Home » විගීගේ දෙ‍ෙවනි මනාපය කාටද?

විගීගේ දෙ‍ෙවනි මනාපය කාටද?

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

නිවාඩුවක් සඳහා කොළඹින් පිටව සිටි ජනපති රනිල් වික්‍රමසිංහ නැවත කොළඹ පැමිණියේ 31 දා දහවල් ය. දහවල් කොළඹ පැමිණි රනිල් සුපුරුදු පරිදි යළිත් රාජකාරිවල නිරත වූ අතර, එදින ඔහු රාජකාරී අවසන් කරනවිට නව වසරත් උදාවී තිබුණි. සවස් වරුවේ ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ නිලධාරී මඩුල්ල කැඳවා තිබුණේ පක්ෂ කටයුතු ගැන කතා කරන්නටය.

අලුත් ව්‍යවස්ථාව අනුව තනතුරු පත් කිරීම ගැන කතා කරන මේ හමුවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක හා උප නායක අකිල ද එක්ව සිටියහ. මේ අතරවාරයේදී ඇමැති හරීන් හා මනූෂ ද වෙනත් රාජකාරී කටයුත්තකට පැමිණි අතර ඔවුන් ද සාකච්ඡාවට වාඩි වූවේ අවසන් භාගයේදී ය.

ඉකුත් ඔක්තෝබරයේ පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මත කරගත් නව ව්‍යවස්ථාව ප්‍රකාරව නායකත්ව මණ්ඩලය, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පක්ෂ ක්‍රියාකාරී කමිටුවලට නියෝජිතයන් පත් කිරීම ගැන ද සාකච්ඡා කළෝය. නව වසරේ ඉදිරි සංවිධාන කටයුතු ගැන කතා කළ පිරිස මධ්‍යම රාත්‍රියේ පිටව ගියේ නව වසරට එකිනෙකාට සුබ පතා ගනිමිනි.

පසුවදා පෙරවරුවේ නව වසරට රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු සංවිධානය වූවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ උපදේශයෙනි. ජනපති පැමිණ ජාතික ධජය එසැවීමෙන් පසු නව වසරේ රාජකාරි ප්‍රතිඥාව ලේකම් කාර්යාලයේ සේවක මණ්ඩලය ලබා දුන්හ.

ඇමැතිවරුන්ගෙන් ජනපතිට සුබ පැතුම්

ජනපති රනිල් මුණ ගැසී සුබ පැතීමට මැති ඇමැතිවරු රැසක් පැමිණ සිටි අතර බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණේ වූහ. ජනපති රනිල් තේ පැන් සංග්‍රහය පැවැති ස්ථානය වෙත පැමිණියේ මේ අතරවාරයේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු ප්‍රධාන නිලතල දරන්නන් එහි පැමිණ සිටිය ද කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එහි නොමැති වීම ගැන කසු කුසුවක් පැවතියේය.

ජනපති අසලට පැමිණි ඇමැති බන්දුල, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය හා මහාචාර්ය ආශු, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක රටේ තත්ත්වය ගැන කතා කරන්නට වූහ. වැට් බදු ක්‍රියාත්මක වීමත් සමඟ ඉන්ධන ඇතුළු භාණ්ඩයන්හි මිල ඉහළ යෑම එහි ප්‍රධාන මාතෘකාවක් විය.

ජනතාව හොඳ කියන දවස ජනපති කියයි

“මේ වෙලාවේ ජනප්‍රිය තීන්දු ගන්න මට අමාරුයි. මම ගන්නේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දුයි. දැන් බැන්නත් ජනතාව අනාගතයේදි මට හොඳ කියාවී.” ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.

“බජට් සෙමිනා ටික මම කරගෙන යනවා. බදු ගැනත් එතනදි කතා කරලා ජනතාව දැනුම්වත් කරනවා.” සමන් රත්නප්‍රිය කතාව ආරම්භ කළේය.

“ඔව් බොරු සුරංගනා කතා කියන්නේ නැතුව ඇත්ත කතාව කියන්න ඕනේ. මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නෑ. මේ ගමන කටුක හින්දා තමයි හැමෝම එදා මේ වගකීම ගන්නේ නැතුව පැනලා ගියේ.” ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරන තැනදී ආර්ථික තත්ත්වය ගැන මම කියනවා.” කියූ ජනපති මුදල් අමත්‍යාංශ ලේකම් කැදවා තොරතුරු විමසන්නට වූවේය.

මුදල් ලේකම් කියූ සංඛ්‍යා ලේඛන කොළයක් රැගෙන ඔහුම සටහන් කර ගත්තේ ඊළඟ කතාවේදී ඒවා කීමටය. ඒ අවසරයෙන් ඇමැති බන්දුල කීවේ “සර් කියපු විදියටම මම අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස දී රටට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වූවා” කියාය.

ජනපති හිස සලද්දී බන්දුල නැවත කීවේ පිරිත් දේශනාව ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව පෙන්වූ බවකි.

“ඒ පිරිත් අහන්න ඇමැතිතුමා දුම්රිය සාමාන්‍යාධිකාරි තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී කණ්ඩායමත් කොළඹ ඉදලා අනුරාධපුරයට දුම්රියෙන්ම එක්කගෙන ගියා.” මහාචාර්ය ආශු කීවේ සාකච්ඡාවේ බැරෑරුම්කම දුරු කරවමිනි.

රංගේ ගැන සාගල කිව්වේ මොනවාද?

නව වසරට කිරි උතුරුවා අලුත් අවුරුදු කෑම මේසය වෙත ගිය සාගල රත්නායක කෑම මේසය ඉඳුල් කරන්නටත් පෙර නොඉඳුලේම පැමිණ සිටියවුන්ට කියා සිටියේ මේ වසර සඳහා මහලේකම් ලෙස රංගේ බණ්ඩාර ජනාධිපතිතුමන් විසින් යළිත් පත් කර ඇති බවය. ඉතිරි තනතුරු පසුව පත් කරනු ඇති බවද ඔහු කීවේ පැමිණ සිටි පාක්ෂිකයන් දිරි ගන්වමිනි. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සිට සජබයට ගිය බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සමරවීර වීරවන්නි ද පැමිණ සිටියේය.

මහලේකම් රංගේ නව වසරට වැඩ ආරම්භ කළේ සිරිකොතේ දැනට සිටින පැරණිම සාමාජිකයා වන ධනපාල මාමා වෙත බුදු පිළිමයක් පිරිනමමිනි. එසේම මැලේසියාවේ සිට ගෙනා පිරිත් නූල් ඔහුට දුන්නේ සිරිකොත කාර්ය මණ්ඩලයට දෙන ලෙස කියමිනි. මහලේකම්ගේ කාර්යාලය වෙත ගිය සැමට ඔහු මෙම පිරිත් නූල් හා පිළිම ලබා දුන්නේ නව වසරට ආසිරි පතමිනි.

ජනපති රනිල් අකුරෙගොඩ නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමට ගියේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි සැමට සුබ පැතුම් එක් කළාට පසුවය.

එ.ජා.ප.යේ වගකීම් පැවරීම

එදින දහවල් ජනපති රනිල් ශිල්පාභිමානි හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානයට එක්වූවේය. එය නිමවා කාර්යාලය වෙත එද්දී ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබූ අතර ජනපති රනිල් ද ඊට එක්ව උපදෙස් දුන්නේ ඩෙංගු මර්දනය කරන ප්‍රදේශවල යළි ඩෙංගු උවදුර ඇති නොවීමට කටයුතු සැලසුම් කරන ලෙසටය.

බදාදා දවස පුරාම ජනපති රනිල් රැස්වීම් ගණනාවකට එක්ව සිටි අතර ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුවට ද සහභාගී වූවේය. මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කොට ඌණ උපයෝගිත ඉඩම් සම්පත මේ වෙනුවෙන් යොදා ගන්නා ආකාරය ගැන සොයා බලා කටයුතු කිරීමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්වා ගෙන යාමට තීන්දු කෙරුණි. එහි ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කළ අතර ඇමැති බන්දුල ද මෙයට දායකත්වය සපයනු ලබයි.

එදින සවස අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න ඇතුළු කණ්ඩායමක් ජනපති හමුවට පැමිණියේ ඔවුන්ගේ නව දේශපාලන කාර්යාලය ගැන දැනුම්වත් කිරීමටය. ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සහාය දෙන අතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හා එක්වෙමින් කටයුතු කරන බවද ඔවුහු කියා සිටියහ. ඒ අතර ශාන් විජයලාල් හා දයාශ්‍රිත තිසේරා සජබයට පැමිණීම ගැන ද කතා බහක් ඇතිවිය. මහින්දානන්ද හා ප්‍රසන්න රණතුංග ද ඒ අතරතුරේ ජනපති මුණ ගැසීමට පැමිණියහ.

ශාන් ගිය හේතුව ප්‍රසන්න කියයි

“සජිත් කැම්පේන් එක ජනවාරි 01 දාම පටන් ගත්තේ ශාන් විජයලාල් ද සිල්වාව අරගෙන. මේකට අපේ ගොඩක් අය කලබල වෙලා.” නිමල් ලන්සා කීවේය.

“ශාන් විජයලාල්ට ආණ්ඩුව පැත්තේ ඉඩක් තිබුණේ නෑ. අනෙක් පැත්තෙන් ශ්‍රි.ල.නි.ප.ය එක්කත් ප්‍රශ්නයක් දා ගෙන හිටියේ. කොහොම වුණත් ආණ්ඩුවෙන් ගාල්ලට රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනූෂ, මොහාන් ද සිල්වා වගේ ප්‍රබල චරිත ඉන්න නිසා එයාට එන්න විදියක් නෑ.” ඇමැති ප්‍රසන්න කීවේය.

“අනෙක අම්බලන්ගොඩ වැඩිම මනාප ගත්තේ එහේ ප්‍රාදේශීය සභා සභාපති. එයා ඉන්නේ අපිත් එක්ක. මෙයාට යන්න තිබුණ තැන ස.ජ.බ ය. මේක කලින්ම ආණ්ඩුව දැනගෙන හිටියා.” ඇමැති ශෙහාන් ද කතාවට එක්වූවේ එලෙසිනි.

“ඡන්දයක් පේන මානයක නැතුව මෙහෙම කට්ටිය අරගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද? එයා හැමදාම කළේ මේ වගේ වැඩනේ” ඇමැති මනූෂ කීවේ සිනහසෙමිනි.

මෛත්‍රී ගැන වජිර කිව්වේ මොනවාද?

“මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එක අපි පටන් ගත්තේ සති තුනෙන්.” වජිර ද කතාවට එක්වූවේ පැරණි මතක සිහිපත් කරමිනි.

“අනෙක ජී.එල් ලා නාලක ගොඩහේවලා ගත්ත එකෙන් සජබ ඇතුලේ ප්‍රශ්න වැඩි වෙලා. නාලක ගොඩහේවා තමයි ගෝඨාගේ ප්‍රතිපත්ති සම්පාදක. වැට් බද්ද 8%කට ගෙනල්ලා ආර්ථිකය කඩා වට්ටන්න උදවු වෙච්ච කෙනෙක් එක්ක සජිත්ට ඉන්න පුළුවන් වුණාට අනෙක් අයට බෑ.” මහාචාර්ය ආශු කීවේ ස්ථිර හඩිනි.

“දයාශ්‍රිතව ගෙනාවේ නිරෝෂන් පෙරේරා පහළට දාන්න කියලා තමයි ආරංචි” මන්ත්‍රී මධුර කීවේ සිනාසෙමිනි.

රනිල්ගේ කැම්පේන් එක මොකක්ද?

සියලු කතා අසා සිටි ජනපති රනිල් “ ඔයාලා කලබල නොවී ආසනවලට ගිහින් තම තමන්ගේ ආසනවල වැඩ කරන්න. කලබල වෙලා හදිසි වෙලා කැම්පේන් කරන්න බෑ. ජනාධිපතිවරණ කැම්පේන් එකට වඩා මට තියෙන්නේ රටයි ආර්ථිකයයි ගොඩදාන කැම්පේන් එක.” ජනපති රනිල් කීවේ සිනාසෙමිනි.

සාකච්ඡාව නිමවා පිටතට යන අතරතුර පිරිස කතාවූවේ “ජනාධිපතිතුමා ලොකු ආත්ම ශක්තියකින් සිටින බව පේනවා. මේක අපට ලොකු විශ්වාසයක් ඇති කිරීමට හේතුවක් වුණා.” යනුවෙනි.

බ්‍රහස්පතින්දා සවස කිළිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යෑමට තිබුණ ද පෙරවරුවේ ඔහු කාර්යාලය වෙත පැමිණියේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණ ගැසීමටය. ඊට පෙර මැති ඇමැතිවරු පිරිසක් මුණ ගැසුණු ජනපති රනිල් රටේ තත්ත්වය ගැන ද කතා කළේය.

ඇන්ඩ්‍රි බොචෙල් මෙරටට

“විදුලියේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කණ්ඩායමක් රට යන ගමන කඩා කප්පල් කරන්න කටයුතු කරනවා. මොකද මේ මාස දෙක තුන තමයි සංචාරකයෝ වැඩිපුරම රටට එන්නේ.” ඇමැති බන්දුල කීවේය.

”ඔව් දැන් අපි දකුණු පළාත කේන්ද්‍ර කරගෙන විශේෂ දේශීය උත්සව රැසක් කරන්න යනවා සංචාරකයන් ඉලක්ක කරගෙන. ගාලු සාහිත්‍ය උත්සවය තියෙනවා. අනෙක් පැත්තෙන් ලෝක ප්‍රසිද්ධ බටහිර ගායකයෙක් වන ඇන්ඩ්‍රි බොචෙල් ලංකාවට එනවා. ඉන්දියානු නළු නිළියෝ එනවා. මේ වැඩ කඩාකප්පල් කරන්න දෙන්න බෑ.” ඇමැති මනුෂ කීවේ ස්ථිර හඩිනි.

“විරෝධය පළ කළාට කමක් නෑ හැබැයි රටේ වැඩ කඩාකප්පල් කරන්න දෙන්න බෑ.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද කතාවට එක්වූවේ එලෙසිනි.

“මේවා පිටිපස්සේ විපක්ෂ දේශපාලන බලවේග ඉන්නවා. මොකද ජනාධිපතිතුමා යන වැඩපිළිවෙළ ඉදිරියට ගියොත් රට දියුණු වෙන බව මේ අය දන්නවා..” මන්ත්‍රී දොලවත්ත කීවේ බැරෑරුම්වය.

ජනපති සවස කිළිනොච්චි ගිය අතර ඉරිදා දිනය තෙක් ජනපති රනිල් යාපනය අර්ධද්වීපය තුළ සංචාරය කිරීමට නියමිතය.

මහින්දට කතරගමදී ජනතාව කිව්වේ මොනවාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ අවසාන දිනවල ගත කළේ තංගල්ලේය. සුපුරුදු පරිදි දෙසැම්බර් 30,31 දිනවල කතරගම කිරිවෙහෙරේ පැවති ආගමික වතාවත්වලට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සහභාගි වූයේ සෑම වසරක්ම අවසානයේ චාරිත්‍රයක් සේ එය ඉටු කරමිණි.

කිරිවෙහෙරේ ආගමික වතාවත්වලට සහභාගි වු මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා අසලට විශාල පිරිසක් පැමිණ අතර ඔවුන් කියා සිටියේ හැමදාමත් ඔවුන්ගේ සිතේ ඉන්නා නායකයා මහින්ද රාජපක්ෂ බවයි.

දෙවැනි මනාප‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂවල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව කතාබහක් දේශපාලන ක්ෂේත්‍රයේ පවතී.

විග්නේෂ්වරන්ගේ භුමිකාව කුමක් වේද යන්න ගැන පසුගිය දිනක ආණ්ඩුවේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර කතාබහක් ඇති විය.

“විගී දාන්නේ ඇයිද? කියලා තවම හිතාගන්න බැහැ” යනුවෙන් මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරද්දී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ දෙවැනි මනාපය නම් සමහර විට වැදගත් වීමට ඉඩ තිබෙන බවයි.

“විග්නේෂ්වරන් මන්ත්‍රිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන හොඳ පැහැදීමකින් ඉන්නේ. ජනාධිපතිතුමා ගැන හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. ඔය කවුරු දෙවැනි මනාපයකට කෙළ හලාගෙන හිටියත් මට නම් හිතෙන්නේ ජනාධිපතිතුමාට විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහාය දෙනවා කියලයි” යනුවෙන් මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශාන්ගේ කපුවා බන්දු

ශාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලේදී බන්දුලාල් බණ්ඩාරිගොඩට විශාල ශක්තිය විය. සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ගීගනගේය. ඔවුන් දෙදෙනා ශාන් විජයලාල්ට සමගි ජනබලවේගය සමඟ එකතුවීම සඳහා ආරාධනා කළ සෑම අවස්ථාවකදී බන්දුලාල්ට කීවේ ‘‘ඔබ වගේම මමත් පක්ෂය හැර ගිය කෙනෙක් නෙවෙයි. පක්ෂය දාලා යන්නේ නෑ. පක්ෂයෙන් විශාල පිළිගැනීමක් සහ අවස්ථාවක් හැම මොහොතෙම ලැබිලා තිබෙනවා “කියාය.

නමුත් බන්දුලාල් සහ ගී ගනගේ තමන්ගේ උත්සාහය අත්නොහැර දිගින් දිගටම ශාන් විජයලාල්ට කීවේ වර්තමාන දේශපාලන බලය තුළින් යමක් කළ හැකිනම් ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් සමඟ එකතුවීම කළ යුතු බවයි.

ශාන් විජයලාල්ගේට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය ගැන පැහැදීමක් තිබුණි. සජිත් ප්‍රේමදාස නායකතුමාගේ දේශපාලනය ගැන ශාන් විජයලාල්ගේ හැඟීම බන්දුලාල් මෙහිදී ඉස්මත් කරමින් සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ වීමට ඔහුට ගැටලුවක් නොවන සාධකය මෙය බව කියා සිටියේය.

මෙහිදී ශාන් විජයලාල් බන්දුලාල් බණ්ඩාරියගොඩට කීවේ මගේ දේශපාලනය ලියවිලා තිබෙන්නේ අම්බලන්ගොඩ. මට දේශපාලනය කරනවානම් ඒ පදනම තිබිය යුතු බවයි.

බන්දුලාල් බණ්ඩාරිගොඩ ශාන් විජයලාල්ට කීවේ අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය ඔබතුමාට ලබා දෙන ලෙස මම නායකතුමාට යෝජනා කරන්නම්. ශාන් කීවේ එතකොට ආනන්ද අබේවික්‍රම සංවිධායකට මොකද වෙන්නේ? ඔහුට හානියක් වෙනවා නම් මට මේ දෙය කරන්න බෑ යනුවෙනි.

ඒකට උත්තරයක් මම ලබා දෙන්නම්. ඔබතුමා කැමතිද නැද්ද මට උත්තරයක් දෙන්න” බන්දුලාල් බණ්ඩාරිගොඩ කීවේය.

ශාන් විජයලාල්ගෙන් කොළ එළියක් ලැබුණු මොහොතේම බන්දුලාල් දුරකතනයෙන් විපක්ෂ නායකතුමාට කතා කර ශාන් විජයලාල්ගේ කැමැත්ත පිළිබඳ දැනුම් දුන්නේය. ඒ සමඟම අම්බන්ගොඩ සංවිධායක ධුරය ගැනත් බන්දුලාල් බණ්ඩාරිගොඩ විපක්ෂ නායක සජිත්ට සිහිපත් කළේය.

විපක්ෂ නායකතුමා කීවේ ගැටලුවක් නේද බන්දුලාල් එතකොට. බන්දුලාල් බණ්ඩාරිගොඩ කීවේ එක් ගැටලුවක් වෙන්නේ නෑ සර් යනුවෙනි. ආනන්ද අබේවික්‍රමට බද්දේගම ආසනය ලබාදෙන්න. විපක්ෂ නායකවරයා පුදුමයට පත්වෙමින් බන්දුලාල්ගෙන් ඇහුවේ ඔයාට මොකද වෙන්නේ කියලයි.

බන්දුලාල් ඒ අවස්ථාවේ කීවේ ඔබතුමා රට වෙනුවෙන් දිනන්න ඕන. ඒ සඳහා ශක්තියක් ලැබෙන ඕනෑම පියවරක් වෙනුවෙන් මම කැප කිරීම් කරන්න ලෑස්තියි. මේ ගැන කතා කරන්න දෙයක් නෑ. අම්බලන්ගොඩ ශාන්ට දීලා බද්දේගමට ආනන්දව පත් කරන්න. අපි සමගි ජනබලවේගය ශක්තිමත් කරමු.”යනුවෙනි.

නව වසරේ ලාන්සා වැඩ ඇල්ලු හැටි

නව සන්ධානයේ දේශපාලන පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය ජනවාරි පළමු වැනිදා රාජගිරිය ලේක් ඩ්‍රයිව් පිහිටි එම මුලස්ථානයේදී උත්සවාකාරයෙන් සිදු විය.

ඒ එම සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පියදර්ශන යාපාගේ සහ පක්ෂයේ නිර්මාතෘ නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ද එක්විය.

විශේෂත්වය වූයේ උත්සවය සඳහා මෙහෙයුම් ප්‍රධානි සිරිපාල අමරසිංහ විසින් ආරාධනා පත් ඉතා සුළු ප්‍රමාණයක් යවා තිබුණ ද උත්සව සභාව ආරම්භ වන විට මුළු පක්ෂ කාර්යාලයම අරාධිතයන්ගෙන් පිරි ඉතිරී යෑමයි.

බයි පාස් කළාට අජිත් රාජපක්ෂගෙන් දොස්

හම්බන්තො‍ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ විසින් අදාළ නිලධාරීන්ට දෝෂාරෝපණය එල්ල කර ඇත.

ඉස්සො ව්‍යාපෘතියකට ඉඩම් හාතාගල ප්‍රදේශයේ තෝරාගෙන ඇති අතර ඒ පිළිබඳ අම්බලන්තොට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී දැනුම්වත් නොකිරීම මෙම දොස් නැඟීමට හේතුවී තිබේ.

“රටේ දියුණුවට ආයෝජන ව්‍යාපෘති අවශ්‍යයයි. මෙම ඉස්සෝ ව්‍යාපෘති 2ක හොඳයි. මේවා ගැන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දැනුම්වත් කරලයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එන්න ඕන. මෙහෙම බයිපාස් කරලා ආවම ප්‍රශ්න ගොඩයි. අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආයෝජකයනුත් ආරක්ෂා කරගෙන මේ රට දියුණු කරන්න ඕන” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කීවේය.

රට බංකොලොත්භාවයෙන් මුදාගන්නා හැටි වජිර පෙන්වයි

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන 2024 වසරේ සහභාගි වූ පළමු මාධ්‍ය හමුව පසුගිය අඟහරුවාදා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා රට ගොඩ ගැනීම වෙනුවෙන් මෙම 2024 වසරේ ගෙන යෑමට නියමිත වැඩපිළිවෙළ සහ පසුගිය වසරේදී ගෙන ගිය වැඩසටහන පිළිබඳ දීර්ඝ ලෙස මාධ්‍ය දැනුම්වත් කළේය.

එසේම මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන මෙන්ම ඒ වෙනුවෙන් මේ වනවිටත් ඉදිරිපත් වී ඇති අපෙ­්ක්ෂකයන්ට රටක් ඉදිරියට ගෙන යාමට පුළුවන් දැයි ඉතා අවබෝධයෙන් කල්පනා කර බලන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන, 2020, 2021, 2022 යන වර්ෂවලදී අපේ රට භයානක නරක තැනකට තල්ලු වුණා. ඒ වගකීම බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වගකීම භාරගන්න ඉදිරිපත් වුණේ තනි ආසනයකින් පාර්ලිමේන්තුවේ හිටපු අවුරුදු 60ක දේශපාලන පළපුරුද්දක් තිබෙන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

අනෙක් සියලු දෙනා මග හැරියා. සමහර අය කිව්වා, විරුද්ධ පක්ෂයේ ආර්ථික විශේෂඥයෝ මේ වෙලාවේ මේකට අතගහන්න එපා, මේක දැන් ගොඩදාන්න බැහැ කියලා. මේකට හොඳම වැඩේ තමයි ආණ්ඩුව එළවලා දේශපාලන වාසියක් ලබා ගන්න එක. එහෙම වෙලාවක තමයි පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් සහ පළපුරුදු දේශපාලඥයන් මේක මෙහෙයවලා ඒක ඉෂ්ඨ කරන්න පුළුවන් පුද්ගලයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයට භාර දුන්නෙ.

එහෙනම් 2024 ලබනකොට නත්තල සැමරුවේ මුළු ලංකාවම එකම හඬකින්. තවම ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒකට වෙනත් මාර්ග නැහැ. තියෙන්නෙ එක මාර්ගයයි. එය තමයි දැන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

2024 ලැබුවේ බංකොලොත්භාවයෙන් නිදහස් කරපු රටක් විදියට

දැන් 2024 ලැබුවේ බංකොලොත්භාවයෙන් නිදහස් කරපු රටක් විදියට. දැන් ශ්‍රී ලංකාවේ ගුමන් ගමන් බලපත්‍රය බංකොලොත් ගුවන් ගමන් බලපත්‍රයක් නොවේ, එය දැන් පිළිගත් රටක ගුවන් ගමන් බලපත්‍රයක් හැටියට පත් වෙලා තිබෙනවා.

ඒ නිසා අපි මේ යන ගමන් මග කවුරු හරි වෙනස් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන් රට අරාජික කළොත් ඒ කණ්ඩායම් ඒ වගකීම් බාර ගන්න ඕන. ඒ අය කවුද කියලා මහජනයා හොඳට හඳුනා ගන්න ඕන. “යනුවෙන් වජිර අබේවර්ධන විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

රනිල්ගේ පෙරගමන්කරු වජිර යාපනයට

ජනාධිපතිතුමාගේ යාපන සංචාරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ද යාපන දිස්ත්‍රික්කයේ විශේෂ සංචාරයක් පසුගිය බදාදා දිනයේ සිදුකළ අතර ජනාධිපතිතුමා යාපනයට පැමිණීමට පෙර සිදුකළ මෙම සංචාරයේදී උතුරු පළාතේ සියලුම දිසාපතිවරු, ආණ්ඩුකාරවරු ඉහළ රජයේ නිලධාරීන් මුණ ගැසුණි

ජ.වි.පෙ ට වෙන දේ නාමල් කියයි

සුපුරුදු පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ හමුව මෙම අවුරුද්දේද පැවැත්විය. ඒ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. මෙම රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද සහභාගි වී තිබිණි.

මුලින්ම මෙවර කතා කලේ එස්.එම් චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා මුහුණ දුන් සිද්ධිය පිළිබදවය.

“අපෝ බලපුවහම ඒක හෙන ලොකු සෙටප් එකක් කියලා පේනවා. කොහොමත් සියයට තුනේ පක්ෂෙට කරන්න පුළුවන් ඔයවගේ වැඩ කරන්න විතරයි. එසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. “ඔව් ඔව් ඒක ඇත්ත මම බැලුවම ඕක මුලින්ම දාල තිබ්බෙ ඔය සියයට තුනේ පක්ෂයේ පේජ් එකක“ මන්ත්‍රීවරයකු පැවසුවේ සිනාසෙමිනි.මම බැලුවා මේකෙ ශෙයාර් එහෙම එච්චර ගිහිල්ලත් නිතරම මුහුණු පොතේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.“ඔව් ඔව් මඩ බලකායට පඩි අනුර ගෙවලා නැතිව ඇති“ නාමල් කීවේ සිනාසෙමිනි. මේ වගේ වැඩ සංවිධානාත්මකව කරන එක වළක්වන්න සූදානම් වෙලා ඉමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division