Home » වෙනත් රජයක් බලයට ගෙනාවත් යන්න වෙන්නේ මේ පාරෙමයි…වෙන විකල්ප නම් නෑ…

වෙනත් රජයක් බලයට ගෙනාවත් යන්න වෙන්නේ මේ පාරෙමයි…වෙන විකල්ප නම් නෑ…

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

අද වන විට වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථිකය කඩා වැටීමකට බලපෑමක් කියල ඔබ හිතන්නෙ නැද්ද?

වෘත්තිකයන් රටින් බැහැර යාම අලුත් දෙයක් නෙමේ. නමුත් පුළුවන් හැම කෙනෙක්ම රට හැරල ගියොත් රටේ ආර්ථිකයට බරපතළ තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. අද අපි තේරුම් ගත යුතු තත්ත්වය තමයි රට මේ වන විට ආර්ථික වශයෙන් ධනාත්මක පැත්තකට ගමන් කරමින් සිටිනා බව. වර්තමාන අර්බුදකාරී තත්ත්වය තාවකාලිකයි.

ලංකාව විතරක් නෙමේ ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ. ලෝකයේ අනෙක් රටවල් වගේම අපිත් කඩා වැටුණා. නමුත් ලෝකයේ අනෙක් රටවල් එක්ක ගත්තහම අපි ඉක්මනින් නැගිට්ටා.

අපේ තියෙන අපහසුතා සියල්ල ඉක්මනින් ඉවර වෙලා නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. නමුත් ආර්ථිකය සුබදායි තත්ත්වයක් නිර්මාණය වෙන්න අවශ්‍ය පරිසරය දැන් අප නිර්මාණය කර තියෙනවා. මෙහිදී එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ.

මේ තියෙන්නෙ තාවකාලික තත්ත්වයක්. ඉදිරියේදී අහිමි වූ බව කියන බලාපොරොත්තු නැත්නම් ප්‍රතිලාභ අපට යළි හිමි වේවි.

නමුත් වෘත්තිකයන් කියන්නේ බදු අධික නිසා රට හැර යනව කියලයි

වෘත්තිකයන් වැඩියෙන් විදේශ ගතවීම ආරම්භ වුණේ 2022 අවුරුද්දෙනේ. ඒ රට ගැන කිසිම බලාපොරොත්තුවක් රහිත කාලයක්නෙ. මේ තත්ත්වය දේශපාලන කෝණයෙන් නොබැලිය යුතුයි. අද වන විට බලාපොරොත්තු සහිත රටක්නෙ තියෙන්නෙ. අද වන විට සැලකිය යුතු ප්‍රගතියක් හැමෝටම පේන්න තියෙනවා. නමුත් ඇතැමුන් හිතනවා මේ ආර්ථික අර්බුදය තමයි ඒ අයට බලය ලබා ගැනීමේ සුදුසුම අවස්ථාව කියලා. ඒක බොරදියේ මාළු බානව වගේ වැඩක්නේ. අපි තේරුම් ගත යුත්තේ බොරදියේ මාළු බාන්න දෙනවද? නැත්නම් අපහසුතාවලින් මිදෙනවද කියලා.

නමුත් ජනතාවට විශාල පීඩාවක්, ආර්ථික අමාරුවක් තියෙනවා නේද?

රටක් ලෙස අපි ගත යුතු අමාරුම තීන්දු අරගෙන තියෙන්නෙ. අද රට යම් ස්ථාවරයකට ගොඩ නැඟෙමින් තියෙන්නෙ. අවස්ථාවාදීව, දේශපාලන කෝණයෙන් බලන්නෙ නැතුව නියමිත දෘෂ්ටියෙන් බැලුවොත් අපට නියම තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.

නමුත් ජනතාවට අපහසුතා තියෙනවා. ඒක අපි පිළි ගන්නවා.

ඒක අපි බැහැර කරන්නේ නැහැ. කඩා වැටුණු රටකින් එක පාරටම ගොඩ එන්න බැහැ. අපහසුතා නැතිවෙන්න නම් පළමුව වැඩසටහනක් අවශ්‍යයි. එහිදී කෙටිකාලීන අපහසුතා මතු වේවි. ඒ අපහසුතා මඟ හැර ගන්න අස්වැසුම වගේ සමාජ සුබසාධන අපි ඉදිරිපත් කරල තියෙනවා. සමෘද්ධිය දිහා බලන ඇසින්ම අස්වැසුම දිහා බලන්න එපා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමෙන් පසුව ආර්ථීකයේ විශාල පිබිදීමක් බලාපොරොත්තු වුණා. නමුත් එවැන්නක් පේන්න නැහැනෙ.

රටක් හැටියට බංකොළොත් බවින් මිදෙන්න අපට ලෝකයේ පිළිගැනීමක් ඇති අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ආයතනවල සහාය අපට පතන්න වෙනවා. නමුත් මූල්‍ය විනයක් පවත්වාගෙන යාම අනිවාර්යයි.

මේ මූල්‍ය විනය පවත්වාගෙන නොයෑම නිසා තමයි අපි කඩා වැටීමකට ලක්වුණේ. අපි මේ සැබෑ තත්ත්වය පිළිගත යුතු වෙනවා. මෙහිදී අප හැම කරුණක් කෙරෙහිම බැලිය යුත්තේ 2022 වසරත් එක්ක සාපේක්ෂවයි.

ඇඟිල්ල දිගු කිරීම හා විවේචනය රටේ ප්‍රශ්නයට විසඳුමක් නෙමේ. ඒ මූල්‍ය විනය අපි දැන් ඇති කර ඒ අනුවයි කටයුතු කරන්නේ. ඒ වගේම අපි ඉතා සංකීර්ණ අවදානම් තත්ත්වයකයි ඉන්නේ. මොකද මීට වඩා අවදානම් තත්ත්ව ඉදිරියේදී තව එන්න පුළුවන්. අපි හිතුවොත් පරණ පුරුදු විදිහටම අපිට දිවි ගෙවන්න පුළුවන් කියලා, ඒක හොඳ තීරණයක් නෙමේ. අසීරුතා අපහසුතා කාලයක් තියේවි.

නමුත් ඇතැම් පක්ෂ කියන්නේ ආණ්ඩුවේ වැරැදි දැකීම් නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ කියලා.

තවත් රජයක් බලයට ගෙනාවා කියලා රටේ මේ තත්ත්වයෙන් මිදෙන්න වෙනත් මාර්ගයක් නැහැනෙ. සිදුවන එකම දේ යළිත් රට කඩා වැටීමයි. කිසිම රටක් දැන් අපට උදවු කරන්න එන්නෙ නැහැ. මේ ක්‍රමවේදය වෙනස් කරන්න ගියොත් අපට ඉතාම අවාසනාවන්ත රටක් ලෙස තමයි පත් වෙන්න වෙන්නෙ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නැත්ද?

අපි මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුමයි. ඉන්දියාවේ ආර්ථිකය 1990 වසරේ මුල්භාගයේදී කඩා වැටීමකට ලක්වුණා. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත්තා. නමුත් අද තත්ත්වය කොහොමද? අද වන විට ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයකට ඉන්දියාව හිමිකම් කියනවා. ඒ වගේම තමයි කොරියාවත් 90 දශකයේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වූ රටක්. ඒ රටත් අද ඉතා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ උසස් ප්‍රතිඵල.

ආණ්ඩුවේ මේ ආර්ථික ක්‍රියාකාරකම් හමුවේ පීඩාවට පත් ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරිලා කිව්වොත්?

අපට මිලියන 22ක ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒ ආර්ථිකය අප ගොඩ නැංවිය යුතුයි. අවාසනාවකට අද අපට ගන්න වෙලා තියෙන්නෙ ජනප්‍රිය තීන්දු නෙමෙයි. කෙටි කාලීන යම් අපහසුතා තිබුණත් ඉදිරියේදී ජනතාවට තේරෙයි අද ගත්ත මේ තීන්දු තීරණ නිසයි ආර්ථිකය රැකුණෙ කියල‍, විවේචනය ලේසියි, දෝෂාරෝපණය ලේසියි. දැනට සුරංගනා කතා කියන්න පුළුවන්.

නමුත් වෙන කොයි ආණ්ඩුව ආවත් කරන්න තියෙන්නෙ, යන්න තියෙන්නෙ මේ පාර විතරයි. එහෙම නොවුණොත් මීට වඩා බරපතළ අර්බුදයකට අපට මුහුණ පාන්න වෙනවා.

වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමෙන් අපේ රටේ ජනතාවගේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවනවා නේද?

අපේ රටේ 70%ක් උද්ධමනය තිබුණනෙ. වැට් බද්ද වැඩි කිරීමත් එක්ක 2%ක පමණ උද්ධමනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතර තුර කළ යුතු ආර්ථික උපකරණ භාවිත කරල එය පාලනය කරන්න අදහස් කරනවා.

එසේම දෙවෙනි කරුණ තමයි මේ විවේචන, අර්ථකතන නිවැරැදි නැහැ.

වැට් බද්ද වැඩි වෙන්නෙ 15% ඉඳල 18%ක් දක්වා 3%කින් විතරයි. ඒ වගේම වැට් බද්දෙන් නිදහස් කරල තිබුණ භාණ්ඩ 138න් 94ක් සඳහා වැට් බද්ද පැනවූවා.

එක භාණ්ඩයක් 15% සිට 18%ට පමණයි යන්නෙ. අපිට මේ ලෙසින් වැඩි කරපු වැට් බද්ද නිසියාකාරව ලැබුණොත් පමණයි නැවත බදු සමාලෝචනයකදි, බදු අඩු කිරීම ගැන සලකා බලන්න පුළුවන් වෙන්නෙ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමයි මෙහි අරමුණ වන්නේ. ඒ ආදායම ලැබුණොත් පමණයි අපට මහජන සේවා පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ. අස්වැසුම වගේ සමාජ සුබසාධක කටයුතු කරන්න පුළුවන් වෙන්නෙ. පොහොර සහනාධාර, ආබාධිත දීමනා, වකුගඩු දීමනා ලබා දෙන්න, රෝහල් සුබසාධක කටයුතු, අධ්‍යාපන, විශ්‍රාම වැටුප් ගෙවන්න හැකියාව ලැබෙන්නෙ. ඒ වගේම යටිතල පහසුකම් සලසන්න අවස්ථාව ලැබෙන්නෙ. අපි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුයි.

කොපමණ කාලයක් මේ අසිරුතාවන්ට ඉන්න වෙයිද?

පහුගිය 2022 අවුරුද්ද අපි අවසන් කරන්නෙ -11ක ආර්ථිකයක් එක්ක. 2023 අවුරුද්දෙ එය -3 දක්වා අඩු වුණා. අපි බලාපොරොත්තු වෙනවා, මේ වසර නිමවන විට ආර්ථිකය +2 දක්වා යන්න. සුබදායි බලාපොරොත්තු තියෙනවා.

අපිට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ යහපත් තත්ත්වයක් කරා එන්න පුළුවන් කියල හිතනවද?

බදු ගෙවිය යුතු ජනතාව බදු ගෙවන්න උනන්දු කරවන්න ඕන. ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන අය රටේ බදු ප්‍රතිපත්තියට අනුගත වෙන්න ඕන. එහෙම නැතුව අත්‍යවශ්‍ය පියවීම් කරන්න අපට හැකියාව ලැබෙන්නෙ නැහැ. තමන් ගෙවිය යුතු ප්‍රමාණය ගෙවිය යුතුයි. එහෙම නැතුව බදු අඩුවෙන් ගෙවලා හරි බදු නොගෙවා ඉඳල හරි බදු වැඩියි කියල කෑගහල වැඩක් නැහැ. ආර්ථික පීඩනයත් එක්ක බොහෝ අයට මේ තත්ත්වය තේරුම් කර දීම අපහසුයි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division