Home » මට අවස්ථාව නොලැබීම ගැන ගොඩක් අය පුදුම වුණා

මට අවස්ථාව නොලැබීම ගැන ගොඩක් අය පුදුම වුණා

by Mahesh Lakehouse
January 6, 2024 12:26 am 0 comment
තාරක වික්‍රමසේකර

ඇය නමින් රසිකා දිව්‍යාංජලීය. පාසල් කාලයේ විද්‍යා විෂය ප්‍රිය කළ ඇය විද්‍යා විෂයයෙන් ඉහළට යාමට උත්සාහ කළද නිවසේ නිතරම ඇහෙන සංගීතය ඇගේ කනට මිහිරියාවක් ගෙන දුන් අතර ඇයද ක්‍රමයෙන් සංගීතය කෙරෙහි නැඹුරු වූවාය. නිවසේ විවේක කාලයෙන් ගත කරන හැම අවස්ථාවකම ගීතයක් මුමුණමින් සිටි ඇයගේ ගායනා තාලය බොහෝ දෙනා වශී කරන්නට සමත් විය.

“ඔයාට හොඳ හැකියාවක් තියෙනවා, ඉහළට යන්න පාර හදා ගන්න“ සංගීත ලෝලීන් රසිකාට නිරතුරුවම පවසන්නට විය.

ඒ දිරි ගැන්වීමෙන් පන්නරය ලැබූ අැයගේ අවශ්‍යතාවය වූයේ ජනප්‍රිය ගායිකාවක් වීමය.

ඒ වන විට මෙරට ජනප්‍රිය නාළිකාවන් විසින් සුපිරි ගී තරු තේරීමේ රියැලිටි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි. ඇයද ඒ වෙනුවෙන් අයැදුම්පත් යැවුවාය. ඇය ගී පරීක්ෂණයන්ට තේරී පත් විය. ඒ අනුව රසිකා විශේෂ ගීත ගායනා තේරීම් රියැලිටි තරගයකට සහභාගි වූවාය

ඒ අත්දැකීම රසිකා විස්තර කළේ මෙලෙසිනි.

“මම පාන්දර 4ට විතර අවදි වෙලයි ඒ වැඩසටහනට ගියේ. තරගය තිබුණේ කොළඹින් පිට නිසා මම පාන්දර 4ට ගියත් හවස 4ට තමයි මට අවස්ථාව ලැබුණේ. ඒ වෙනකොට ඇත්තෙන්ම අපට දැඩි වෙහෙසක් තිබුණත් ඒ වෙහෙසකාරී බව අමතක කර ධෛර්යමත් වෙලා නැවුම් බවින් උපරිම විදිහට ගායනා කළා.

ඒත් විනිශ්චය මණ්ඩලයෙ හිටපු එක්කෙනෙක් මාව දෙවෙනි වටයට නිර්දේශ කළේ නැහැ. විනිශ්චය මණ්ඩලයෙ අනික් දෙන්න එයා දිහා පුදුමයෙන් වගේ බලං හිටිය. මම දන්නේ නැහැ ඇයි මාව තෝරා නොගන්න හේතුව කියල.

රූපවාහිනියෙන් ඒ වැඩසටහන බලපු හැම කෙනෙක්ම ඇහුව ඇයි මාව දෙවෙනි වටයට තෝරා නොගත්තෙ කියල. සංගීතය ගැන හොඳ දැනුමක් තියෙන අය ඇත්තෙන්ම ඒ ගැන පුදුම වුණා. අපේ අඩුපාඩු දුර්වලකම් තියෙනවා. ඒ වුණත් මම ගායනා කරපු ඒ ගීතයත් දෙවෙනි වටයට තෝර ගත්ත අනෙක් අය ගායනා කරපු ගීතත් දැකල බොහෝ දෙනා පුදුම වුණා මට අවස්ථාව නොලැබීම ගැන.

මාව දෙවෙනි වටයට නිර්දේශ නොකළේ කාන්තාවක්. මොනව වුණත් විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය නිසා මම ඒ ගැන වෛර කළේ නැහැ.

ඒත් මම එක දෙයක් හිතා ගත්තා කවද හරි තනියම හොඳින් ගීතයක් ගායනා කරනව කියලා. ඇත්තෙන්ම මම ඒ ඉලක්කයට ළඟා වුණා. ඒ විදිහට තමයි මම මගේම ගීතයක් තනියම ගායනා කළේ.

ඒ විදිහට ඉදිරියට යන්න හිතාගෙන හිටියත් මම 2013 අවුරුද්දෙ ඩුබායි රස්සාවකට ආවා. දිනය හරියටම කියනවානම් 2013 අවුරුද්දෙ දෙසැම්බර් 28 වෙනිදා. මම ‘බියුටි සැලුන්‘ රස්සාවකට ආවෙ. ඒ ආවයින් පස්සෙ මට තිබුණු අවිවේකය නිසාත් දුර රටක හිටිය නිසාත් සංගීතයෙන් ඉස්සරහට යන ගමන ටිකක් පස්සට ගියා. ඒත් මම ආසාව අත හැරියෙ නෑ. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ඩුබායි ආව ප්‍රසංගයකට මමත් සහභාගි වුණා. එදා මට එයාලගෙ වේදිකාවෙ ගයන්න අවස්ථාව ලැබුණා.

ඒකත් ඉතාම සාර්ථක උත්සාහයක් වුණා. සන්ෆ්ලවර් කණ්ඩායමත් හුඟක් සතුටු වුණා. පස්සෙ මම ක්‍රමයෙන් ඒ රැකියාවෙන් ඉවත් වුණා. දැන් වෙනත් රැකියාවක් කරනවා. ඒ රැකියාවෙ තියෙන විවේකය නිසා මම සංගීතයට ආයිත් වැඩි කාලයක් යොමු කරල තියෙන්නෙ. ඒ හින්ද තමයි මට ගීතයක් හොඳින් ගායනා කරල පටිගත කරන්න අවස්ථාව ලැබුණෙ.

සංගීතයෙන් ඉස්සරහට යන්න තිබණු අවස්ථාව විදේශ ගත වුණු නිසා අහිමි වුණත් මම තවම ගායනා ක්ෂේත්‍රයට ආදරෙයි.“

ඇය අධ්‍යාපනය ලබන්නේ මීරිගම ඩී. එස්. සේනානායක විදුහලෙනි. පාසැල් වියේදී පාසලට සිටි හොඳම ගායිකාව ඇයයි. එමෙන්ම ප්‍රදේශයේ තිබුණු විවිධ වැඩසටහන්වලදී ඇය ජයග්‍රහණ රැසක් අත් කරගත්තාය.

විශේෂයෙන්ම 2003 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආධුනික ගී තරගාවලියෙන් ඇය ප්‍රථම ස්ථානය දිනා ගැන්මට සමත් වූවාය.

මේ වන විට ඇය තමන්ගේම ගීත කිහිපයක් ගායනා කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division