Home » ඔබට ගැළපෙන පෙම්වතා පෙම්වතිය සොයාගන්නේ මෙහෙමයි

ඔබට ගැළපෙන පෙම්වතා පෙම්වතිය සොයාගන්නේ මෙහෙමයි

අංක විද්‍යා ජ්‍යොතිෂය

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

සමාජශීලී සත්ත්වයකු වන මිනිසාට සිය ජීවන ගමන්මඟ තනිව යාම පහසු නැත. ජීවිත කාලය තුළ මිනිසාට විවිධ සබඳතා ගොඩනඟා ගැනීමට සිදුවේ. එම සබඳතා ප්‍රධාන වශයෙන් ප්‍රේම සබඳතා, විවාහ සබඳතා, මිත්‍ර සබඳතා, ව්‍යාපාර සබඳතා ආදී ලෙස විවිධ මුහුණුවර ගනී. මෙසේ ඇතිවන සමහර සබඳතා ඉතා දිගු කලක් ශක්තිමත්ව හොඳින් පවතින අතර ඇතැම් සබඳතා මත ගැටුම් මැද සාමාන්‍ය ආකාරයෙන් කෙසේ හෝ පවත්වාගෙන යයි. මේ අතර සමහර සබඳතා ඉතා කෙටි කලකින් අවසන් වෙයි. ඒ අතර ඉතා දුක්ඛදායක ඛේදනීය ලෙස අවසන් වන සබඳතාද නැත්තේම නොවේ.

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව හොඳ සබඳතාවක් සඳහා කල්තියාම ඔබට වඩාත්ම ගැළපෙන පෙම්වතා, පෙම්වතිය හෝ කාලත්‍රයා හඳුනාගන්නා ආකාරය පිළිබඳවය. එය ඉහත සඳහන් කළ ඕනෑම ආකාරයේ සබඳතාවක් සඳහා භාවිත කළ හැකි වෙයි. මෙමඟින් ඔබට ඉතා ශක්තිමත් විශ්වසනීය සබඳතාවක් ගොඩනඟාගෙන යහපත් සතුටුදායක ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේ. මෙම සබඳතා ගැළපීමේ විවිධ ක්‍රම රාශියක් අංක විද්‍යා ජ්‍යොතිෂය තුළ සඳහන් වෙයි. මෙහි සඳහන් කරන්නේ ඔබට පහසුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමයක් වන ඔබගේ නිපුණතා අංකය හෙවත් දෛව අංකය අනුව ඔබට වඩාත් ගැළපෙන සබඳතාවන් හඳුනාගන්නා ආකාරය පිළිබඳවයි.

මුලින්ම ඔබේ නිපුණතා අංකය සොයා ගැනීම සඳහා ඔබගේ උපන් වර්ෂය, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතු වෙයි. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව නිපුණතා අංකය 1 වෙයි. මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම සිදුකරන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. අනතුරුව ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපේද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

මුලින්ම නිපුණතා අංකය 1 වන අයට සබඳතා සඳහා ගැළපෙන අංක සහ නොගැළපෙන අංක මොනවාදැයි හඳුනා ගනිමු.

නිපුණතා අංක 1ට නිපුණතා අංකය 1 වන අයගේ ගැළපීම

මොවුන් අතර සාමාන්‍ය සබඳතාවක් පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. දෙදෙනාම ප්‍රමුඛතාවය බලාපොරොත්තු වන බැවින් දෙදෙනා අතර මත ගැටුම් ඇති වෙයි. නම්‍යශීලී ගුණය දෙදෙනාම ඇති කරගත යුතුය. එකිනෙකාට ගරු කිරීමේ ගුණය වර්ධනය කර ගත යුතුය. දෙදෙනා විසින් ඉටුකළ යුතු යුතුකම් සහ කාර්යයන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළහොත් සාමකාමී බව පවත්වාගෙන යෑමේ හැකියාව ඇත. මිත්‍ර සබඳතා හෝ ව්‍යාපාර සබඳතා සඳහා මෙය තරමක් දුරට සාර්ථක වුවද ප්‍රේමය හෝ විවාහ කටයුතුවලදී දෙදෙනාටම දැඩි මානසික පීඩා ඇති කරයි. මෙය සාමාන්‍ය මධ්‍යස්ථ ගැළපීමක් ලෙස සඳහන් කළ හැකිය.

නිපුණතා අංක 1ට නිපුණතා අංකය 2 වන අයගේ ගැළපීම

මෙය හොඳ සබඳතාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී පිරිමියා අංක එක වී ස්ත්‍රිය අංක දෙක වීම ඉතා යහපත් වන අතර දෙදෙනා අතර මනා ආකර්ෂණීය බවක් ඇති කරයි. මෙහිදී පිරිමියාට අවනතව කටයුතු කරන ස්ත්‍රියක් බවට පත්වේ. පිරිමියාගේ කුදුමහත් සියලු කටයුතුවලට උදවු උපකාර කරයි. එමෙන්ම පිරිමියාගේ තීන්දු තීරණ කෙරෙහි වැඩි විරුද්ධතාවක් දක්වන්නේ නැත. ස්ත්‍රිය නම්‍යශීලීභාවයෙන් සහ කීකරුභාවයෙන් යුතුව කටයුතු කරන තැනැත්තියක් වෙයි. නමුත් මෙම ස්ත්‍රියගේ ඉවසීමේ සීමාව ගැන පිරිමියා හොඳින් දැන සිටිය යුතුමය. මෙහිදී පිරිමියා නිදහස අයුතු ලෙස භුක්ති විඳීමට යාම විනාශයක ආරම්භය බව මතක තබා ගත යුතුය. යම් යම් මතවාද ගැටලු ඇති වුවත් යහපත් ආකාරයෙන් සබඳතාව පවත්වාගෙන යෑමේ හැකියාව ඇත.

නිපුණතා අංක 1ට නිපුණතා අංකය 3 වන අයගේ ගැළපීම

මෙම ගැළපීමද යහපත් සබඳතාවක් බව කිව හැකිය. අංක එක පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වීම වඩා යහපත් වෙයි. අංක එක පිරිමියාගේ සිත සතුටු වන ආකාරයේ ගති ස්වභාවයන් අංක තුන තුළ පවතී. අංක තුන ස්ත්‍රිය තුළ පවතින පිළිවෙළ සහ කළමනාකරණය අංක එකට වඩාත් ගැළපෙයි. මෙහිදී පිරිමියා මූලිකත්වය ගන්නා විට ස්ත්‍රියගේ සහයෝගය එයට මනාව ලැබේ. නමුත් මෙහිදී අංක තුන ස්ත්‍රිය තුළින් යම් ආකාරයක වියදම් කළමනාකරණය කරගැනීමේ දුර්වලතා සහ අරපිරිමැස්මෙන් තොරව කටයුතු කිරීම් දැකිය හැකි අතර පවුලේ සමගිය සාමය පවත්වාගෙන යාමට දෙදෙනාම යම් කැපකිරීමක් කිරීම අත්‍යවශ්‍ය වෙයි. අංක තුන ස්ත්‍රිය තුළ තිබෙන චිත්තාකර්ෂණීය බව සහ පෙලඹවීමත් අංක එක පිරිමියා තුළ තිබෙන තමන් ප්‍රමුඛ වීමේ ගතිය සහ ස්වාධීන ස්වයං පාලන ගතියත් නිසා මේ අංක අතර හොඳ සංකලනයක් දැකිය හැකිය. අංක එක ස්ත්‍රිය වී අංක තුන පිරිමියා වීමද මෙහිදී එතරම් ගැටලුවක් නැත. සාමාන්‍යයෙන් හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමේ හැකියාව ඇත.

නිපුණතා අංක 1ට නිපුණතා අංකය 4 වන අයගේ ගැළපීම

මෙය ඉතා දුර්වල ගැළපීමකි. අඩු සබඳතාවක් දැකිය හැකිය. අංක එක පිරිමියා සහ අංක හතර ස්ත්‍රිය අතර අදහස් සිතුම් පැතුම් එකිනෙකට පරස්පර වෙයි. අදහස් සහ ආකල්පවල නොගැළපීම් පවතී. හොඳ ගැළපීමකට අවශ්‍ය කායික මානසික අධ්‍යාත්මික එකඟතාව අඩු කරයි. ලිංගික ජීවිතයද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි අතර සතුටුදායක නොවිය හැකිය. මෙම සබඳතාවන් තුළ නිතරම දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙයි. මෙම අංක මාරු වුවද එතරම් සාර්ථක නැත. මේ අය බොහෝ විට එක් අයෙක් කැමති වන දෙයට අනෙකා කැමති නොවේ. එය සාමූහික ගමනට බාධාවක් වෙයි.

නිපුණතා අංක 1ට 5, 6, 7, 8, 9 අංකවල ගැළපීම ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division