Home » ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය නැවතත් ඩයලොග් ආසිආටා වෙත

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය නැවතත් ඩයලොග් ආසිආටා වෙත

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සම්පාදක‍යකු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී දේශීය සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කුසලතා පෝෂණය කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණින් සිය නොසැලෙන කැපවීම විදහාපාමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස නැවතත් එක්ව සිටී.

ජාතියේ ක්‍රීඩාශීලීත්වය බලගැන්වීම පිළිබඳ දශකයට අධික ඉතිහාසයක් ඇති ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සිය හවුල්කාරීත්වය දීර්ඝ කරගන්නේ මෙරට ක්‍රීඩාවේ අංක එකේ ප්‍රවර්ධකයා ලෙසිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ, ශ්‍රී ලාංකේය ජාතියේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඩයලොග් ආසිආටා විසින් ලබා දෙන නොමඳ දායකත්වය ඉහළින්ම අගය කරන බවය.

ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ශක්තිමත් සබඳතාව තවදුරටත් පෙරට රැගෙන යෑමට හැකි වීම ඉමහත් ආඩම්බරයක් බවත් ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සන්නාමය බවට ඩයලොග් ඔසවා තැබූ, මිලියන17කට අධික ගෘහස්ථ හා ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසනීය ඩිජිටල් සහකරු ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ විශිෂ්ටත්වයක් වෙත රැගෙන යෑම වෙනුවෙන් දායක වීමට ලැබීම සුවිශේෂී වරප්‍රසාදයක් බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සහජීවනය සපිරි හවුල්කාරීත්වය, ප්‍රේක්ෂකයන්ට අගනා අත්දැකීම් හා වටිනාකම් දායක කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වන ඒකාබද්ධ කැපවීමට ශක්තිමත් සුසංයෝගයක් වන බවය.

වර්ෂ 1996 එක්දින ලෝක කුසලාන සහ 2014 අයි.සී.සී පන්දුවාර 20 ලෝක කුසලාන සමඟින් දෙවරක් ලෝක ශූරයන් බවට පත්ව සිටින ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2022 කුසලාන සමඟ 1986 සිට මේ දක්වා හය වරක් ආසියානු ශූරයන් වීමට සමත් විය. ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු මෙන්ම ඊ- ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හී මෙන්ම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උලෙළ බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. එමෙන්ම ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව සමග ද සමීපව කටයුතු කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division