Home » වාහනයක හිමිකම කියන බලවත් යෝග

වාහනයක හිමිකම කියන බලවත් යෝග

by Mahesh Lakehouse
January 6, 2024 12:33 am 0 comment

මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්, නිවාසවලට අමතරව වර්තමානය වන විට වාහනද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත්වී ඇත. තමන්ට වාහනයක උරුමයක් තිබේද නැද්ද යන්න ජන්ම පත්‍රය තුළින් සොයා ගැනීමට හැකි වේ. ජන්ම පත්‍රයේ ප්‍රබල ලෙස වාහන යෝග තිබෙන අය ජීවිත කාලය පුරාම වාහන පරිහරණය කරන ජන්මියෝ වෙති.

වාහන පිළිබඳව කාරකත්වය හිමි වන්නේ සිකුරු ග්‍රහයාම වේ. තමන්ටම කියා වාහනයක් හිමි වේද යන්න බැලීමේදී සිකුරුගේ පිහිටීම සිකුරු ග්‍රහයා සිටින ස්ථානය, සිකුරු ග්‍රහයා සමඟ සංයෝග වී සිටින ග්‍රහයන් ද ග්‍රහ දෘෂ්ටි ද බැලිය යුතු වේ.

වාහන ලබන ස්ථානය හතරවැන්න වේ. වාහන කාරක සිකුරු හතරවැන්නාධිපති සමඟ යෝගව සිටීම වාහන යෝගයකි. සිකුරු බලවත්ව හා සංයෝගව සිටීම ස්ථිර ලෙස වාහන හිමිකම් ලැබීමට හේතු වේ.

වාහන යෝග බැලීමේදී ලග්නාධිපතිගේ බලය ඉතා වැදගත් වේ. වාහන යෝග යෙදී තිබී වාහනයක් මිලදී ගත්තත් සමහර ජන්මීන්ට එය නඩත්තු කිරීමේදී ප්‍රශ්න මතු වේ. ජන්ම පත්‍රයේ දෙවැන්න සහ එකොළොස්වැන්න බලවත් නම් ජීවිත කාලයම වාහන පරිහරණය කිරීමට හැකියාව ලැබේ.

ලග්නාධිපති සිවුවැන්නේ, නවවැන්නේ, එකොළොස්වැන්නේ තැන්පත් වීම ද වාහන ලබා දෙන ග්‍රහ යෝගයකි. සිවුවැන්නාධිපති සුබ භාවයක බලවත් වී එකොළහ අධිපතියාගේ දෘෂ්ටිය ලැබීම ද වාහන ලබා දෙන ග්‍රහ යෝගයකි.

හතරවැන්න අධිපති හතරවැන්නේම බලවත් වීම හෝ නවවැන්නේ හෝ එකොළොස්වැන්නේ පිහිටීම ද එකොළොස්වැන්නාධිපති හතරවැන්නේ සිටීම ද ජන්මියාට වාහන ලබා දෙන තවත් වාහන යෝගයකි.

දෙවැන්නාධිපති ග්‍රහයා සමඟ උච්ඡ බලයෙන් යුත් දොළහ අධිපති ග්‍රහයා යෝග වීම ද වාහන යෝග වේ. දහවැන්නේ ග්‍රහයකු උච්ඡ වී සිටින විට නවවැන්නාධිපති හා ලග්නාධිපති විසින් දකිනු ලබයි නම් එයත් වාහන යෝගයකි.

වාහන කාරක සිකුරුගේ දශා කාලයේදී හා අතුරු දශා කාලයේදී, හතරවැන්නාධිපතිගේ දශා කාලයේදී හෝ අතුරු දශා කාලවලදී, හතරවැන්නේ තැන්පත් වූ ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී, හතරවැන්නාධිපති සමඟ සංයෝග වූ ශුභ ග්‍රහයන්ගේ දශා කාලවලදී මෙම වාහන යෝග හිමි වේ.

ඔබගේ ජන්ම පත්‍රයේ ද මෙවැනි යෝග තිබේ දැයි සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division