Home » උප්පත්තියෙන් නැකත බලවත් වාසනාවන්ත කේන්දරයක්

උප්පත්තියෙන් නැකත බලවත් වාසනාවන්ත කේන්දරයක්

ජ්‍යොතිෂ ගැටලුවලට පිළිතුරු දෙන්නේ විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ඉරේෂා ලියනගේ – වැල්මිල්ල

ප්‍රශ්නය – මාගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම අනාගතය කෙබඳු ද? උසස් පෙළ විභාගය සමත් වීමට හැකියාවක් තිබේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මිථුන ලග්නයෙන් උපත ලබා ඇති ඔබට පසුගිය කාලයම එතරම් යහපත් වුණේ නැහැ. අෂ්ටම ඒරාෂ්ටකයක් පැවැතියා. එය පොදුවේ ගත් කල විශ්ව කේන්දරයේ බලපෑමයි. එය 2020 වසරේ සිට අඛණ්ඩ වසර තුනහමාරක කාලයක්. එය තමාගේ ජීවිත කතාවේ ලියැවිලා තිබුණේ අෂ්ටම ඒරාෂ්ටකයක් ලෙසයි. එහි ප්‍රතිඵලය ජීවිතයට හානිදායක මෙන්ම මන්දගාමී කාලයක් ගතකිරීමට සිදුවීමයි. මේ වන විට එම අෂ්ටම ඒරාෂ්ටක කාලය අවසන් වී තිබෙනවා. එය අවසන් වුණේ පසුගිය අගෝස්තු 27 වැනිදායි. මේ වන විට ගෙවන්නෙ එම ඒරාෂ්ටකයේ අවපීඩන කාලයයි. සුබ කාලය ආරම්භ වන්නෙ 2024 මැයි 18 වැනිදායි. එදිනෙන් පසු ජීවිතයේ ඉතාම වේගවත් සාර්ථක කාලයක් උදා වෙනවා. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය තුළත් නීරෝගීමත් කාලයක් ඒ ඔස්සේ ගොඩනැඟෙනවා.

පසුගිය කාලයේ කොන්ද සහ පාදවල කැක්කුම් හටගැනුණා. ශරීරයේ උෂ්ණත්වය වෙනස්වීමේ රෝගාබාධ ඇතිවුණා. ඊට අමතරව ඇතැම් ඥාතින්, මිතුරන් පිළිබඳ කලකිරීම් ස්වභාවයක සිටින කෙනෙක්. එම නිසා බොහෝ බුද්ධිමත්ව ප්‍රවේශම් සහිතව කල්ගත කළ යුතුයි. ඒ වගේම උසස් පෙළ විභාගය සමත් කරගැනීමේ හොඳ හැකියාවක් තිබෙන කෙනෙක්. ඒ නිසා කලබලයකින් තොරව උපක්‍රමශීලීව පාඩම් කළ යුතු කාලසීමාවක්. හොඳින් අධ්‍යයනය කොට පාඩම් කරන්න. හැකි සෑම විටම පාන්දර යාමයේ අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න. ඇස්වල උෂ්ණ බව යම් තරමක ඉහළ මට්ටමක පවතින හෙයින් හවස් යාමයේ ස්නානය සහ උෂ්ණ කෑම ගැනීම සුදුසු වන්නේ නැහැ. නීරෝගීකම රැකගතහොත් අධ්‍යාපනයෙන් ඉහළ ජයග්‍රහණයක් ලබාගත හැකි බව කේන්දරයෙන් පෙන්නුම් කරනවා.

විශ්ව ප්‍රසාද් අනුරාධ – දැඩිගමුව

ප්‍රශ්නය – මාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ කේන්දරයේ වර්තමානයේ පවතින්නේ සිකුරුගේ මහ දශාවයි. අතුරු දශාව කුජගේ අන්තර් දශාවකි. අධ්‍යාපනය වශයෙන් අනාගතයේ දකින සිහින හොඳින් ඉටුකරගත හැකි කාලයක් මේ ගෙවෙන්නෙ. උසස් අධ්‍යාපනික වරම් සහ වරප්‍රසාද උරුමකම් කියන කේන්දරයක්. භාෂා අතර සිංහල, ඉංග්‍රීසිවලට අමතරව තවත් ජාත්‍යන්තර භාෂා ඉගෙන ගැනීමේ හැකියාව පවතින කේන්දරයක්. අධ්‍යාපනයේ යම් මන්දගාමී ස්වභාවයක් ගෙන දුන්නා 2021 සහ 22 කාලයේදී. ඒ තත්ත්වය සමනය වෙලා සුබවාදී දෙසට යොමු වෙලා තිබෙනවා මේ වසරේ අගෝස්තු සිට. එය අනාගතයට යහපත් තත්ත්වයක්.

සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත් වන්න. ඇස්වල උෂ්ණත්වය යම් පමණකින් වැඩියි. එම නිසා සවස් වරුවේ ස්නානය වැනි දේට යොමු නොවන්න. එය අධ්‍යාපනයට අවාසි සහගත වෙයි. සෑම විටෙකම රසකාරක සහිත කෘත්‍රිමජනක ආහාර අඩු කරන්න. එම ආහාරද සෞඛ්‍ය තත්ත්වයට බලපෑවොත් එය ද අධ්‍යාපනයට බාධාවක් ගෙන දෙයි. විටෙක ක්ෂණික කලකිරීම් සහිත මනසක් පවතිනවා. ඒ නිසා ධනාත්මක මනසකින් යුතුව තමන්ගේ විශ්වාසය, අරමුණු ප්‍රකාරක භාවයෙන් කටයුතු කරන්න. හොඳ දැනීම්කාරක ගුප්ත මනසක් තිබෙන කෙනෙක් ලෙසින්ද කේන්දරය සැකසෙනවා. තමන්ට අධ්‍යාපනය පැත්තෙන් ගමන් කළ හැකි පැතිකඩ කීපයක් පෙන්නුම් කරනවා.

තුෂල් නුවන්දික – මාතලේ

ප්‍රශ්නය – මාගේ ඉදිරි අනාගතය මෙන්ම මා හට කුමනාකාරයේ රැකියාවක් හිමි ද?

ජ්‍යොතිෂ විග්‍රහය – කේන්දර හිමියා උපත ලබා තිබෙන්නෙ ගුරු දශා කාලයෙන්. ඉන්පසු වයස අවුරුදු 28ක කාලයක් දක්වා සෙනසුරු බලවත් වී තිබෙනවා. මේ වන විට වයස අවුරුදු 24 සම්පූර්ණ වී තිබෙනවා. තවත් වසර කීපයක් ඉදිරියේ සෙනසුරු සිටින කේන්දරයක්. මේ කේන්දරයෙන් පෙන්නුම් කරනවා විදේශ රටක රැකියාවකට යාමට ඉතාම හොඳ හැකියාවක් තිබෙන බව. ඊට අමතරව රාජ්‍ය අංශයේ විවිධ වරප්‍රසාද සහිත රැකියාවක් ලබාගත හැකි බව පෙන්නුම් කරනවා. ඒ තත්ත්වයන් නිර්මාණය කරන්නෙ 2024 වසරේ අගභාගයේ සිටයි. නිර්මාණශීලීත්වයට සහ කලා ක්ෂේත්‍රයටත් දක්ෂතා පෙන්නුම් කරන කේන්දරයක් බව සඳහන් කළ හැකියි. ඒවා වැඩිදියුණු කරගතහොත් විදේශ රටකට ගොස් ඉහළ ආර්ථිකයක් සහිත දිවියක් ගත කළ හැකි වෙනවා. එම නිසා තමන්ගේ ජානමය දක්ෂතා පිළිබඳව දැඩි ලෙස සැලැකිලිමත් විය යුතු බව සඳහන් කරනවා.

චාමර අකලංක පෙරේරා – මාකොළ

ප්‍රශ්නය – මාගේ විවාහය කෙබඳු වේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – වෘශ්චික ලග්නයෙන් අස්විද නැකතින්, කේතුගේ මහ දශාවෙන් ජීවිත කතාව ගොඩනැඟි තිබෙනවා. අනතුරුව සිකුරු මහ දශාව ලබලා තියෙනවා තමාගේ වයස අවුරුදු 26 දක්වා. තමන්ට පහුගිය කාල සීමාව තුළම ජන්ම ඒරාෂ්ටක බාධකයක් පැවැතියා. බලාපොරොත්තු වූ දේ පෙනි පෙනී නොපෙනෙන ගතියක් පැවැතියා. ඒ 2021, 22 කාලයේදී. 2024 කේන්ද්‍ර කරගෙන ජයග්‍රාහී කාලයක් ලබනවා. එම කාලය ආරම්භ වන්නේ මැයි සිටයි. ඒ අනුව මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ආපස්සට ගිය කටයුතු බොහොමයක් ආරම්භ කිරීම සිදු වෙනවා. විවාහය ගැන සඳහන් කිරීමේදී නිරන්තරවම ධනාත්මක මානසික සිතුවිලි ගොඩනඟා ගත යුතුයි. කිසි විටෙක ආවේගයට පත් නොවිය යුතුයි. ඥානාන්විත භාවය විවාහකස්ථානය තුළ ගත කළ යුතු කේන්දරයක්.

උප්පත්ති කේන්දරයෙන් විවිධ බාධක ඇති අය, ගැටලු සහගත අය ජීවිතයේ හමුවන කේන්දරයක් ලෙස පෙන්නුම් කරනවා. එය සත්‍යයක්. අන්න එම නිසා ඒ බාධකය කොයි ආකාරයෙන් හටගන්නෙ කියා සඳහන් කළහොත් තමන්ට ඍණාත්මක මනසක් තිබුණොත් විවාහයේදී එය විශාල බාධාවක් විය හැකියි. එම නිසා විවාහය තුළදී සෑම විටෙකම ඥානාන්විතව කටයුතු කරන්න. එසේම මේෂ, වෘෂභ සහ ධනු ලග්න හිමියන් තම විවාහක සහකාරිය ලෙස තෝරා නොගන්නවානම් වඩාත් යහපත් බව සඳහන් කළ හැකියි.

චාමික නෙත්සර – බදුල්ල

ප්‍රශ්නය – මාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය සහ අනාගතය කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – උත්පත්ති කේන්දරය තුළ නැකතේ බලය ඉතාම ඉහළින්ම තිබෙන කේන්දරයක්. ඒ නිසා උත්පත්ති කේන්දරය තුළ තමන් කිසිවකු හෝ යටතේ රැකියා නොකොට තමාගේම ව්‍යාපාරයක් ගොඩනඟාගත හැකි කේන්දරයක් ලෙස පෙන්නුම් කරනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන සඳහන් කළහොත් සෙම, පිත ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි. ඊට අමතරව ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීමේ රෝග ඇතිවීමට හැකියාව තිබෙනවා. එම නිසා පිෂ්ට අධික ආහාර විශේෂයෙන්ම ඊස්ට්, හයිකෝ වැනි පිටි අධික පාන්, බනිස් වැනි ආහාර පාලනය කරන්න. කෘත්‍රිම ආහාර අඩුකොට ස්වාභාවික ආහාරවලට හුරු වන්න.

අධ්‍යාපනයේදී ඉංග්‍රිසි දැනුම මූලික කරගෙන තමන් තවත් භාෂාවල් ඉගෙන ගන්න. එහිදී ජපන්, චයිනා, රුසියන් වැනි භාෂාවන්ට ප්‍රමුඛත්වය දී ඉගෙන ගත හැකි කේන්දරයක් බව පෙනෙනවා. ඒ සඳහා අවැසි පරිසරය ගොඩනඟාගන්න. එසේම කිසිම කර්තව්‍යයක් පසුවට කල් නොදමන්න. කල් දැමීම ජීවිතය සෑහෙන දුරකට මන්දගාමී කිරීමට හේතු වෙනවා. එසේ මන්දගාමීත්වයෙන් ගෙවුණු පසුගිය වසර දෙක, දෙකහමාරක පමණ කාලය අමතකකොට දමා වේගවත් මෙන්ම වැඩ කටයුතුවල සැලැසුම් සහගත බවක් ගොඩනඟාගන්න. ඒ ඔස්සේ ඉතාම ඉහළ ජීවන තත්ත්වයකට උරුමකම් කීමට හැකියාව පවතිනවා.

අමිල මලවිසුරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division