Home » මහ මිසදිටුවාගෙන් බොරු බණ අසා මැදියම් රැයේ විස ප්‍රතිපදාව සරණ යන පුංචි මිසදිටුවෝ

මහ මිසදිටුවාගෙන් බොරු බණ අසා මැදියම් රැයේ විස ප්‍රතිපදාව සරණ යන පුංචි මිසදිටුවෝ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

– නාවල ව්‍යාපාරිකයෙක් ලක්ෂ 60ක් දීලා
– හෙට්ටිපොල උපන් මිසදිටුවා පළමු විවාහයෙනුත් වෙන් වෙලා
– ලක්ෂ තුනක් දී හදපු සුරයේ ඇතුළ හිස්

ලින් කලට හතු පිපෙන්නාක් මෙන් අන්තවාදී මෙන්ම මිථ්‍යා මතවාදී අදහස් පතුරන්නන් විවිධ ආගම් උගසට තබමින් සමාජයෙන් කල එළි බසිති. මෙවැනි සිද්ධීන් අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවලින් අඩු වැඩි වශයෙන් අසන්නට දකින්නට ලැබුණු කතාන්දරයි. යහපත් සමාජයක මිථ්‍යාව පතුරමින් මිනිසාගේ අධ්‍යාත්මයට බොරුව කිදා බැස්සවමින් කටයුතු කරන මේ සංවිධානාත්මක කල්ලි හෝ පුද්ගලයන් නොයෙක් නම්වලින් එළියට විත් මුළු මහත් සමාජයටම වින කටිති.

ජපානයේ ‘ෂොකෝ අසහාරා’ ද එවැන්නෙකි. මිත්‍යා මතවාදය ආගම්වාදයට හරවා ගනිමින් සමාජයේ නොයෙක් පිරිස් තම මතයට නතුකර ගනිමින් කටයුතු කළ මොවුන්ගේ අවසානය වූයේ අභාග්‍ය සම්පන්න මරණයකින් කෙළවර වීම පමණි. එයින් ලොවට ලැබූ දෙයක් නැත. 1995 වසරේ ජපානයේ තෝකියෝ උමං මාර්ගයට සෙරීන්’ නමැති විස වායුව එල්ල කළ මේ නිකාය නායකයා, එමඟින් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත් කර ඇති අතර හයදහසකට වැඩි පිරිසක් රෝගාතුර කරවීය. අවසානයේදී ඔහුට සහ ඔහුගේ අනුගාමිකයන් 6 දෙනකු එල්ල මරා දැමීමට එරට අධිකරණය තීරණය කර තිබිණි.

ෂෝකෝ අසහාරාගේ ඉතිහාසයට යන්නට කලින් මෙවැනිම මිථ්‍යාවක නියුතු වූ අපේ රටේ හිටි ‘මොහොමඩ් සහ්රාන්’ ගැන මෑත කාලයේදීම අපට මහඟු උදාහරණ සපයයි. ‘සහරාන් පන්නයේ’ තවත් කෙනෙක් ගැන මේ නව වසර ආරම්භයේදීම අපට අසන්නට ලැබුණි. ඔහු නමින් රුවන් ප්‍රසන්න ගුණරත්නය. අද ඔහුත් නැත. ඔහුගේ බිරියත් දරුවන් තිදෙනාත් මෙලොව හැරදා ගොසිනි.

විස රසායනික ද්‍රව්‍යයක් ශරීර ගතවීමෙන් මොවුන් සිවුදෙනාම මරණයට පත්ව ඇති බවට පොලිසිය කරුණු සොයා ගත්ත ද, එම විස වර්ගය කුමක්ද යන්න තවමත් රජයේ රස පරීක්ෂකවරයා දන්වා නැත. මාකුඹුර මහල් නිවාස සංකීර්ණයකදී ඉකුත් 28 වැනිදා රාත්‍රියේදී මේ කියනා විස වර්ගය ශරීරගත කරගත් රුවන් සිය දිවි නසා ගත්තේය. පසුව ඔහුගේ දේහය තැන්පත් කර තැබීමට පවා තැනක් නොමැති වූ කල ඔහුගේ සහෝදරයාගේ නිවෙස පිහිටි මාලබේ ප්‍රදේශයට රැගෙනැවිත් තිබූ රුවන්ගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකර තිබුණේ ඉකුත් 30 වැනිදාය. එදින රාත්‍රියේ එම නිවෙසේ කාමරයකට ගොස් දොරවසා ගත් රුවන්ගේ බිරියත් දරුවන් තිදෙනාත් මෙලොව හැරදා ගොස් තිබුණේ ද විස වර්ගයක් ශරීර ගත කර ගනිමිනි. මේ සිද්ධියත් සමඟ මොවුන්ගේ කල්ක්‍රියාව සම්බන්යෙන් විමර්ශනය කළ පොලිසිය සොයා ගත්තේ මොවුන් යම් ආගමික මිථ්‍යා කල්ලියක කොටසක් බවය. සිද්ධිය එළියට එන්නේ මේ සිදුවීමත් සමඟය.

1977 වසරේ කුරුණෑගල හෙට්ටිපොල ප්‍රදේශයේ උපත ලැබූ රුවන් ප්‍රසන්න, භාවනා සහ ගුප්ත විද්‍යාව පිළිබඳව වැඩසටහන් සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ බව ඔහුගේ ඥාති මිතුරෝ පවසති. භාවනා වැඩසටහන්වලට දිගින් දිගටම එක්වූ මොහුට ගාල්ල ප්‍රදේශයේ පැවැති ‘සදහම් සරණ’ නමින් භාවනා වැඩසටහනක් පැවැත්වූ නිතීඥ නිලන්ත හෙට්ටිගේ මුණ ගැසී තිබුණි. ඒ 2011 වර්ෂයයි. කාලයත් සමඟ නිලන්ත හෙට්ටිගේ ගේ භාවනා වැඩසටහන්වල ඉදිරියෙන්ම සිටි ගෝලයකු බවට පත්වන්නට රුවන්ට හැකියාව ලැබිණි.

“මේ භාවනාවෙන් මට ගොඩක් දේ ලැබුණා. මට ලැබුණ ආධ්‍යාත්මික බලය ගැන මට කියන්න කරුණු නැහැ. ඒක ඒතරම්ම ප්‍රබලයි. මට අදෘශ්‍යමාන බලවේග එක එක දේවල් කියනවා.” රුවන් නිතර නිතර නිලන්ත මුණ ගැසී කිව්වේ එලෙසිනි.

ඔහු දිගින් දිගටම කියන මේ කාරණා හේතුවෙන් භාවනාවේ අනුහසින් මේ තැනැත්තා යම් අග්‍රඵලයකට පත්වූවාදැයි ඇතැම් අවස්ථාවල නිලන්ත ද සිතන්නට ඇත. ඒ වන විට විවාහකයකු ව සිටි රුවන්, සිය බිරියගෙන් වෙන්වීමට සූදානම් වෙමින් සිටියේය. මේ භාවනාවත් ගුප්ත විද්‍යාවත් හේතුවෙන් ඔහු එම බිරියත් ඔහු වාසය කළ ගේදොරත් දමා පොලොන්නරුව ප්‍රදේශයට සංක්‍රමණය වන්නේ සිය දෙවැනි විවාහයත් සමඟය. පසුව පොලොන්නරුව පදවිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා අබේරත්න නමැති 31 හැවිරිදි කාන්තාව සමඟ දෙවැනි වරට විවාහ වූ රුවන් ගැහැණු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවකුගේ පියා විය. බාහිර සමාජය සමඟ කෙළින්ම විවෘත නොවී ජීවත් වූ මොවුන්ගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් රුවන්ගේ සහෝදර සහෝදරියන් පවා සිටියේ නොසතුටෙනි. මේ හේතුවෙන්ම රුවන් ප්‍රසන්න සිය පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම බිරියගේ සහෝදර සහෝදරියන්ගෙන් ද වෙන්ව තනිව ජීවත් වෙමින් සිටියේය. එසේම දරුවන් තිදෙනාට පාසල් අධ්‍යාපනය ලබා නොදී නිවෙසේ සිට ඔන්ලයින් මඟින් අධ්‍යාපනය ලබාදීමට රුවන් සහ ඔහුගේ බිරිය කටයුතු කර තිබිණි. මෙවැනි ක්‍රියාවක් අප මොහොමඩ් සහ්රාන්ගේ අනුගාමිකයන් තුළින්ද අත්වින්දෙමු. ඔවුහු ද සිය දරුවන් පාසල් වෙත නොයැවූහ.

2013 වර්ෂයේදී ගාල්ල රූමස්සල කන්දේදී පැවැත්වූ දේශනයකට සහභාගි වූ රුවන්, ‘සදහම් සරණ’ නිර්මාතෘ නිලන්ත හෙට්ටිගේ ඇතුළු පිරිසකට සඳහන් කර තිබුණේ, තමන්ට ලැබුණු මේ මහා බලසම්පන්න බලය හේතුවෙන් අහිංසක ජනතාවට සේවයක් කිරීමට සුදානම් වන බවකි. කෙසේ වෙතත් ඒ වන විට යම් යම් පුද්ගලයන්ට අධ්‍යාත්මික වශයෙන් ලෙඩදුක් සුවකිරීම, යන්ත්‍ර මන්ත්‍ර සිදුකිරීම ආදී දේ කියමින් රුවන් වෙනස්ම ගමනකට යොමුවී ඇති බවට මේ සදහම් සරණ’ සංවිධානයේ අයවලුන්ට දැනගන්නට ලැබී ඇත.

‘ඔය යන ගමන ඒ තරම් හොඳ නැහැ. ඔයා එක එක දේවල් කරලා දෙනවා කියලා එක එක ප්‍රතිලාභ අරගෙන තියෙනවා. අපේ භාවනා වැඩසටහන්වලින් එහෙම දේවල් වෙන්නේ නැහැ. ඕවා වස් වදින වැඩ. බුද්ධ දර්ශනය අනවශ්‍ය ආකාරයෙන් අවභාවිත කරන්න එපා” මේ පිරිස රුවන්ට පවසා තිබිණි. රුවන් තනිවම ගමනක් යන්නට පටන් ගෙන තිබුණේ 2014 වර්ෂයේ පටන්ය.

තමන් භාවනා වැඩසටහන් ඉගෙන ගත් ‘සදහම් සරණ’ යන නම භාවිත කරමින් ඉදිරියට ගමනක් යන්නට අත්පොත් තැබූ රුවන් ප්‍රසන්න, ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් බුදු දහම සම්බන්ධ දේශන පවත්වන්නට පටන් ගත්තේය. එම ප්‍රදේශවල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා හමුවී බුදු දහමේ අනිත්‍ය බව සම්බන්ධයෙන් දේශනා පවත්වන්නට තමන්ට අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින් රුවන් ඉලක්ක කර ගත්තේ පෝදා සිල් සමාදන් වන සිල් ඇත්තන්ය. වරක් රුවන්ගේ දේශනයක් අසන අයෙක් වෙත්නම් දෙවැනි තුන්වැනි අවස්ථාවල ද ඔහුගේ දේශනවලට එන්නේ එතරම්ම මිනිසුන් ඇද බැඳ ගැනීම සඳහා හදවත් ස්පර්ශ කරන මුඛරි කතා විලාසයක් ඔහු සතු වීම හේතුවෙනි. තමා ජීවත් වන පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයේත්, ගාල්ල හබරාදූව, දෙහිඅත්තකණ්ඩිය, රත්නපුර මොරහැල, නුවරගල, අම්පාර, මහියංගණය, ගම්පහ, මාළබේ ආදී ප්‍රදේශවල මෙම දේශන පවත්වා ඇති රුවන් ඉතාමත් සුහදශීලීව සංවාද ස්වරූපයෙන් යුක්තව මේවා සිදුකර ඇත.

“සසර හිටියා හෝ නොසිටියත් මේ බවයේදී අපි ආයේ මැරෙනවා. පින් කරලා අපි ප්‍රාර්ථනා කළාට සසර අයින් වෙන්න කියලා එහෙම වෙයිද? අපට අපේ අවසානය කළමනාකරණය කරගන්න බැරි වුණොත් අපිටත් වරදියි. අපිව බේරා ගන්නේ කවුද? මේ ආත්ම භවය සසර සුවපත් කර ගැනීමට බාධා එල්ල වී ඇති බැවින් ඊළඟ ආත්ම භවයේදී ඉතා හොඳ ආත්මයක් ලබා ගැනීම නම් නික්ම යා යුතු හොඳම කාලය මෙයයි” ගාල්ල ප්‍රදේශයේ දේශනයකදී ඉකුත් දෙසැම්බර් මස 26 වැනිදා සදහම් සරණ වැඩසටහනකදී මොහු සිය දේශනයේදී එලෙස පවසා තිබුණි.

“සබ්බං පහාය ගමනීයං – සියල්ල හැරදා යා යුතුය”. “රැස් කරන්නකු නොව හිස් කරන්නකු වන්න”, “භවය කෙටි කරගන්න අපට කතා කරන්න”, “යන පාර වෙනස් කරගන්න අපිට කතා කරන්න” යැයි කියමින් ‘සදහම් සරණ’ නමින් මුහුණු පොතේ ෆේස් බුක් පිටුවක් ආරම්භ කර ඇති මොහු එහි දුරකතන අංක පවා යොදා ඇති අතර එම පිටුව නරඹා ඇති, එයට කැමැති සහ ප්‍රතිචාර දැක්වූ පිරිස දහහතර දහසකට අධික ය. මෙම ෆේස්බුක් පිටුවේ නිර්මාතෘ මේ වන විට විදෙස්ගතව සිටියත් එය තමාගේ හිතුමනාපයට පරිහරණය කරමින් සිට ඇත්තේ මෙකී රුවන් නමැතැත්තාය.

තමන්ට අමුතු ආකාරයෙන් ගුප්ත බලයක් ලැබීමත් සමඟම පොළොව යට ඇති මැණික් සහ නිදන් සම්බන්ධයෙන් පෙනෙන්නට ගත් බවත්, තමන් ‘දියසෙන් කුමාරයා’ වන අතර තම පුත්‍රයා එක්තරා භවයක ‘රාවණා’ බවත් කියමින් ඔහුගේ අනුගාමිකයන්ට දේශනා ලබාදී තිබූ බවට ද දැන් දැන් කරුණු හෙළිවෙමින් ඇත. තමන් අනාගත ජපන් අධිරාජ්‍යයා ලෙසින් අසහාරා තම දේශනවලදී නිතර නිතර කියුවා සේ, තමන් 2024 වර්ෂයෙදී දියසෙන් කුමාරයා ලෙසින් මේ රටේ පාලනය අතට ගන්නා බවත් 2047 වසරේදී තම පුත්‍රයා මේ රටේ පාලකයා වන බවත් රුවන් විවිධ අවස්ථාවල පවසා ඇත.

සියදිවි නසාගත් රුවන් සහ ඔහුගේ පවුලේ අයවලුන් ගැන සොයමින් සිටින පොලිසියේ විමර්ශකයන් මාලබේ නිවෙසේ පැවැති රුවන්ගේ බිරියගේ අවමඟුලට මෙන්ම රුවන්ගේ අවමඟුලට සහභාගී වූ පිරිස් ගැන සොයන්නට පටන් ගත්හ. ඒ අනුව මාලබේ පොලිසිය පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ ගනිමින් සිටියේය. මේ අතර මුලින්ම මාලබේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් පුද්ගලයා වූයේ අම්බලන්ගොඩ වතුගෙදර පදිංචි 34 හැවිරිදි ගෝමස් නමැති තරුණයා ය. මොහු රතුපාට කාරයකින් පැමිණ ඉතාමත් කලබලයෙන් යුතුව රුවන්ගේ අවමඟුල් නිවෙසේ කටයුතු කළ බව විමර්ශකයන් දැක ඇත. මොහු වසර හතරක පමණ කාලයක සිට රුවන්ගේ දේශන සඳහා සහභාගී වී ඇති අතර, ඔහු කරගෙන ගිය සදහම් සරණ සංවිධානයේ සම්පූර්ණ වැඩසටහන් මෙහෙයවා ඇත්තේ මෙම පුද්ගලයාය.

යක්කල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමඟ පෙමින් වෙළි සිටි මොහු සිය පෙම්වතිය ද සමඟ රුවන්ගේ දේශනවලට සම්බන්ධ වී තදින්ම ඊට ගැලී සිට ඇති බවට පොලිසියට කරුණු හෙළිවී ඇත. අවසානයේදී මහරගම දුම්රිය පොළ මාර්ගයේ ලැඟුම්හලකට පැමිණ පැය කිහිපයක් සඳහා කාමරයක් වෙන්කරවා ගනිමින් ඔහු ඒ තුළට ගොස් සියදිවි හානි කරගෙන තිබිණි. ඒ ඉකුත් 02 වැනිදාය. එදිනම යක්කල පදිංචිව සිටි ඔහුගේ පෙම්වතිය ද කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශරීරගත කරගනිමින් මියගොස් තිබිණි. එම තරුණියගේ දෙමාපියන් පවසන්නේ තම දියණියන් දෙදෙනාම රුවන් නමැත්තාගේ දේශනවලට සහභාගි වී ඇති අතර, සියදිවි නසා ගැනීමට තරම් කරුණක් එයින් සිදු නොවූ බවය. කෙසේ වෙතත් රුවන්ගේ කල්ක්‍රියාවෙන් පසු අහිමි වූ ජීවිත ගණන ඔහුත් ඇතුළුව හත් දෙනෙකි.

මෙහි අලුත්ම තත්ත්වය වාර්තා වූයේ ඉකුත් 04 වැනිදා පෙරවරුවේදීය. රුවන් ගුණරත්නගේ දේශනාවලට තදින්ම අනුගත වී සිටි පොළොන්නරුව සිරිපුර පලුදෙණියේ පදිංචිව සිටින 26 හැවිරිදි සසිදු අමල්ක විමලරත්න නමැති තරුණයා සියදිවි හානිකර ගැනීමට ගත් උත්සාහයයි. මෙම තරුණයාට රුවන්ව මුලින්ම හමු වෙන්නේ ඔහු 2016 වසරේ එක්තරා දිනෙක පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පැවැත්වූ දේශනයකදීය. එම දේශනයේදී රුවන්ගේ වශීකෘත වූ වචනවලට ඇදී ගිය මේ තරුණයාට ඔහුගේ අනුගාමිකයකු වීමට වැඩි කලක් ගත වී නැත.

රුවන් හා ඔහුගේ දරු පවුලත් මියගිය තරුණයා හා තරුණියත් අසධ්‍යව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාත් ඇතුළු මේ සියලු දෙනා සියදිවි නසා ගන්නේ ඊට උත්සහයක් දරන්නේ මහ රෑ මැදියමේදීය. එය මේ මිසදිටුවා සිය දේශනතුලදී ඔවුන්ගේ මනසට කාවැද්දු මතවාදයේ කොටසක් වන්නටද බොහෝදුරට ඉඩ තිබේ.

මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සසිඳු, විවාහක එක්දරු පියකු වන අතර සිරිපුර ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ගල්මෝලක හිමිකරුවකුගේ පුත්‍රයකු වන බව ද පොලිසිය කියයි. රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අවමඟුල යෙදී තිබුණු දා ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් සහ ඔහුගේ බිරිය ද සමඟ මාලබේ ප්‍රදේශයට ගොස් රුවන්ට අවසන් ගෞරව දක්වා ඇති මෙම තරුණයා එතැන් සිට ගෙවුණු දින හතරක කාලයක් ගෙවා දමා ඇත්තේ කල්පනා කරමින් බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසයි. 03 වැනිදා රාත්‍රියේ බිරිය සහ දරුවන් සමග රාත්‍රී ආහාර ලබාගෙන ඇති මොහු 04 වැනිදාට එළිවෙන පාන්දර නිවෙසින් එළියට ගොස් කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

රුවන් මිය යන්නට මත්තෙන් පොලොන්නරුවේ පිහිටි සිය ගේදොර ඉඩකඩම් විකුණා දමා මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයකට පදිංචියට එන්නේ පවුල පිටින්ම විදෙස්ගත වන්නට සිතාය. රුපියල් ලක්ෂ එකහාමාරක මාසික කුලී පදනම මත එම සුඛෝපභෝගී මහල් නිවාසයේ නිවෙසක් ලබාගන්නා රුවන් රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මාසික කුලියකට විසල් වර්ගයේ මෝටර් රථයක් ලබාගෙන තිබුණේ මාලබේ ප්‍රදේශයේ කුලී රථ ලබාදෙන ආයතනයකිනි. ඒ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ සිටය.

මොහුට මේ ආකාරයෙන් ධනය ලැබෙන්නේ කෙසේද? මේ රටේ විවිධ පුද්ගලයන්ගේ අසරණභාවය හොඳින් හඳුනා ගන්නා රුවන් ඒ පිළිබඳව ඔවුන්ට පිහිට වන බව කියමින් මේ සා විශාල ධනයක් උපයා ගෙන ඇති බවට ද කරුණු දැන් දැන් හෙළි වෙමින් පවතින බව පොලිසිය කියයි. රුවන්ගේ අවමඟුල පැවැති අවස්ථාවේදී මාලබේ පිහිටි නිවෙසට පැමිණි පුද්ලයන් අතර ඉතාමත් ධනවත් උදවිය මෙන්ම විශේෂයෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති බවට කරුණු හෙළිවිණි. ඇතැමුන්ට යන්ත්‍ර මන්ත්‍ර කරදීමට මෙන්ම සුර දැමීමට යැයි පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති රුවන්, කියූ පරිද්දෙන් ඒවා ඉටු නොකිරීම හේතුවෙන් උරණව සිටි පිරිසක් ද එම අවමඟුලට සහභාගි වී සිටි බව කියති.

ඇතැම් අවස්ථාවලදී නැවත ලබාදෙන බව පවසමින් රුවන් කිහිප දෙනෙකුගෙන්ම විශාල වශයෙන් ණය ලබාගෙන ඇති බව ද සඳහන් වන කරුණකි. කෙසේ වෙතත් දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් මෙන්ම තමන්ගෙන් ලබාගත් මුදල් ආපසු ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ ඇතැම් පිරිසක් පොලිසියට ගොස් මේ බව පැමිණිලි කරන බවට රුවන් කියා ඇති බවත් මේ හේතුවෙන් ඔහු සිය දිවි නසා ගන්නට ඇති බවත් මළගෙදරට සහභාගී වූ ඇතැමුන්ගේ කතා බහේ මාතෘකාව වී ඇත. දරුවන් නොලැබෙන අය සඳහා විශ්ව ශක්තියෙන් දරුවන් ලබා දීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 50ත් 60ත් අතර මුදල් ලබාගෙන ඇති රුවන් ඒ සඳහා වන ශාන්තිකර්ම සිදු නොකර සිට ඇති බවට ද කරුණු අනාවරණය වෙමන් පවතින බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් ඇතුළු හය දෙනෙකු පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත.

“රුවන් මහත්තයා එක්ක මම හිතවත් වුණේ මම මහණ වෙන්නටත් කලින් ඉඳලා. ඒ කියන්නේ 2012 විතර කාලේ ඉඳලා. අපේ ගමේ වගේම අනුරාධපුරේ ගාල්ලේ වගේ තැන්වල ධර්ම සාකච්ඡා සඳහා මම සහභාගී වෙලා තිබෙනවා. රුවන් මහත්තයා හොඳ බෞද්ධයෙක්. ඒත් මේ වගේ දෙයක් කරගත්තේ ඇයි කියන ගැටලුව තිබෙනවා.’ එම ස්වාමීන් වහන්සේ පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ එසේය.

යක්කල ප්‍රදේශයේ මරණයට පත් තරුණියගේ සහෝදරයා ද පොලිසියට සිය ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර ඇත්තේ රුවන් යන අය හොඳ පුද්ගලයකු වන බවත් ඔහුගෙන් බෞද්ධාගම සම්බන්ධයෙන් විශාල දැනුමක් තම සහෝදරිය ලබාගෙන තිබූ බවත්ය.

පොලිසිය ප්‍රශ්න කර සිටි නාවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සඳහන් කර තිබුණේ තමන් රුපියල් ලක්ෂ 60ක මුදලක් රුවන් යන අයගේ ආගමික කටයුතු වෙනුවෙන් පූජා කළ බවකි. “මම රුවන් මහත්තයාගේ දේශනවලට සහභාගි වුණා. මම බෞද්ධයෙක් වශයෙන් ඔහු කරගෙන ගිය වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඒ වගේම පින් තකා මේ සල්ලි දුන්නේ. ඔහු මට ශාන්ති කර්ම කළා. ඇත්තටම මගේ ව්‍යාපාර හිතුවටත් වඩා දියුණු වුණා. ඒ නිසා තමයි මම මේ සල්ලි පිනට දුන්නේ.” ඔහු පොලිසියට පවසා ඇත්තේ එලෙසිනි.

රුවන්ගේ දේශනවලට සහභාගි වූ තවත් ව්‍යාපාරිකයකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර, “රුවන් මහත්තයා මට කිව්වා ඔයාට ලොකු අපලයක් තියෙනවා ඒක දුරු කරලා දෙන්න මට පුළුවන්. රුපියල් ලක්ෂ තුනක් විතර යනවා සුරයක් දාලා දෙන්නම් කියලා. එයා කිව්ව දේවල් සමහර ඒවා ඇත්ත. ඒ නිසාම මම එයාට සල්ලි දීලා සුරයක් හදා ගත්තා. මම මැරෙනවා කියලා එයා කිව්වේ. මම එයාගේ දේශනවලට සහභාගී වුණා. හිතට සහනයක් ලැබුණා. නමුත් දවසක් මම සුරේ ගලවලා බැලුවා. ඒකේ මුකුත්ම තිබ්බේ නැහැ. මම එයා ළගට ගිහින් ඇහුවා ඇයි මට බොරු කළේ මේ සුරේ ඇතුළේ මුකුත් නැහැනේ කියලා. එතකොට එයා කිව්වා “මම සෝවාන් වෙලා ඉන්නේ. ඔයා මුකුත් අහන්න එපා. ඔයාට පව් පිරේවි කියලා.” එදායින් පස්සේ මම එයා ළඟට ගියේ නැහැ. එයාගේ මොළේ අවුල් කියලා මට හිතුණා’ යැයි එම ව්‍යාපාරිකයා පොලිසියට සිය ප්‍රකාශය ලබා දෙමින් පවසා ඇත.

කලින් කලට එන මේ සහරාන් පන්නයේ ආගම්වාදී මිත්‍යා මත පතුර වන ව්‍යාජ මිනිසුන් නිසා අද වන විට සමාජය ඉතාමත් අභාග්‍යසම්පන්න කාලයක් උදා වී තිබේ. මේ රටේ ඇතැම් ජන කොට්ඨාසයක් එවැනි අය ඉහ උඩින් තබා පිළිගනිති. ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ ඇති මහින්ද කොඩිතුවක්කු නමැත්තකු තමන් අවලෝකීතේෂ්වර බෝධිසත්වයකු යැයි හඳුන්වා දුන් බවත් ඉකුත් පළමුවැනිදා කිසියම් පිරිසක් එම පුද්ගලයාව ගුවන්තොටේදී බෙර ගසමින් පිළිගෙන ඇති බවත් වන මාධ්‍ය වාර්තා අප දිටිමු. මේ තරම් දියුණු බුදු දහමකින් සැදී අපේ රට යන්නේ කොතැනකද?

“සදහම් සරණ” නම් රුවන් විසින් ගෙන යනු ලැබූ එම ෆේස්බුක් ගිණුමේ අවසන මෙසේද සටහන්ව තිබුණි. සුවහසක් ජනයාගේ නෙත් විවර කළ පෘථිවිය මත කළ සදහම් සරණ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන 2023 දෙසැම්බර් මස 26 දින නිමා කළ අතර එහි නිර්මාතෘ පෘථිවි තලයෙන් සදහටම නික්මී ගියහ. සදහම් සරණ ඔබ මතකයේ සදා රැඳෙනු ඇත. ඔහු කියා දුන් ධර්ම කරුණු කාරණා තවකෙකු සසර ගමනින් එතෙර කරනු පිණිස යොදා ගන්නා ලෙස සදහම් සරණ අප ඉල්ලා සිටිමු.” පොලිසිය දැන් වහා ක්‍රියාත්මක වී සිටින්නේ මේ ‘අප’ යනු කවුරුන්දැයි සෙවීමටය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බුදු දහමට අනුව විවර බුද්ධියෙන් යුතුව ජීවත් වන්නේ නම් අපට කිසිදා රුවන් වැන්නවුන්ගේ මේ මිත්‍යාවෙන් වැසී ගිය දේ ගැන කිසිදා අසන්නට නොලැබෙනු ඇත.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division