Home » සිකුරු ග්‍රහයාගෙන් පිහිට ලැබෙන ප්‍රබල වතාවත්

සිකුරු ග්‍රහයාගෙන් පිහිට ලැබෙන ප්‍රබල වතාවත්

by Mahesh Lakehouse
January 6, 2024 12:33 am 0 comment

– ජ්‍යොතිෂයේදී සිකුරු ග්‍රහයා හැඳින්වෙන්නේ ගුරු ළඟට සිටින සෞම්‍ය ග්‍රහයා ලෙසයි
– ශිව දෙවියන් සහ කාලි මෑණියන්ට දෙහි මාලා දමා කළ යුතු පුද පූජා

ජ්‍යොතිෂයේදී ගුරු ළඟට එන සෞම්‍ය ග්‍රහයා සිකුරු වන අතර එය ගුරුගේ පුත්‍ර සිකුරු ලෙස ව්‍යවහාර වේ. රූමත් බව, කෞෂල්‍යය, ප්‍රීතිය, ප්‍රේමය, යහපත් ගතිගුණ වාසනාවේ සුබ පල දීමේ මහා බලය සිකුරු බලවතුන්ට දී ඇති දායාදයන්ය.

විසිතුරු බඩු වෙළෙඳාම, රෙදි, රසායනික ද්‍රව්‍ය මෙන්ම සැප පහසු දිවියකට අයත් සියලු දෑ වෙළහෙළඳාම් සිකුරුගේ ප්‍රබල ව්‍යාපාරයන්ය. සංගීත ශාස්ත්‍රඥයෝ සහ නව නිර්මාණ බිහි කරන්නන්ද සිකුරු බලවත් අයයි.

දවල් උපන් අයට සිකුරු මවුතුමියයි. ස්ත්‍රී කාරක සිකුරු කේන්දරගත වීම, කෝණගත වීම, එකොළොස්වැන්නේ සිටීම බලවත්ය. ප්‍රිය වාග්චාතූර්යය යහතින් සැපසේ වාසය සිකුරු බලවතුන්ට දෙන දායාදයන්ය.

සිකුරු ග්‍රහයා කේන්දරයක 1,4,7,10 යන ස්ථානයක් ගෙන උච්ච, ස්වක්ෂේත්‍ර බලයෙන් නම් වෘෂභ, තුලා, මීන යන රාශියකට අයත් නම් ඒ පතිත වීම මාලවී යෝගයයි. වස්තු සම්පත් ජීවිතය පුරා නොඅඩුව ගලන යෝග වේ.

දේශපාලනයේ ප්‍රබලයන් බිහි වන සිකුරුගෙන් එන චින්තාමනී නම් යෝගය ජන්ම පත්‍රයක යෙදේ නම් සියලු මිනිසුන් දන නමා වශී වේ. සිකුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානවල, ත්‍රිකෝණ ස්ථානවල උසස් බලයෙන් යුතුව ඇත්නම් විස්මිත ප්‍රතිඵල ගෙන දේ. උත්පත්තියේදී මෙම ග්‍රහයාගේ පිහිටීම අනුව සුබ පල මෙසේ ගෙන දේ.

1. සිකුරු ලග්නගත නම් ඉතා ප්‍රසන්න බවක් මුහුණින් දිස්වේ. උච්ච හෝ ස්වක්ෂේත්‍ර නම් එය ස්ත්‍රිය නිවසට සිරිකතකි.

2.සිකුරු දෙවැන්නේ නම් බලයෙන් යුතු නම් ඉතා වාසනාවන්ත විවාහයකට උරුමව ධනවත් අයෙකු වේ.

3. තෙවැන්න තුළ පතිත නම් වර්ණවත් සමකට උරුමකම් කියන රූප ශෝභාවෙන් යුතු නීරෝගි අයෙකු වේ.

4. සිකුරුට සතරවැන්න දික්බල ස්ථානයයි. ගේ දොර යාන වාහන හිමි ඉතා වාසනාවන්ත අයෙකු වේ. මෙතැන වැජඹෙන බලවත් සිකුරු වාහන යෝගයයි.

5. කෝණ ස්ථානයක් වූ පස්වැන්නටද සිකුරු බලවත්ය. රූමත් දරුවන් සිටින ක්‍රීඩා කෞෂල්‍යය ප්‍රගුණ වූවන් බිහි වේ.

6. සිකුරු 6වැන්නට නම් සුදුසු නැත. මෙහෙකාර අයට කරුණාව අනුකම්පාව දක්වන පිහිටීමකි.

7. සිකුරුට අවැසි බලවත්ම වාසභවන හත්වැන්නයි. ධනය, සැපත, සතුටින් පිරි පිරිපුන් විවාහ දිවියක් ගත කරන්නන් වේ.

8. සිකුරු අටේ සිටීම රූමත් බව ගෙන දෙන පිහිටීමකි. උන්හිටි ලෙසට ඉතා ශාන්ති මරණයක් ගෙන දේ.

9. පුණ්‍ය ස්ථානයේ පතිත සිකුරු අධ්‍යාපනය ඉහළට ඔසවා තබයි. උසස් ධාර්මික දිවියක් හිමි කර දේ.

10. සිකුරු ග්‍රහයා 10වැන්නෙහි වීම රජයේ රැකියාවට උරුමකම් කියන යෝගයකි. සිකුරුගේ දශාව නියම කල ලැබුවහොත් දියුණුවේ හිණිපෙත්තටම ගෙන යයි.

11. සිකුරු 11 සිටීම ලේඛන කලාවේ අතිදක්ෂයන් බිහිවන පිහිටීමකි. මිතුරන් අධික වේ.

12. සිකුරුට දොළොස්වැන්න දීර්ඝායුෂ දෙන පිහිටීමකි. සිකුරුගේ පතිතව ඇති තත්ත්වය මත ප්‍රතිඵල ගෙන දේ.

“ඕම් ශුම් ශුකාය නමහඃ”

මේ සෞම්‍ය ග්‍රහයා කාව්‍ය, ගීතය, සංගීතය, කලාව ඔසවා තබා ලස්සන අත් පා මිහිරි කටහඬක් නිතැතින්ම ලබා දේ. මේ දීප්තිමත් ග්‍රහයා බලවන්තයෙකු කර ගැනීමට:

* පියනඟන්න උතුම් ශිව දෙවියන් වෙතට, කාලි මෑණියන් වෙතට දෙහි මල් මාල දමා පලතුරු පූජා කර පිහිට ඉල්ලන්න.

* ජ්‍යොතිෂානුකූල උපදෙස් මත පලඳින්න දියමන්ති මැණිකක්.

* විසිතුරු පාට සුවඳ මල් බුදුන්ට පූජා කරන්න.

* ලක්ෂ්මී මෑණියන්ට ද පූජා පවත්වා පිහිට ඉල්ලන්න.

තිර 05ක් යෙදූ පහනක් තබා ලක්ෂ්මී මෑණි හෝ කාලි මෑණියන් වන්දනා කරන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division