Home » ගුරු ග්‍රහයාගේ බලවත් යෝග

ගුරු ග්‍රහයාගේ බලවත් යෝග

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

– මේ යෝගවල සුබපල ජන්මියාට බලපාන හැටි
– ගුරු – බුධ යෝගය ඉතා හොඳයි

ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ යෝග පිළිබඳ කතා කිරීමට ප්‍රථමයෙන් ගුරු ග්‍රහයා ගැන විමසා බලමු. නව ග්‍රහයන් අතුරෙන් ප්‍රධාන තැනක් ගන්නා මොහු ‘සුරගුරු’ නමින් හඳුන්වනු ලැබේ.

අපි දැන් ගුරු යෝග සම්බන්ධව කරුණු සලකා බලමු.

1) ගුරු – බුධ යෝගය

මෙය සුබ පල දෙන යෝගයකි. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපන කටයුතු ඉතාම උසස් අයුරින් කරගෙන යනු ඇත. මෙම යෝගයෙන් උපන් අය සුවිශේෂ දක්ෂකම් ඇති පුද්ගලයන් වේ. නමුත් ඇතැම් විට ඉතාම කලාතුරකින් කෙනෙක් එසේ නොවන්නට ද පිළිවන. ලෝකයේ සියල්ලක්ම නීතියට අනුවම සිදු නොවන ධර්මතාවද මෙයට බලපායි. කේන්දරය වමේ සිට ගණනය කරන විට 3 – 5 – 11 රාශිවල ගුරු – බුධ සංයෝගය පිහිටීම ඉතාම උසස් සුබපල ගෙන දීමට හේතු වේ. මේ යෝගයෙන් උපන් අය උසස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා ගනී.

2) ගුරු – කුජ යෝගය

මෙම යෝගය ‘ගුරු මංගල යෝගය’ නමින් හඳුන්වයි. මේ යෝගය හැමටම හැම තැනටම සිදු නොවන බව සිතා ගත යුතුය. මින් අදහස් වනුයේ සැමටම එක සමාන ගුණ නොලැබෙන බවයි. විශේෂයෙන් කටක ලග්නයෙන් උපන් අයට මෙම යෝගයේ නියම පල ලැබේ. උගත් බුද්ධිමත් අය මේ යෝගයෙන් උපන් අය වේ. මේ ගුරු කුජ යෝගය රාජ යෝගයක් ද වේ. කේන්දරයේ 9 – 10 අධිපති මේ දෙදෙනාය. ඒ නිසා මේ යෝගය හොඳ ස්ථානයක පිහිටියහොත් ඉතාම උසස් සුබපල ගෙන දේ. හොඳ ස්ථාන යනු 1 – 2 – 4 – 5 – 7 – 9 – 10 -11 යන ස්ථානයි.

1) ගුරු – කුජ යෝගය තිබීම නිසා බුද්ධිමත් වීම.

2) ධනය ලැබීම – ධනවත් වීම.

4) ඉඩකඩම් යාන වාහන ලැබීම.

5) විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට හැකි වීම.

7) උසස් විවාහයක් කරගැනීමට හැකි වීම.

9) ගුණ නුවණින් අග තැන්පත් අයෙක් වීම.

10) උසස් රැකියාවක් ලබා ගැනීමට හැකි වීම

11) කිසිම කරදරයකින් (මහන්සියක් නොවී) තොරව සාධාරණ ලෙස මුදල් ලැබීම. (ව්‍යාපාර වලින්)

මෙම ගුරු – කුජ යෝගය කේන්දරයේ 3-6-8-12 යන ස්ථානවල සුබ පල ගෙන නොදේ. අසුබය.

3) ගුරු – චන්ද්‍ර යෝගය (ගුරු – සඳු යෝගය)

මෙම යෝගයෙන් උපන් තැනැත්තා හොඳ නරක දෙපැත්තටම එක වාගේ වේගයෙන් ක්‍රියා කරයි. ගුරු – සඳු යෝගය කිසියම් කේන්දරයක 7 වැන්නේ සිටියහොත් විවාහය කල්ගත වීමට ඉඩ තිබේ. සඳු ස්ත්‍රීකාරක යෝගයකි. ගුරුගේ ස්වභාවය අනුව මොහුට ස්ත්‍රීන් රුස්සන්නේ නැත. මේ නිසා යෝගය 7වැන්නට අසුබය. නරකය. අප ලත් අත්දැකීම් අනුව ගුරු – සඳු කටක රාශියේ සිටියහොත් විවාහ වැඩි හරියක් කඩාකප්පල් වී තිබේ. විශේෂයෙන් ධනු – මීන රාශිවලට මේ යෝගය හොඳ නැත. කේන්දරයේ 2වැන්නේ පිහිටියේ නම් විවාහය සම්බන්ධ සුබ ලක්ෂණ පෙන්නුම් කෙරේ. 4 වැන්නේ පිහිටියේ නම් දේපළ උරුමය ද 10 වැන්නේ තිබේ නම් රැකියාවේ ස්ථාවරත්වය ද පෙන්නුම් කෙරේ. කේන්දරයේ දුෂ්ට ස්ථානවලට මෙම යෝගය පිහිටීම කිසිසේත් සුබ නොවේ. දුෂ්ට ස්ථාන යනු වටේ සිට ගැනීමේදී 2 – 6 – 8 -12 යන රාශි වේ.

4) ගුරු – රවි යෝගය

මෙම යෝගය සැම විටම ඉතා යහපත් වේ. නරක ස්ථානයක වුවද මේ දෙදෙනාගේ යෝගයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දේ. මේ යෝගය ඥාන යෝගයකි. මින් උපන් අය ඥානවන්තයෝය. මේ යෝගයෙන් උපන් අය මල්ලවපොර ආදී ක්‍රීඩාවන්හි දස්කම් පෙන්වයි. වෘෂභ ලග්න හිමියන්ට මේ යෝගය පිහිටියේ නම් ලොතරැයි වාසනා හිමි වීමට වාසනාව තිබේ. මුදල් අතින් අගහිඟකම් නොමැත. කේන්දරයේ 1 – 5 – 9 – 11 යන බලවත් ස්ථානයක සිටියේ නම් ලෝක පූජිත තත්ත්වයට පත් වේ.

5) ගුරු – සිකුරු යෝගය

මේ දෙදෙනා සතුරුය. නමුත් සුබ යෝගයකි. සුබපල ගෙන දේ. ඉඩකඩම් යානවාහන හොඳ ගෙවල් දොරවල් ලැබීමට හේතු වේ. උසස් ගුණවත් නැණවත් බිරියක් සැමියෙක් වේ. ඉතාම දක්ෂ වාසනාවන්ත පුද්ගලයන්ට මෙම යෝගය පිහිටයි. කේන්දරයේ නරක ස්ථානයක මා ඉහත සඳහන් සුබ ලක්ෂණ අඩු වේ. අසුබය. කොහොම නමුත් මේ යෝගය සුබ යෝගයකි.

6) ගුරු – ශනි යෝගය

ඉතාම බලවත් යෝගයකි. ඉතාම වාසනාවන්ත යෝගයකි. කේන්දර හිමියා අඩියෙන් අඩිය උසස් වේ. උසස් තනතුරු ලැබේ. නොසිතූ අයුරින් ධනය ලැබේ. මේ අයුරින් හදිසියේ මුදල් ලැබෙන විට පෙර පිනට යැයි මිනිස්සු කියන්නට පටන් ගනී. උසස් රැකියා පමණක් නොව ලොකු ලොතරැයි වාසනා ලැබෙන්නේ මේ යෝගය තිබු අයටය. තම දරුවන්ට ධනය ඉතිරි කර තැබීම මේ යෝගයෙන් උපන් අයගේ ලක්ෂණයකි. මේ යෝගය තිබියදී 5 වැන්නට රවි / සඳු දෙදෙනාගේ සුබ දෘෂ්ටියක් වැටේ නම් ඉතාම බලවත් මෙන්ම උසස් තනතුරු ලැබීමට ද හේතු වේ. මේ යෝගය කේන්දරයේ පිහිටන ස්ථානය අනුව ගුණාගුණවල ස්වභාවය වෙනස් වේ. කොහොම නමුත් සුබ යෝගයකි.

7) ගුරු – රාහු යෝගය

ඉතාම සුබ යෝගයකි. මුදල් ලැබීම අතින් ඉතාම සුබය. 11 වැන්නේ මේ යෝගය පිහිටීම හදිසි මුදල් ලැබීමට හේතු වේ. මේෂ ලග්නයට 11 වැන්නේ පිහිටීම ඉතාම හොඳයි.

8) ගුරු – කේතු යෝගය

සුබ යෝගයකි. ලග්නයේ පිහිටියේ නම් උසස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලැබේ. නිශ්චිත ලග්න හිමියන්ට මේ යෝගය ලග්නයේ පිහිටියේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වේ. මේ යෝගය කේන්දරයේ 1 – 5 – 10 රාශිවල සිටියේ නම් ඉතාම සුබය. අධ්‍යාපනයෙන් ඉහළට යයි. 2 – 6 – 8 – 12 රාශිවල එතරම් සුබ පල ගෙන නොදේ.

තම දරුවන්ගේ සහ තමාගේම කේන්දරය ඔබට පරීක්ෂා කර ගැනීමට හැකි වන පරිදි සරල ලෙස ලියා ඇති බව සඳහන් කරන අතර තම අනාගතය සකස් කරගැනීමට මේ ලිපිය ඉවහල් වනු ඇතැයි මාගේ හැඟීමයි.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division