Home » මගේ කතාවේ මම හීරෝ උඹ විලන්

මගේ කතාවේ මම හීරෝ උඹ විලන්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– පුද්ගලිකව මට විශ්වාසයක් තියෙනවා විලන් චිත්‍රපටය සාර්ථක වෙයි කියලා
– අපේ නළුවෝ ඉන්න චිත්‍රපට බලද්දිත්, ඉන්දියානු චිත්‍රපට බලද්දි එන විසිල් එක එනව නම් මම කැමැතියි

විලන් කියන්නේ පසුගිය වසර තුළ බොහෝ දෙනෙක් බලන්නට බලාපොරොත්තුවෙන් සිටි සිනමා නිර්මාණයක්. ඒ විලන් චිත්‍රපටයේ පළමු පෝස්ටර් එක සහ පළමු පුර්ව ප්‍රචාරක පටය තුළින් මතු වූ වෙනස්ම හැඩය නිසා. කොහොම වෙතත් 2024 ආරම්භ වෙද්දීම විලන් චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට දැක ගන්න පුළුවන්. පසුගිය 4 වනදා සිට රිදී තිරයට ආ විලන්හි තිර රචක, නිෂ්පාදක සහ ප්‍රධාන නළු භූමිකාවට ජිවය දුන්නේ කැලුම් ආර්යන්. විලන් ක්‍රියාදාම දර්ශන බහුල Action – Thriller ශානරයේ සිනමා නිර්මාණයක්. ඒ ගැන වගේම කලා කටයුතු ගැන රසඳුන සමඟ කැලුම් කළ කතා බහයි මේ….

2024 අවුරුද්දේ මුලින්ම තිරයට ඔබ ආවේ විලන් එක්ක, එතනින්ම කතාව පටන් ගමු….?

2023 දෙසැම්බර් අග අවසාන චිත්‍රපටය විදියට තමයි විලන් එන්න හිටියේ. නමුත් ඒක වෙනස් වුණා යම් යම් දේවල් නිසා. දැන් 2024 තිරගත වන පළමු සිංහල චිත්‍රපටය විලන්. මම සෑහෙන කැපවීමෙන් කරපු චිත්‍රපටයක්. පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා හිතලා වෙනස් විදියට කරපු නිර්මාණයක්. ඒක සෑහෙන දුරට සාර්ථක වුණා කියල හිතෙනවා. ඒ නිසා ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා ප්‍රේක්ෂකයින් හොඳ විදියට වැළඳ ගනියි කියලා.

පළමු පෝස්ටර් එක සහ පළමු පූර්ව ප්‍රචාරක පටය තුළින්ම ඔබ වෙනසක් කරන්න උත්සාහ කරලා තිබ්බා. ඒ වෙනසත් එක්ක තමයි ප්‍රේක්ෂකයින් විලන් ගැන බලාපොරොත්තු ඇති කර ගත්තේ. එහෙම නේද?

ඇත්තටම අපිට ඕනේ වුණේ මුල ඉඳන්ම ප්‍රේක්ෂකයින්ට වෙනසක් ලබා දෙමින් චිත්‍රපටයට ප්‍රේක්ෂකාගාරයක් හදා ගන්න. අපි එදිනෙදා දකින විදියෙන් මිදිලා වෙනස් හැඩයක් දුන්නා. ලංකාවේ ක්‍රියාදාම සහ කමර්ෂල් චිත්‍රපටවලට ලොකු රික්තයක් තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නවා ඒ වගේ චිත්‍රපටයක් එනකම්. ඒ නිසා අපිට ඕනේ කළා එවැනි නිර්මාණයක් කරන්න. අපි හදපු පෝස්ටර් එක වෙනස්. ඒ වෙනස චිත්‍රපටය තුළත් තියෙනවා. මේ තුළ හොඳ කතාවක් සහ ඉතාම හොඳ කුතුහලය පිරුණු චිත්‍රපටයක්. හැබැයි මේ හැමදේම කියන්නේ චිත්‍රපටය කරපු අපිනේ. දැන් මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට භාරයි.

චිත්‍රපටයේ නම වගේම ඔබේ චරිතයක් විලන් ඒ ඇයි?

විලන් වෙන්න කැමතියි කියන්නේ මෙතැනදී මගේ චරිතය විතරක් නෙවෙයි චරිත කිහිපයක් තියෙනවා. දෙබසක් තියෙනවානේ උඹේ කතාවේ උඹ හීරෝ මම විලන් හැබැයි මගේ කතාවේ මම හීරෝ උඹ විලන් කියන එක. ඒ කතාව අදාලයි මේ චිත්‍රපටයට. එක එක චරිත දිහා බලන කෝණය අනුව විලන් සහ හීරෝ වෙනස් වෙන්න පුළුවන්. හැම දුෂ්ටයෙක්ගේම තමන්ගේ කතාවේ තමන් තමයි වීරයා. චිත්‍රපටය බැලුවම ඒ වෙනස තේරුම් ගන්න පුළුවන්. ආදරේ කරන විලන් කෙනෙක් සහ වෛර කරන විලන් කෙනෙකුත් ඉන්නවා. චිත්‍රපටය බැලුවම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇයි චිත්‍රපටයේ නමටත් විලන් කියලා දැම්මේ කියන එක.

කතාව, නිෂ්පාදනයත් ඔබේ, අධ්‍යක්ෂණය කරන්නේ ලස්සන ජයසේකර. ඒ ගැන කිව්වොත්?

ඇත්තටම ලස්සන ජයසේකර සහ මම කාලයක් තිස්සේ පටන් මිතුරෝ. ලස්සන ජයසේකරට හොඳ හැකියාවක් තියෙනවා සහ නිර්මාණයක් කරන්න ලොකු කැමැත්තක් තිබ්බා. ඒ නිසා මට තේරුණා සිනමාවට යමක් කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් නිසා ඔහුට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. පහුගිය කාලේ ඇතිවුණු ප්‍රශ්න එක්ක ගෙදරට වෙලා ඉන්න කාලේ තමයි මම මේ චිත්‍රපටය ලිව්වේ. ඒ කාලේ ඇතිවුණු දේශපාලන කලකිරීම් එක්ක ඔලුවට ආව කතාවක්. ජනතාව අවදි කරන්න කරපු කතාවක්.

කොච්චර පිරිවැයක් දැරුවද?

හැමදේකටම අපි මුදල් යෙදුවෙත් නැහැ. හරියටම ගණන් බැලුවොත් ලක්ෂ 350 – 400ක පිරිවැයක් යන වැඩක්. අපි අපේ දේවල් යොදාගෙන සෑහෙන අරපිරිමැස්මෙන් කරපු නිර්මාණයක්.

විලන් චිත්‍රපටය වැඩ අවසන් කළේ කොයි කාලෙද?

2022 අග භාගයේදී අපි වැඩ පටන් ගත්තේ 2023 මුල් කාර්තුව වෙද්දී සියලු වැඩ අවසන් වෙලා තිබ්බේ.

තිරගත වෙන මේ කාලය ගැන මොකද හිතෙන්නේ

කාලය ගැන බැලුවම නම් පසුගිය වසරේ මුල සිටම තිබ්බේ මිනිසුන්ට චිත්‍රපට බලන්න පුළුවන් කාලයක් නෙවෙයි. නමුත් සිනමාවේ යම් පිබිදීමක් පසුගිය වසර අග භාගයේ දී අපි දැක්කා. මිනිස්සු චිත්‍රපට නරඹන්න පටන් ගත්තේ සුරංග අල්විස්ගේ ගේම් චිත්‍රපටයත් එක්ක. ඊට පස්සේ එක දිගටම වගේ ආව චිත්‍රපට කිහිපයක්ම අති සාර්ථක වුණා. මම විශ්වාස කරනවා අපේ මිනිස්සු මොන ප්‍රශ්න තිබ්බත් හොඳ නිර්මාණයක් ආවොත් ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න ලෝබ වෙන්නේ නැහැ. මිනිසුන්ට විනෝදාස්වාදය කියන එක අවශ්‍යයි. ඒ නිසා මට අපේ ප්‍රේක්ෂකයින් ගැන විශ්වාසයක් තියෙනවා.

මේ අවුරුද්දේ කැලුම්ගේ තියෙන අනෙකුත් නිර්මාණ මොනවද?

මම 2023 දී මම චිත්‍රපට හතරක් කළා. ඉන් එකක් පමණයි විලන්. අනෙකුත් චිත්‍රපට තුනත් මේ වසරේ දී තිරගත කර ගන්න පුළුවන් වෙයි. රෙඩ්, සූර්ය දේව් සහ ආදරණීය සිහිනයක් විදියට තමයි ඒ චිත්‍රපට නම් කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටත් එකිනෙකට වෙනස් හොඳ වාණිජ චිත්‍රපට.

විලන් චිත්‍රපටය ගැන අවසානයට කියන්න දෙයක් ඇති නේද?

මට දැනුණු විදියට අපිට තියෙන්නේ එක තැන පල්වුණු සිනමාවක්. අපි විවිධ විදියේ චිත්‍රපට බලන්න පුරුදු වෙන්න ඕනේ. මම කැමැතියි ලංකාවේ හොඳ වාණිජ චිත්‍රපට බිහිවෙලා අපේ නළුවෝ ඉන්න චිත්‍රපට බලද්දී, ඉන්දියානු චිත්‍රපට බලද්දී එන විසිල් එක ගහලා ප්‍රේක්ෂකයින් විනෝද වෙනවා දකින්න. ඒ වගේ සිනමාවකට යන්න අපිට ඕනේ තරම් දක්ෂ නළු නිළියෝ සහ අධ්‍යක්ෂවරු ඉන්නවා. විලන් චිත්‍රපටය සාර්ථක වුණොත් මම හිතනවා ලංකාවේ ඒ රැල්ලත් ඇතිවෙයි කියලා. ප්‍රේක්ෂකයින්ට එහෙම වුණොත් හොඳ ඇක්ෂන් ෆිල්ම් ටිකක් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි. පුද්ගලිකව මට විශ්වාසයක් තියෙනවා විලන් චිත්‍රපටය සාර්ථක වෙයි කියලා. ඒ විශ්වාසය රැඳිලා තියෙන්නේ ප්‍රේක්ෂකයින්ගේ අතේ. ආදරෙන් ආරාධනා කරනවා විලන් බලලා ඔබේ ප්‍රතිචාරය දක්වන්න කියලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division