Home » මොන චරිතෙන් ආවත් එයාල මාව භාර ගන්නවා

මොන චරිතෙන් ආවත් එයාල මාව භාර ගන්නවා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

– කොච්චර ඇකඩමික් වුණත් නළුවෙක්ට හැමතිස්සෙම බලපාන්නෙ ජීවිත අත්දැකීම්
– සම්මානයකට නිර්දේශ වෙනවා කියන්නෙ‍ත් ක්ෂේත්‍රයේ ඇගැයීමට ලක්වුණා කියන එකනෙ

නළුවෙක් කියන්නෙ එක්ස්පීරියන්ස් මැනේජර් කෙනෙක්. කොච්චර ඇකඩමික් වුණත් මට නම් හිතෙන්නෙ නළුවෙක්ගෙ සාර්ථකත්වයට බලපාන්නෙ ඔහුගේ ජීවිත අත්දැකීම් කියලා. ඒ ටික හරියට මැනේජ් කරගෙන හරියටම ෆෝකස් කරල දෙන තැන තමයි සාර්ථකත්වය තියෙන්නෙ. ඒකත් හරියට ලොජික් එකක්.” නළුවෙක් ගැන මේ කතාව කියන්නෙ තවත් නළුවෙක්. ඒ පූජන දන්දෙණිය. පූජන කිවුවට එක්වරම මතකයට නාවත් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සකූගේ කතාවේ සංගීත සර් ඔබට අමතක නැතුව ඇති. මේ දිනවල ඔහු අපට හමුවන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න‘ ටෙලි නිර්මාණයේ පොලිස් නිලධාරී ධර්මජිත් ලෙසින්. ප්‍රේක්ෂක ආදරය හැමදාම එක සේ ලබන පූජන සමඟයි අද අපේ කතාබහ.

පූජන කියන්නෙ එදා ඉඳන්ම එක විදිහට ප්‍රේක්ෂක ආදරය ලබන රංගන ශිල්පියෙක්?

ඇත්තටම මටත් ඒක හිතාගන්න බෑ. ආදරේම තමයි ලැබෙන්නෙ. එතැනදි නම් මං ගොඩක් වාසනාවන්තයි. මොන චරිතෙන් ආවත් එයාල මාව භාර ගන්නවා. ඒ ලැබෙන ආදරේට මාත් හරිම ආදරෙයි. සමහර චරිතවලට හොඳටම බැණල අන්තිමට කියනව අපිට තරහ යන්නෙ ඔයා ඒක හොඳට කරන නිසානෙ කියලා. ප්‍රේක්ෂක ආදරය කියන්නෙ ගොඩක් වටින දෙයක්. ඒක කවදාවත් සල්ලිවලට ගන්න බෑ.

මේ දවස්වල කාර්යබහුලයි වගේ?

ඇත්තටම ඔව්. මේ දවස්වල පොඩි වැඩකට අතගහල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. ACTING TROUP ACADAMY කියල වර්ක්ෂොප් එකක් පටන් ගන්නවා හරියටම ජනවාරි 14 වෙනිදා. මේක නළුවෙක් නොවී වෘත්තිය නළුවෙක් වෙන්නෙ කොහොමද කියන එක සම්බන්ධ පොඩි අත්හදාබැලීමේ වර්ක්ෂොප් එකක්. ඒත් එක්කම මකරෙක් ඇවිත් ළමා නාට්‍යත් කරගෙන යනවා. 2014 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට මගේ ගුරුවරයා වන සමන් පුෂ්පකුමාර ලියපු හරිම ලස්සන තිරපිටපතක්. ඒ තිරපිටපත ඉල්ලගෙන තෙවැනි නිෂ්පාදනයක් විදිහට මං ඒක අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව තත්පරයක් දෙන්න සහ මීයා ටෙලි නිර්මාණ මේ දවස්වල විකාශය වෙනවා.

මුරුගසන් ටෙලි නිර්මාණයේ තේමිය කියන්නෙ ඔබේ වෙනස්ම පැතිකඩක් නිරූපණය වීමක් නේද?

තේමිය කියන තිරපිටපත් රචකයාගේ චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. රොෂාන් රවීන්ද්‍ර අයියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මං ගැන විශ්වාසයෙන් ප්‍රධාන චරිතයකට මාව යෝජනා කළාට. ඒ වගේම අධ්‍යක්ෂ ඩබ්ලිව් ජයසිරි කියන්නෙත් ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් එකක්. තිර රචනය විමල් කැටිපෙආරච්චි. මට මෙතෙක් ලැබුණු හැම පැත්තෙන්ම අංග සම්පූර්ණ පිටපතක්. මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්.

අද වෙද්දි ඔබ ටෙලි නිර්මාණ සෑහෙන ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. මුල්ම ටෙලි අත්දැකීම ගැන මතක් කළොත්?

සුළඟ මත මොහොතක් තමයි මගේ පළමු ටෙලි අත්දැකීම. ඒකට මාව හඳුන්වල දෙන්නෙ කෞශල්‍යා ප්‍රනාන්දු. රුක්මල් නිරෝෂ්ගේ අධ්‍යක්ෂණයක්. තිර රචනය ප්‍රියංකර රත්නායක. දැවැන්තයන් ගොඩක් එක්ක නවකයෙක් විදිහට මට දරාගන්න බැරි තරම් සීන් ප්‍රමාණයක් තිබුණා. ඊට පස්සෙ නිර්මාණ රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ‍ෛත්‍රයිලෝක, බිනරමලී, භවතරණ, ඇය, නේත්‍රා, දෙයියන්ගෙ රටේ, අවසන් හුස්ම තෙක්, සකූගේ කතාව, කලම්බු, මුරුගසන්, සකර්ම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය නිර්මාණ.

එකම උලෙළකදි නැඟී එන නළුවා සහ හොඳම සහාය නළුවා සම්මාන දෙකටම ඔබ නිර්දේශ වෙනවා?

2020/2021 වසර සඳහා පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී 2020 නැඟී එන නළුවා සම්මානය ගිරිදේවීහි ජාලිය කියන චරිතයට නිර්දේශ වෙද්දි 2021 සකර්ම ටෙලි නිර්මාණයේ පුෂ්පකුමාර කියන චරිතය හොඳම සහාය නළුවාට නිර්දේශ වෙනවා. නිර්දේශ වෙනව කියන්නෙත් ක්ෂේත්‍රයේ ඇගැයීමට ලක්වුණා කියන එකනෙ. ඊටත් කලින් සකූගේ කතාවේ සංගීත සර් ජනප්‍රිය නළුවාට නිර්දේශ වුණා. ඒක මට අදටත් අදහගන්න බැරි කිසිම කැම්පේන් එකක් නොකරම තේරුණ නිසා. රඟපෑම කියන්නෙ වෙනමම කාරණයක්. මමත් තාම ඒක හොයනවා. ඕනම කෙනෙක්ගෙ ජීවිත අත්දැකීම් තමයි තීරණය කරන්නෙ හරි මම මෙහෙම කළොත් මෙහෙම වෙනව කියලා. කොච්චර ඇකඩමික් වුණත් නළුවෙක්ට හැමතිස්සෙම බලපාන්නෙ ඒ ජීවිත අත්දැකීම් ටික. ඒක හරියට මැනේජ් කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි ඔහුගේ සාර්ථකත්වය කියල මම හිතනවා.

දැන් සිනමාව පැත්තටත් නැඹුරුවෙලා නේද?

දැනට සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රියන්ත කොළඹගේගේ ආදරණීය කතාවක් සිනමා පටය තිරගත වුණා. අනිත් එක සසික හේරත්ගේ ආදරේ සමානයි. තවත් සිනමාපට කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division