Home » ප්‍රවීණ පුවත්පත් කලාවේදී නන්දසේන සූරියආරච්චි දැයෙන් සමුගනී

ප්‍රවීණ පුවත්පත් කලාවේදී නන්දසේන සූරියආරච්චි දැයෙන් සමුගනී

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි ඉකුත් 27වැනි බදාදා අභාවප්‍රාප්ත විය. මියයන විට 78 වැනි වියෙහි  පසු වූ හෙතෙම ග්‍රන්ථ 55 ක කතුවරයෙකි.

1945 වසරේ මාර්තු 27 දින දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

වසර 1969දී ලේක්හවුස් ආයතනයට බැඳුණු හෙතෙම ‘දිනමිණ’ හා ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලවල වසර 12ක් සේවයේ නියුතු විය. අනතුරුව 1981දී උපාලි පුවත්පත් සමාගම අරඹන විට එහි අර්ථපතියා වූ කීර්තිමත් ව්‍යාපාරික උපාලි විජයවර්ධන සමඟ දිවයින පුවත්පත ආරම්භය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.

වසර 13ක් පමණ එහි සේවය කළ හෙතෙම දේශපාලන ලිපි, කලා හා විශේෂාංග රචනයෙහි දස්කම් දැක්වූවෙකි. ඔහු ලියූ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ, දිඹුලාගල හාමුදුරුවෝ, උපාලි විජයවර්ධන, මඩුවන්වෙල මහ දිසාව, බොරලුගොඩ දේශපාලනය, සිංහලේ සිංහයා සර් ජෝන් ඇතුළු පුවත්පත් ලිපි මාලා එකල ඉහළ ජනප්‍රියත්වයට පත් විය.

සූරියආරච්චිගේ බිරිය ඩල්සි විශ්‍රාමික ගුරුවරියක වන අතර, දියණිය යසෝදරා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරයි. පුතු ධනංජය මාධ්‍ය ආයතන ප්‍රධානියකු ලෙස කටයුතු කරයි. නන්දසේන සූරියආරච්චිගේ දේහය අංක 9, කාශ්‍යප පාර, ඇන්ඩර්සන් පාර, කළුබෝවිල නිවෙසේ තැන්පත් කර තිබූ අතර, අවසන් කටයුතු 30 සෙනසුරාදා සවස 5.00ට කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කිරිමට නියමිත විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division