Home » බන්දුලගේ අනතුරු ඇඟවීම

බන්දුලගේ අනතුරු ඇඟවීම

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ලියූ 2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් නමැති කෘතිය නිකුත් කිරීම පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු විය. මේ උත්සව අවස්ථාවේදී අර්ථ ශාස්ත්‍රයෙහි පුළුල් දැනුමක් ඇති විද්වතුන් කිහිපදෙනකු විසින් දේශන පවත්වන ලදී. ඒ දේශන ඇසීමෙන් ද බන්දුල ගුණවර්ධනගේ කෘතිය කියවීමෙන් ද අපට හැඟී යන්නේ ප්‍රවේශම් සහගත ලෙස වැඩ නොකොළොත් මේ රට විශාල අගාධයකට ඇද වැටීමට ඉඩ තිබෙන බවය. අප මේ අද කතුවැකිය ඔස්සේ පැහැදිලි කරන්නේ එම කෘතියෙන් සහ විද්වත් දේශනවලින් කියැවෙන වැදගත් කරුණුය.

ලංකාවේ රජය මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇතිකර ගත්තේය. ඒ ඩොලර් බිලියන තුනක මුදලක් වාරික තුනකින් ණයට ලබාගනු පිණිසය. එය දිගුකාලීන ණයකි. ලක් රජය ණය මුදල ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට පිවිසෙන්නේ කිසිදු රටක් ලංකාවට ණය නොදෙන අවස්ථාවකය. ඒ වනවිට ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් විදේශ ණයවල පොලිය සහ වාරිකය ගෙවීමට අපහසුවී අසාදු ලේඛනගතව සිටියේය. කොරෝනා වසංගතය විසින් ලංකාවට ලැබෙන විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම් සියල්ලම වනසා දමා තිබිණ. එක ඩොලර් සත පහක් විදේශ ශ්‍රමිකයන් වෙතින් ලංකාවට ලැබුණේ නැත. විදේශ ණය ගෙවා ගැනීමට බැරිව අසාදු ලේඛනගතව සිටි බැවින් අපගේ ණය හිමියකු අමෙරිකානු උසාවියක අපට විරුද්ධව නඩුවක් ද පවරා තිබිණ. මේ සියලු කරදර අස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් යෝජනා කළ කල්හි බොහෝදෙනා එයට විරුද්ධ වූහ. වැඩිදෙනා නොදන්නවාට ඒ මොහොතේදී අපට තිබූ එකම හව්හරණ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමය. ජනාධිපති වික්‍රමසිංහයන්ගේ රජය එම අරමුදලෙන් පළමු ණය වාරිකය ලබාගැනීමත් සමඟම මේ රටේ විදේශ විනිමය සංචිත ඉහළ ගොස් රට බංකොලොත් භාවයෙන් පිටතට ක්‍රමයෙන් ගමන් කරන්නට පටන් ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලබාගැනීමෙන් පසු එමඟින් මුළු රටටම ලැබුණු ආර්ථික වාසි භුක්ති විඳින අතරතුර මේ රටේ විපක්ෂය ස්වකිය දේශපාලන නිර්භීතභාවය ප්‍රදර්ශනය කරනු සඳහා විවිධ කතා කියන්නට පටන් ගත්තේය. ඔවුන් මුලින්ම කියා සිටියේ ණය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි වෙනස් කරන බවය. තමන්ගේ ආණ්ඩුවක් බලයට පත්වූ පසු මූල්‍ය අරමුදලේ ණය ආපසු නොදෙන බව ද ඔවුහු කීහ. මෙවැනි ගොන් කතා දේශපාලනයේදී අපට නිතරම අසන්නට ලැබේ. උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී ඉදිරිපත් කළ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ වරාය නගරය ආපසු පවරා ගන්නා බවය. වරාය නගරය යනු චීන ජනධිපති සහ ලංකාවේ ජනාධිපති අතර කෙළින්ම අත්සන් කෙරුණු ගිවිසුමකි. එවැනි ගිවිසුමක් අවලංගු කළහොත් එසේ අවලංගු කළ පාර්ශ්වයට කෑමට සිදුවන පරිප්පුව ලේසි නොවේ. චීනය යනු ලංකාව ආසියානු ආර්ථික කලාපයෙන් බැහැරට අතුගා දැමිය හැකි තරම් ශක්ති සම්පන්න රටකි. වරාය නගර ගිවිසුම අවලංගු කිරීමට යහපාලනයට කිසිවිටකත් බැරි විය. ඒ වෙනුවට පොඩි පොඩි සංශෝධන කිහිපයක් පමණක් කිරීමට හැකි විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවැනි සෙල්ලමක්වත් කිරීමට බැරිය. කොයි ආණ්ඩුව ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්ගත කරුණු සමඟ කටයුතු කිරීමට සිදුවනවා ඇත. තමන්ට විදේශ ණය ගෙවීමට බැරි නම්’ ගෙවන්න විදිහක් නෑ මචං’ කියා ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජ.වි.පෙ. ආණ්ඩුවකට හැකි බව සුනිල් හඳුන්නෙත්ති පසුගියදා කීවේය. එවිට ‘හරි මචං පස්සේ තියෙන වෙලාවක ගමු’ යනුවෙන් විදේශ ණය හිමියා කියනවා යැයි ඔබ සිතන්නේ ද? සුනිල් හඳුන්නෙත්තිගේ බොළඳවීම අපට ඉවසා දරාගත නොහැක්කේ ජනතා විමුක්ති පෙරමුණය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුමේදී ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කාරණාවලට එකඟවීමට රජයට සිදු විය. ප්‍රතිව්‍යුහගතකරණය යනු නරක දෙයක් නොවේ. කිසියම් රටකට එම රටේ කර්මාන්තයක් නඩත්තු කළ නොහැකි නම් එය නඩත්තු කළ හැකි එකකුට විකුණා මුදල් ලබාගෙන විදේශ සංචිත තරකර ගැනීම ඉතා සාධනීය ක්‍රියාවකි. එම දේපළ මිලට ගත් විදේශීය ගැනුම්කරුවාට එය ගලවා ගෙන තම රටට ගෙනයා නොහැකිය. එසේම එම ගැනුම්කරුවාට තම මවුබිමෙන් සමස්ත කාර්ය මණ්ඩලයම ලංකාවට ගෙනවිත් එම කර්මාන්තය පවත්වාගෙන යාමට ද නොහැකිය. ප්‍රතිව්‍යුහගතකරණයේදී ස්වදේශිකයන්ගේ රැකියා අවස්ථා ප්‍රසාරණය වන අතර විදේශ විනිමය ලැබීම ද සිදු වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මී හරකෙක් නොවේ. ඔවුන් අපට ණය දෙන විට ඉදිරිපත් කරන කොන්දේසි දෙපාර්ශ්වයටම වාසිදායක වන පරිදි win win situation එකකට අප ගෙන ආ යුතුය. එසේ නැතිව එම කොන්දේසි කඩා ඉහිරවා ගිවිසුම් අවලංගු කරන්නට ගියොත් ලෝකයේ කිසිම රටක් අපට සත පහකින් උදව් කරන්නේ නැත. ඉහත සඳහන් කාරණා සියල්ල ආචාර්ය බන්ධුල ගුණවර්ධනගේ පොතේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ. ආචාර්ය ගුණවර්ධන සිය ග්‍රන්ථය මඟින් කර ඇත්තේ බරපතළ අනතුරු ඇඟවීමකි. මේ අනතුරු ඇඟවීම නොතකා කටයුතු කළොත් මේ රටට සති දෙකකට වඩා පවතින්නට බැරිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division