Home » නි‍ෙවසක් ඉදි කරන්න ඉතාම සුබ ග්‍රහ පිහිටීම්

නි‍ෙවසක් ඉදි කරන්න ඉතාම සුබ ග්‍රහ පිහිටීම්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

– ගෙහිමියා තම කේන්දරයට අනුව මේ ග්‍රහ පිහිටීම් ගැන සැලකිලිමත් විය යුතුමයි
– පුනාවස, පුවපල්, උත්‍රපල්, සිත, අනුර, පුෂ, උත්‍රපුටුප, හත, දෙනට සියාවස, රේවතී නැකත් ඉතාම සුබයි

ඔබ නව නි‍ෙවසක් ගොඩනැඟීමේදී විශේෂයෙන්ම සලකා බැලිය යුතු කරුණු රැසක් ඇත. උපයා ගත් මුදල් නිකරුණේ වැය වී නි‍ෙවස බාගෙට සාදන තත්ත්වයට පත්වේ නම් කුමක් හෝ එතැන විශාල අඩුපාඩුවක් සිදු වී ඇති බව සිතිය යුතුය. චතුර්විධ කරුණු සම සමව තිබීම අනිවාර්යවේ. ගෙහිමියා – සැලසුම්කරුවා – පෙදරේරුවා සහ වඩු ශිල්පියා යන සතර දෙනාය. මෙහිදී සුවිශේෂී වන්නේ ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදියාය.

කුමක් හෝ නිවාස සැලසුමකට (ප්ලෑන්) නි‍ෙවස ගොඩ නැගීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

පළමුව කළ යුත්තේ ගෙහිමියා විවාහ වී ඇත්නම් බිරිය සහ දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර බලා ගෙහිමියාගේ ජන්ම නැකත ක්ෂේම, සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී නැකත් පාදක කොටගෙන ඒරාෂ්ටක දෝෂ 6,8,12 භාවාධිපතියකු දිශාවන් මඟහැර ගැනීමයි. ගෙහිමියන් 4 වැන්න අධිපතිගේ දශාවක් වීම 11 වැන්නාධිපතිගේ මහ දශාව සමඟ 4 වැන්නාධිපතියාගේ අතුරු දශාවක් වීම 9 වැන්න 10 වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ 4 වැන්නාගේ අතුරු දශාවක් වීම ගුරුගේ අතුරු දශාවක් වී ගුරු 4 වැන්නේ හැසිරීම 4 වැන්න සිකුරුගේ ස්වක්ෂේත්‍රයක් උච්ච හෝ මිත්‍ර වීම සිකුරු 4 වැන්නේ සිටීම සිකුරු දශාවක් වී තිබීමද නිවාස ඉදි කිරීමට ඉතාම සුබ වේ. මේ සියලුම ධනාත්මක කරුණු ගොනු කළ නොහැකි වේ.

නි‍ෙවස ඉදි කරන භූමිය සුබ තත්ත්වයේ තිබීම අනිවාර්ය වේ. සුබ වේලාවකට ඉඩමේ හතරකොන ශක්තිමත් කර ගැනීම, ඖෂධීය ජලය ඉසීම, ගවයෙක් ගාල් කර දින 3ක් තිබීම, ගොමවලට සුදු හඳුන්, රත් හඳුන්, ජටාමාංශ, කර්කටකශ්‍රිංගි, කහ සීනක්කාරම්, නෙළුම් රේණු, නාමල් රේණු, සුවඳ කොට්ටං තැම්බූ ජලය මිශ්‍රකර වත්ත පුරා ඉසීම ඉතාම ප්‍රශස්ත වේ.

නි‍ෙවස ඉදි කිරීමට රවි – කුජ නොගනු ඇත. බුධ ගුරු ශුක්‍ර දින ගන්නේය. ඉතාම ප්‍රශස්ත නැකත් වන්නේ පුනාවස, පුවපල්, උත්‍රපල්, සිත, අනුර, පුෂ, උත්‍රපුටුප, දෙනට, සියාවස, රේවතී, උත්‍රසල යන නැකත්ය. වජ්‍ර, ව්‍යාඝාත, ශූල, ව්‍යාතිපාත , අතිගණ්ඩ, විෂ්කම්භ, පර්යායන යන යෝග නිවාස ඇරඹීමට සුදුසු නැත.

පුර ජලවක පුර එකොළොස්වක තිථිවලද වාණිජකරණයේදී නිවාස ඉදි කිරීම්වලට සුබදායක වේ. අවපස අසුබය. කෝණ මාස ද අසුබය.

දුරුතු, මැදින්, වෙසක්, නවම්, නිකිණි සහ ඉල් යන මාස තුළ නිවාස ඉදි කිරීමට සුබය. පවුලේ කාන්තාවක් ගර්භිනී සමයේ නම් ඉදි කිරීම්වලට අසුබ වන්නේ බාහිරින් දෝලනය වන විනිවිද පැතිරෙන ශබ්ද තරංගවල තියුණු බව නිසායි. එහි සෞඛ්‍යමය විද්‍යාත්මක පැතිකඩක් තිබේ. හිතුමතේට අතේ සල්ලි තිබීමම මුල් කරගෙන ඉතාම අසුබ මාස, දින, ලග්න, නැකත්, තිථි, කාරණා ආදියට හසු වී පසුව කායිකව හා මානසිකව කඩා වැටී දෙවියන්ගෙන් උදවු උපකාර ඉල්ලීම වැදගත් නොවේ. හිතෙන හිතෙන විදිහට ගෙවල් හදනවානම් වාස්තු විද්‍යාවෙන් කිසිම වැඩක් නැත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division