– රාජ්‍ය වියදම් වැඩි කරගෙන තියෙනවා, ජාතික නිෂ්පාදන වැඩි කරල නැහැ
– මාස ගණන් ආයතන 20කට 30කට ගිහින් අනුමැති ගන්න බලාගෙන ආයෝජකයෙක් මෙහේ එන්නෙ නැහැ
රටේ ආර්ථිකය ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හැර විකල්පයක් තියෙනවද?
අයි.එම්.එෆ්. නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක ගැන පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. හිටපු ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමයි IMF යන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ.
අපි පෙන්වා දුන්න විදිහට IMF ගියානම් මේ තරම් අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නෙ නැහැ. වැරැද්ද තමයි මේ අය IMF ගියේ රට බංකොලොත් වුණාට පස්සෙ වුණ එක. ඒක නිසයි අපට අයි.එම්.එෆ්. එකේ කොන්දේසිවලට යටත් වෙන්න සිද්ධ වුණේ.
IMF එකෙන් බදු පනවන්න කියල කොන්දේසි දාල තියෙනව නම් අපි ඒකට එකඟව කටයුතු කළ යුතුයි නේද?
මම දන්න තරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොයි වෙලාවකවත් කියල නැහැ අධික බදු ජනතාවගෙන් අය කරන්න කියලා. මම එහෙම කොන්දේසියක් දැක්කෙ නැහැ.
IMF කොන්දේසියක් වුණේ ආදායම හා වියදම අතර පරතරය අඩු කර ගන්න කියන එකයි. ආණ්ඩුව කළේ ඒ පරතරය අඩු කර ගන්න බදු ආදායම ඉහළ දාපු එකයි.
ආදායම හා වියදම අතර පරතරය අඩු කර ගන්න තියෙන එකම ක්‍රමය ඒක නෙමෙයිනෙ. අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය, හොරකම වළක්වා ගන්නවා නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.
දැන් වෙලා තියෙන්නෙ ක්‍රමවේදයට අනුගත නොවීම නිසා අපට ඔරොත්තු නොදෙන විශාල ප්‍රතිසංස්කරණවලට යන්න සිද්ධ වීමයි. ජනතාව පිට අධික බදු බර පටවන යෝජනාවලට නොයා යුතුයි කියන එකයි අපේ මතය වන්නේ.
මොන ආණ්ඩුවක් බලයට ආවත් 2027 දක්වා IMF එක කියන විදියට තමයි වැඩ කළ යුත්තේ. යම්හෙයකින් සමගි ජන බලවේගය බලයට ආවොත් IMF සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද?
සමගි ජන බලවේග රජයක් යටතේ අපිත් IMF එකත් එක්ක ගනුදෙනු කරනවා. ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට වඩා දියුණු රටවල් පවා IMF එක හා ගනුදෙනු කරල තියෙනවා. නමුත් අපි මේ වන විටත් කියල තියෙනවා වගේ අනිවාර්යෙන්ම IMF එක හා නැවත මේ කොන්දේසි පිළිබඳව මෙන්ම එකඟතා සම්බන්ධව ඔවුන් හා සාකච්ඡා කරනවා. ඔවුන්ගේ එකඟතාව ඇතිව සංශෝධනයන්ට යන්න අපි බලාපොරොත්තු වෙනවා.
විදේශාධාර මතම යැපෙන්නේ නැතුව අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සංකල්පයක් ඔබ පක්ෂය සතුව නැද්ද?
අපේ පක්ෂය නෙමෙයිනෙ දැන් බලයෙ ඉන්නෙ, කනගාටුදායක තත්ත්වය තමයි රටේ ආදායම් වැඩි කර ගැනීමට ජාතික නිෂ්පාදනය වැඩි කළ යුතු වුවත් අපේ රටේ ආනයන මත විශ්වාස කරල වැඩ කටයුතු කිරීම, ඒ වගේම රටේ තියෙන සම්පත් හෝ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න අපි කටයුතු කරල නැහැ.
ඒත් එක්කම පහුගිය අය වැයෙන් ජාතික නිෂ්පාදන වැඩි කිරීම නිසි වැඩපිළිවෙළක් යෝජනා කරලත් නැහැ. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබුණේ ජාතික නිෂ්පාදන වැඩි කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් හඳුන්වා දීමයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ මුදල් ඇමති ලෙසින් බිඳ වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩගන්න ජාතික නිෂ්පාදනය වැඩි කිරීමට, ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. එවැනි යෝජනා යෝජනා ඇති කරලා ඉදිරි 2025, 2026, 2027 වසරවල ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වා දීමයි.
ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ සුපුරුදු පරිදි දේශපාලන න්‍යාය පත්‍රවලට මුදල් වෙන් කිරීමයි. දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීමයි. ඉතා පැහැදිලියිනෙ, රාජ්‍ය වියදම් වැඩි කරගෙන තියෙනවා, ජාතික නිෂ්පාදන වැඩි කරල නැහැ.
නමුත් අපට ඩොලර් නැත්නම් විදේශ සංචිත හිඟයක් ආවා?
ඒක තමයි. ඩොලර් විතරක් නෙමෙයි, රුපියල් හිඟයකුත් තියෙනවනේ, ආණ්ඩුව ඒ ඩොලර් හිඟයට උත්තර හොයන්න ගත යුතු මූලික පියවර, ඒ කියන්නෙ අපනයන ආදායම වැඩිකර ගැනීමට කිසිම පියවරක් අරගෙන නැහැනෙ. අපේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් තියෙනවා, ඒ එකකින්වත් ප්‍රයෝජන ගන්න ආණ්ඩුව කටයුතු කරල තියෙනවද?
උදාහරණයක් හැටියට ඉන්දු – ලංකා සප්තා ගිවිසුම හරහා අපට කොයිතරම් කාර්යයන් කරන්න පුළුවන්ද? ඒක නිකම්ම නිකම් ගිවිසුමක් අත්සන් කරල ‘පොටෝ ෂෝ‘ එකක් විතරයි.
ඒ එක්කම විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය මැද පෙරදිගට සීමා කරල, අලුතින් විවෘත වුණු තාක්ෂණික රැකියා ගැන කිසිම අවබෝධයක් ආණ්ඩුවට නැහැ. අද වන විට යුරෝපයේ රැකියා විශාල වශයෙන් බිහිවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් වෘත්තියවේදීන් යවන්න පුළුවන්. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අංශයේ රැකියා තියෙනවා. ඒ වෙනුවෙන් විදේශ විනිමය ලබාගන්න අප නිසි පරිදි කටයුතු කරල තියෙනවද?
ජපානය ඇතුළු රටවල විශාල රැකියා වෙළෙඳපොළක් විවෘත වෙලා තියෙන්නෙ. ඒත් අපි තාම අඳුරේ අත ගානව වගේ.
ඒත් සංචාරක කර්මාන්තය නංවන්න කටයුතු කළ නිසා විදේශ විනිමය වැඩි කර ගන්න ලැබුණා නේද?
සංචාරකයන් වුණත් ගෙන්වා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් අපේ රටේ නැහැ. ඒ වෙනුවෙන් රට තුළ සංචාරක ආකර්ෂණ ක්‍රියාකාරකම් වැඩි කරන්න ඕන. එවන් තත්ත්වයක් තියෙනවද? සංචාරකයකුට කෝච්චියක ආසනයක් වෙන් කර ගැනීමේ පහසුකම් තියෙනවද බලන්න. ඒ වෙනුවෙන් වෙනම කෝටා එකක් දෙන්න ක්‍රමයක් නැතුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්ද? මේ තත්ත්වයෙන් රට වෙනස් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් අනිවාර්යෙන්ම තිබිය යුතු වෙනවා. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් අවධානය යොමු කරල නැහැ.
ආයෝජන රට තුළට ඇදී ඒම ගැන ඔබ පක්ෂය දරන්නේ කුමන මතයක්ද? ඒ හරහා අපට විදේශ විනිමය ලැබෙනවා නේද?
රටට ආයෝජනයට අවශ්‍ය පළමු දේ මොකක්ද? ඊට අදාළ පරිසරය. ආයෝජකයන්ට ඒමට සුදුසු පරිසරයක් අපි හදල තියෙනවද? ආයෝජකයෙක් එන්නෙ මෙහේ මාස ගණන් ඉදලා ආයතන 20කට 30කට ගිහින් අනුමැති ගන්න බලාගෙන නෙමෙයි. අපේ රටේ තියෙන්නෙ ආයෝජකයන්ට එපා කරවන පරිසරයක්නෙ.
අපි හරියට අඳුනගන තියෙනවද මොනවද කළ යුතු ආයෝජන කියල, ආයෝජන මණ්ඩලයෙ එහෙම කිසිම දෙයක් නැහැ. අපේ රටේ නීති පද්ධතිය හැදිල තියෙන්නෙ ආයෝජකයකුට තම ආයෝජනය කරගන්න පුළුවන් විදිහට නෙමෙයි.
පැය 24ක් ඇතුළත ආයෝජකයාට තමන්ගේ ආයෝජනයට අනුමැතිය ගන්න පුළුවන් වටපිටාවක් තියෙනවා නම් ආයෝජකයො වැඩි වෙන්නෙ නැද්ද? එහෙම නොවුණොත් ලෝකෙ කිසිම ආයෝජකයෙක් අපේ රටට එන්නෙ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතියෙදි සිදු කළේ මොකක්ද, අද අයැදුම්පත දුන්නා, එදාම ආයෝජකයට අනුමැතිය දුන්නා හෙට වැඩේ පටන් ගත්තා. එවන් තත්ත්වයක් අද තියෙනවද?
අපේ ආයෝජන හරියට තියෙනවනම් අපිට ලෝක වෙළෙඳපොළට යම් ප්‍රතිශතයක්, දායකත්වයක් දරන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියානු වෙළෙඳපොළ අපට ජයගන්න පුළුවන්.
ඔබ පක්ෂය බලයට ආවොත් ඒ වෙනුවෙන් ගෙන එන්නේ කුමන සංකල්පයක් ද?
අනිවාර්යෙන්ම අපි ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. අපි ආර්ථික ක්‍රමවේදයන් අධ්‍යයනය කරල අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ වහල් බැමි වගේ බැඳෙගන ඉන්න රාජ්‍ය නිලධාරීන්ගෙ බැමි වෙනස් කරන්න ඕන. රට සංවර්ධනය කරන්නනම් ආර්ථිකය දියුණු කරන්න නම් අපි ඉදිරියට යන්න ඕන. එක තැන හිරවෙලා හරියන්නේ නැහැ.
තාරක වික්‍රමසේකර