Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

බුද්ධදාස ගලප්පත්තිගේ ගිරි හිස සිට

කාව්‍ය සංග්‍රහය ජනවාරි 09 දා ජනගත වේ
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශන
මිල – රු 400 / පිටු – 72

බුද්ධදාස ගලප්පත්ති කවියාගේ දොළොස්වන කාව්‍ය සංග්‍රහය ගිරි හිස සිට ජනවාරි 09 දා අඟහරුවාදා මහවැලි කේන්ද්‍රයේදී පස්වරු 2.30ට ජනගත වේ. මෙහිදී ‘කවි ලියන, ලියැවෙන මේ මොහොත‘ නමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක අදහස් දැක්වීමෙන් එක්වෙන අතර, නූතන කවියේ කවි මිහිර මැයෙන් සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය ද සිය අදහස් දැක්වීමට නියමිතය. මෙහි සහෘදය ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටි සමඟින් තනූජා ජයවර්ධන විසිනි.


බලයට එරෙහිව විනාශය මතින් යළි උපන් ‘ෆීනික්ස්’

කෘතිය – ෆීනික්ස්
කර්තෘ – සොනාලි ප්‍රේමරත්න
ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශන
මිල – රු 1250 / පිටු – 295

මීට පෙර ස්වප්න සේයා කෘතිය රචනා කළ සොනාලි ප්‍රේමරත්නගේ නවතම නවකතාව ‘ ෆීනික්ස් ‘ ය. ඇය සිය නවකතාව අර්ථ දක්වා ඇත්තේ බලයට එරෙහිව විනාශය මතින් යළි උපන් ‘ෆීනික්ස් ‘යනුවෙනි. කතුවරිය පවසන්නේ මෙලොව ජීවත්වන සියල්ලන්ගේම ජීවිතවලට හුස්ම පිඹින්නේ සහ බලාපොරොත්තු ගෙන දෙන්නේ ප්‍රේමය වුවද බලය ඊට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයක් නිර්මාණය කරන බවයි. බලය නිසාවෙන් මිනිසුන් විනාශය ළඟා කර ගන්නා අතර, ප්‍රේමය බලයේ ගොදුරක් බවට පත් වූ කල්හි කුමක් වන්නේ දැයි කතුවරිය ප්‍රශ්න කරන්නීය. රශිනි නම් චරිතය හරහා ඇය මෙම කෘතිය පුරාවට විග්‍රහ කරන්නේ ප්‍රේමය බලයට වඩා බලවත් වන බවය. අපිට සමීප චරිත හරහා මේ කතා පුවත මනාව ගොනු කර ගැනීමට කතුවරිය සමත් වී ඇත.


කෘතිය – නියං කොස්ස 


කර්තෘ – පියසිරි කොඩිතුවක්කු
ප්‍රකාශනය – සීමාසහිත ස්වභාෂා ප්‍රකාශකයෝ
පිටු – 60

ජාතික පොත් සංස්ථාව විසින් යුනෙස්කෝ සංවිධානයේ ආධාර ඇතිව 1964 වර්ෂයේ පවත්වන ලද ළමා හා යෞවන පොත් රචනා තරගයේ හොඳම කෘතීන් ලෙස තෝරාගෙන ත්‍යාග පිරිනමන ලද පොත් නවයක් නැවත මුද්‍රණය කොට ප්‍රකාශ කිරීම සීමාසහිත ස්වභාෂා ප්‍රකාශකයන් අතින් සිදුවන අතර, පියසිරි කොඩිතුවක්කුගේ නියං කොස්ස කෘතිය ඉන් එකකි. මෙය ඔහුගේ තෙවැනි කෘතියයි.


‘හදසර’ සත්‍ය කතාවක් ද ? 

එසේ නොවන්නේද නොවේ
කෘතිය – හදසර
කර්තෘ – සොනාලි ප්‍රේමරත්න
ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශන
මිල – රු 950 / පිටු – 200

‘හදසර’ සොනාලි ප්‍රේමරත්නගේ තෙවැනි කෘතියයි. “ අනුත්තර – ඉමන්දි “ චරිත දෙක හරහා මෙම කෘතියෙන් කතුවරිය කියන්නට උත්සහ ගන්නේ වෙන්ව ගිය සුවහසක් පෙම්වතුන්ගේ කතාවයි. සත්‍ය ප්‍රේමකතාවක් මන:කල්පිත නම් ගම් අනුසාරයෙන් කතුවරිය කියන්නට උත්සාහ ගන්නේ වෙන්ව ගියද ඔවුන් සදාකාලික පෙම්වතුන් ලෙස සිටින බවය. මෙම නවකතාවට හදසර යනුවෙන් ඇය ලඝුකර දැක්වූයේ හදවතේ ස්වරය යන්නය. සරල බස් වහරකින් ප්‍රේමය හා වියෝව අර්ථ දැක්වීමට කතුවරිය ගත් උත්සාහය සාර්ථක වී ඇත.


ගමනක අවසානය 


කෘතිය – ගමනක අවසානය
කර්තෘ- නීතිඥ ෆයිසාල් රශීන්
පිටු – 40

ගමනක අවසානය නම් වූ මෙම කාතිය මිල කළ නොහැකි කෘතියක් ලෙස කර්තෘ සිය විග්‍රහයේ දක්වා ඇත්තේ තමන්ගේ ජීවිතයේ විඳි මිල කළ නොහැකි අත්දැකීම් මෙහි දක්වා ඇති බැවිණි. කාලීන වැදගත්කමක් ඇති බොහෝ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත විග්‍රහ වන පරිදි සරල බසින් රචිත මෙම කෘතිය හරහා අතීතයේ තමන් මුහුණ දුන් අත්දැකීම් ඔහු සරලව විග්‍රහ කරයි. සුනාමි ව්‍යසනය සිදුවන විට තමන් වැඩබලන විනිසුරුවරයෙකුව සිටියදී ඊට මුහුණ දුන් ආකාරය, ලොව ප්‍රථම සුනාමිගම නිර්මාණය කිරීම, ගෙවල් කූලි මණ්ඩලයේ සභාපති ලෙස ආරම්භ කළ සරල ගමනේ සිට රටවල් ගණනාවක තානාතිපති ලෙස ගතකළ අත්දැකීම් අපූර්ව ආකාරයෙන් මෙහි කැටි කොට ඇත. සරල කථන බස යොදාගෙන තිබීම අගය කළ යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division