වන්නේ මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සිට. එතැන් සිට වසර හතහමාරක කාලය තමන්ගේ ජීවිතයේ ශක්තිමත්ම කාලයක්. සෞඛ්‍ය තත්ත්වය සඳහන් කිරීමේදී නීරෝගී දිවියක් සඳහා ජවසම්පන්නව සතියකට දින තුනක්වත් ව්‍යායාම් කටයුතුවල නියැළෙන්න. ශක්තිමත් ආහාර ගන්න. දුර්වල, කෘත්‍රිම ආහාර නොගන්න. ඒ ඔස්සේ අනාගතය ඉතා ඉහළ තත්ත්වයකට ගෙන යා හැකි බව සඳහන් කළ හැකියි.

නන්දන අතපත්තු – උදම්මිට

ප්‍රශ්නය – මාගේ අනාගතය කෙබඳු වේ ද? අපල පැමිණේනම් ඒවා දුර කරගන්නෙ කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – උප්පත්ති කේන්දරය සලකා බැලීමේදී පාද අතර කැක්කුම් පීඩා ගෙන දීම්, කොන්ද ප්‍රදේශයේ ආශ්‍රිත කැක්කුම්, ආදිය නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. එම සෞඛ්‍ය තත්ත්වය ඉස්මතු වී තිබෙන්නෙ ජන්ම ඒරාෂ්ටක තත්ත්වයක් නිසාවෙනි. එම නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා ගුණාත්මක ආහාර වර්ග ගන්න. කෘත්‍රිම ආහාර වර්ග සම්පූර්ණයෙන්ම නතර කරන්න. නිරන්තරයෙන්ම ජලය හොඳින් පානය කරන්න. වතුර ප්‍රමාණය ශරීරයේ හොඳින් රඳවා තබාගන්න. එය තමන්ගේ අනාගතයටත් සෞඛ්‍ය තත්ත්වයටත් ඉතාම යහපත් වෙනවා. ව්‍යායාම් කෙරෙහි යොමු වීමත් වැදගත් වෙනවා. අපල තත්ත්වයන් සැලකීමේදී මූලික වශයෙන් බලපාන්නෙ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහියි. එහිදී පවත්නා නිධන්ගත රෝග තත්ත්වයන් පාලනය කරගැනීමට වග බලාගත යුතුයි.

පවත්නා අපල තත්ත්වයන් අවම කරගැනීම සඳහා කතරගම දෙවියන්ගේ දේවාලයකට රතු මල්වලින් මල්මාලයකුත් කතරගම දෙවියන් වහන්සේට පින් පිණිස පිණ්ඩපාතයේ වඩින භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකරක් සමඟ පලතුරු කීපයක් පූජා කරන්න. තවද තමන්ගේ වයසට බෝධීන් වහන්සේ නමක් ඉදිරිපිට පහන් දල්වා ආලෝක පූජාවක් සිදු කරන්න.

ආශා දුලාංජනී රත්නායක – බාඳුරාගොඩ

ප්‍රශ්නය – මා හට විදේශගත වීමට හැකියාව තිබේ ද? එසේම විවාහය ප්‍රමාද වේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ වන විට ලග්න ඒරාෂ්ටකයක් ගතකරන කේන්දරයක්. විදේශ ගමන් සඳහා ඉතාම යෝග්‍ය කාලයක්. මොකද ලග්න ඒරාෂ්ටකයේදී බාධක මැද ජීවිතය දිනිය හැකි වාතාවරණයක් පවතිනවා. ඒ සෙනසුරුගෙන් ලග්න ඒරාෂ්ටකය පවතින තමන්ගේ අධිරාජ්‍යකාරක සෙනසුරුගේ කාලය ගෙවෙන නිසා පැහැදිලිවම ඔබතුමියට ජීවිතය ජයගත හැකියි. බොහෝ හැලහැප්පීම් මනසින් මෙන්ම ප්‍රායෝගිකවද භුක්ති විඳි කාලයක් තමයි පසුගිය 2022 වසර ගත්තාම. පැවැති එම බාධක කාලය තමන්ගේ ජීවිතය විශාල මන්දගාමී ස්වභාවයකට ලක්කර තිබෙනවා.

නමුත් මේ වන විට නැවත ජීවිතය ගොඩනඟාගත හැකි කාලයක් උදා වෙමින් පවතිනවා. බැඳීම් අතර කිසිම විටෙක නතර වුණු බැඳීම් සම්බන්ධයෙන් නැවත හැරි බලන්න එපා. බැඳීම් ගැන සැලකිලිමත් වීමේදී ඉතාම බුද්ධිමත් විය යුතුයි. හැඟීම් මත බැඳීම් අතර සිර වන්නට එපා. තමන්ගේ ඉලක්කය සහ පැවැත්ම මත පදනම්ව බැඳීම්වලට යොමු වන්න. එය මා ලබා දෙන විශාලතම අවවාදයකි.

තමන්ගේ සිතුවිලි සහ තර්කයන් මත පදනම්ව තීරණ ගැනීමේදී අවාසි සහගත විය හැකියි. එම නිසා එවැනි තත්ත්වයන් තේරුම්ගෙන බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න. තමන්ගේ ජන්ම හෝරාව තුළ සසර ලියවී තිබෙන්නෙ ඒ ආකාරයෙනි. ඒ වගේම මේ කේන්දරය විශිෂ්ට පෞරුෂයකින් බොහෝ පිරිසකට දායකත්වය දක්වමින් බොහෝ පිරිස් අතර ආකර්ෂණයට ලක්විය හැකි කේන්දරයක්. ඒ නිසා තමන්ගේ අඩුපාඩු සාදාගෙන ඉදිරියට යන්න. එහිදී මූලිකම දේ තමයි නියමිත දේ නියමිත දවසට නියමිත මාසයට නියමිත ආකාරයට කළ යුතු වැඩ කොටස නිසි කළමනාකරණයකින් ඉටු කරන්න.

තමන්ගේ කේන්දරයේ ලග්න ඒරාෂ්ටකයක් ගමන් කරන නිසා නිරන්තරයෙන් තමන්ම විසින් යාචක කෙනෙකුට එසේ නොමැතිනම් සිල්වත් භික්ෂූන් වහන්සේනමකට නිර්මාංශ දානයක් පූජා කරන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division