Home » අල්ලස් පැමිණිලි 30%න් වැඩි වෙලා

අල්ලස් පැමිණිලි 30%න් වැඩි වෙලා

by Mahesh Lakehouse
December 30, 2023 12:35 am 0 comment
තාරක වික්‍රමසේකර

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසර තුළ දී අල්ලස් පැමිණිලි 700කට අධික ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

පසුගිය වසරේ 2,512ක් වූ අල්ලස් පැමිණිලි සංඛ්‍යාව මේ වසරේ පළමු මාස 11 තුළ පමණක් (2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා) 3,004ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සාමාන්‍ය වශයෙන් පසුගිය වසරට වඩා 30%ක් පමණ වැඩිවීමක් බව කොමිසම පෙන්වා දෙයි. පසුගිය වසරේ මසකට වාර්තා වූ අල්ලස් පැමිණිලි සංඛ්‍යාව 200ක් පමණ වූ නමුත් මේ වසරේ සාමාන්‍ය වශයෙන් මසකට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 270ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ වාර්තා වූ පැමිණිලි අතුරින් 2,339ක් අදාළ කමිටු වෙත යොමු කර ඇති අතර 953ක් විමර්ශන සඳහා යොමු කර ඇත. එම පැමිණිලි අතුරින් ඍජු ලෙසින් අල්ලස් ගැනීම් පැමිණිලි 112ක් වංචා හා දූෂණ පැමිණිලි 774ක් හා අයථා ඉපැයීම් 67ක් ඇතුළත්ය.

අල්ලස් කොමිසම විසින් සිදු කළ වැටලීම්වලින් වැඩිම පිරිසක් අත්අඩංගුව ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් වන අතර එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරින්ය.

එමෙන්ම ශ්‍රී ලංගම නිලධාරීන් ද මෙසේ අත්අඩංගුවට ගත් අය අතර තුන්වන ස්ථානයේ පසු වේ.

එම මාස 11ක කාලය තුළ පුද්ගලයන් 248කට විරුද්ධව නඩු පවරා ඇති අතර අදාළ කාලය තුළ වැඩිම වටිනාකමක් සහිත අල්ලස් මුදලක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිසර අධිකාරියේ සභාපතිවරයෙක් වන අතර අදාළ අල්ලස් මුදල රුපියල් කෝටියක් ලෙස සඳහන්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division