Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ජනප්‍රිය ලේඛක ප්‍රදීප් කුමාර බාලසූරියගේ අවසන් කටයුතු ඉරිදා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ජනප්‍රිය ලේඛක ප්‍රදීප් කුමාර බාලසූරියගේ අවසන් කටයුතු ඉරිදා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ජනප්‍රිය ලේඛක ප්‍රදීප් කුමාර බාලසූරිය ගේ අවසන් කටයුතු 07 වැනිදා ඉරිදා සවස 4.00ට ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

වසර 1960 මාර්තු මස 28 වැනිදා උපත ලැබූ ප්‍රදීප් හදිසි රෝගී තත්ත්වයකින් මිය යන විට 64 වැනි වියෙහි පසු විය. කොළඹ මහානාම විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ප්‍රදීප් දවස පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ඇරඹීය.

දිවයින පුවත්පතේ ද මාධ්‍යවේදියකු ලෙස කලක් කටයුතු කළ හෙතෙම ලාංකේය පුවත්පත් රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ කුමරි, අරලිය, සඳරේණූ වැනි යෞවන පුවත්පත් හරහාය. ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර විසින් ඇරඹි අරලිය පුවත්පතේ ප්‍රධාන කර්තෘත්වයට පත් ප්‍රදීප් ඒ හරහා නවක ලේඛක ලේඛිකාවන් රැසකට ඉදිරියට එන්නට අත දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. සරසි, රැජණි, සඳ රේණු ආදි පුවත්පත්වල ද කලක් සේවය කළ ඔහු පසුව ඉමේජ් ෆ්ලස් නම් තමන්ගේම දැන්වීම් ආයතනයක් පවත්වාගෙන ගියේය.

‘පුංචි සේපාලිකා, ආදරයේ භාෂා, ඔබටත් දිනිය හැක, ප්‍රේමය ලෙන්ගතුය, අසාමාන්‍ය සිතක හැඩරුව, ආදි වශයෙන් ඔහු ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව 81කි. ඒ අතර නවකතා 22, ධනාත්මක චින්තනය කෘති 36ක්, ධර්ම ග්‍රන්ථ 10ක්, පරිවර්තන නවකතා 6ක් චරිත කතා 7ක් යන කෘති වේ.

වාසනා ලියනාරච්චි සමඟ 1990 යුග දිවියට පිවිසි ප්‍රදීප් ගීත ගණනාවක්ද ලියා ඇත. ඒ ගීත අතර ස්වර්ණලතා කවීෂ්වර ගායනා කරන “තනි නොකරන්න මා කඳුළු සාගරේ…“ ගීතය ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ද වේ.

ප්‍රදීප් කුමාර බාලසූරියගේ දේහය ගම්පහ, පහළගම, පැරකුම් පෙදෙස අංක 53/ F නිවසේ 7 වැනිදා ඉරිදා පස්වරු 2 තෙක් තැන්පත් කර ඇත.

(ඉනෝකා සමරවික්‍රම)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division