Home » කහවත්ත කතගේ ඝාතකයා කොටු කළ මෙහෙයුමේ  මුල මැද අග

කහවත්ත කතගේ ඝාතකයා කොටු කළ මෙහෙයුමේ  මුල මැද අග

by sachintha
December 30, 2023 12:41 am 0 comment

හරියටම ඇල්ලුවේ දුරකතන ජාල පරික්ෂාවෙන්

රිමාන්ඩ් භාරයේ සිටි දියණිය නිදහස්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විනීතාගේ බාල දියණිය වන මේනකා සංජීවනී යන අය ඇගේ ඝාතනයට කිසිදු සම්බන්ධතාවක් නැතැයි පොලිසිය ඉකුත් 29 වැනිදා අධිකරණයට පවසමින් ඇය නිදහස් කරන්නැයි ඉල්ලයි

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඝාතනය කර පැය දෙකකට ආසන්න කාලයක් එම නිවෙසට වී සිටි බවකි. එහෙත් පොලිසිය පවසන්නේ එය ඔහු විසින් කළ අසත්‍ය ප්‍රකාශයක් බවය. සිනමාවේ චිත්‍රපටවල මෙන් ඝාතනය වෙනත් පැත්තකට යොමු කරන්නට මොහු එම ප්‍රදේශයේ තැනින් තැන කාලය ගතකර ඇති බවට ද හෙළි වූ බව පොලිසිය පවසයි

හවත්තේ කාන්තා ඝාතන රැල්ලේ නවමු සිදුවීම අහස පොළොව නුහුලන තවත් අපරාධයක් බවට රැව් පිළිරැව් දුන්නේ වැල්ලදුර වෙලේවත්තේදී ඉකුත් 13 වැනිදා සිදුවූ 71 හැවිරිදි විනීතා ජයසුන්දර මාතාව සාහසික ලෙස කපා කොටා ඝාතනය කර තිබීමෙනි. සාහසිකයා කවුරුන්දැයි මුළු රටක්ම දෑස් අයා බලා සිටිද්දී, ආනන්තරීය පාප කර්මය සිහිකර පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ තැනැත්තියගේ බාල දියණියයි. මේ සිදුවීමෙන් කැළඹී ගියේ වැල්ලදුර ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටක්මය. ‘දුවෙකුට අම්මා මරන්න පුළුවන්ද?“, ‘ඒ මොන වගේ දුවෙක්ද?‍“ ‘මේවා මිහි පිට පල දෙන පව්“ රට්ටු කිව්වේ එහෙම කතා ය.

රටක් කැළඹූ කහවත්තේ ඝාතන රැල්ල 2008 සිට 2015 අතර කාලයේදී විහිදී ගියේ සහාසික ලෙස දූෂණය කර මරා දැමූ කාන්තාවන් 19 දෙනකුගේ සිද්ධියත් සමඟිනි. පොලිසිය මේ ඝාතන රැල්ලේ ඝාතකයා සොයා ගත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේදීයි. එහෙත්, වැල්ලදුර වෙලේවත්තේ ජයසුන්දර මාතාවගේ ඝාතකයා සොයා ගන්නට පොලිසියට එච්චර වෙලාවක් නොවුණු බව පෙන්නුම් කරමින් ඇයගේ බාල දියණිය වන මේනකා සංජීවනී මෙම කුරිරු ඝාතනයේ සැකකාරිය ලෙසින් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මවගේ අවමගුලේ උණුසුම පහව යන්නටත් මත්තෙනි.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන සහායකයන් භාර නිලධාරිනිය ලෙසින් සේවය කළ මේනකා සංජීවනී, 38 හැවිරිදි අවිවාහක තැනැත්තියකි. මෙම කුරිරු ඝාතනයට සැකපිට ඇය කහවත්ත පොලිසිය අත්අඩංගුවට ගත්නේ ඉකුත් 05 වැනිදාය. අපරාධයක් වූ සැණින් පොලිසියේ උකුසු ඇස යොමු වන්නේ පරිවේෂණීය සාක්ෂි වෙතය. ‘සාධාරණ සැකය“ යන්න ඉස්සරහින් තබාගත් පොලිසිය මේ අත්අඩංගුවට ගත්තේ මරණකාරිය කුසින් වැදූ බාල දියණියයි.

‘‘අනේ මගේ අම්මව කවුද මරලා දාලා“ යැයි කහවත්ත පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්නට පළමු ඇමතුම පවා ලබා දුන්නේ ද මේනකායි. කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වන ඇය දින 14කට ආසන්න කාලයක් හිරබත් කන්නේ ලෝකාපවාදයත් සමඟිනි.

‘‘ඔය ළමයා හැම තිස්සේම අම්මා එක්ක රණ්ඩු කරගන්නවා. බැලුවොත් ඔය ගෙදර රණ්ඩුමයි‘‘

ගමේ උදවිය එකා දෙන්නා කී කතා පොලිසිය අසන්නට ඇත. කැපුම් තුවාල සහිතව වැටී සිටි මරණකාරියගේ සිරුර අසල මේනකාගේ ස්මාට් අත් ඔරලෝසුව වැටී තිබීමත්, නිල සුනඛ ‘මාෂි“ සිරුර තිබූ ස්ථානයේ සිට ඉව කරමින් නිවෙසේ පිළිකන්නේ සිට ඉදිරිපස පෝටිකෝවට පැමිණ ඉදිරි දොරින් සාලය මැද නතර වීමත් පොලිසියේ උකුසු ඇස මඳකට නතර වීමට හේතු වන්නට ඇත. එපමණක් ද නොව, මේනකා එදින රාජකාරියට යන්නේ දහවල් එකොළහ පසුවීමෙන් පසුවය. නැවත ගෙදරට එන්නේ සවස තුනටය. ඇය රාජකාරි ස්ථානයට ඇතුළු වීම මෙන්ම පිටවීම සම්බන්ධයෙන් ද CCTV දර්ශන සාක්ෂි දරා තිබිණි. සිද්ධිය වූ දින මේනකා කහවත්ත බැංකුවකට ගොස් ATM කාඩ් පත භාවිත කරමින් රුපියල් 10,000ක මුදලක් ලබාගෙන ඇති බවත්, ඉන් රුපියල් 5,000ක් ලබාගන්නා අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබී ඇති අතර ඒ අවස්ථාවේදී ඇය සිය ස්මාට් අත් ඔරලෝසුව පැළඳ ගෙන සිටින අයුරුත් පොලිසියට නිරීක්ෂණය වී තිබිණ.

නිවෙසට පැමිණි මේනකා ඇඟලා සිටි සාරිය උනා දමා ටී ෂර්ටයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී ගත්තේ ඇයගේ මව ඒ මොහොතේ දී නිවෙසේ පිළිකන්න පැත්තේ මැරී සිටියදීයමය. මේනකාගේ දින චර්යා රටා සැලකිල්ලට ගත් පොලිසියට මේ හැසිරීමත් සැකයට තුඩු දී තිබිණි. අවසානයේ පොලිසිය ඇය අත්අඩංගුවට ගන්නේ සැකපිට ප්‍රශ්න කිරීමටය.

‘‘ඔයා අතින් මේ වගේ දෙයක් වුණා ද?‘‘ පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී මේනකාට පුන පුනා කියන්නට තිබුණේ එකම දෙයක් පමණී.

‘‘අම්මයි මායි අතර රණ්ඩු තිබුණා. මම නැහැ කියලා කියන්නේ නැහැ. අම්මා හැම තිස්සේම කියන්නේ මාතර ඉන්න අක්කා ළඟට යමු කියලා. මම රස්සාවට යන්න ඕන. අම්මා කියන දේ කරන්න බැහැ. මම අම්මා කියන දේට අකමැති වුණාම එයා රණ්ඩු කරනවා. අම්මයි මායි අතර තිබුණ මේ ප්‍රශ්නය මට අම්මා මරන්න තරම් දෙයක් නෙවෙයි. මම අම්මා මැරුවේ නැහැ.“‍

සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ සහෝදරියක වූ මරණයට පත් විනීතා ජයසුන්දර ගේ වැඩිමහල් දරුවා ගුවන් විදුලි මාධ්‍යවේදියකු වන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරියකු වන ජානක සුනෙත් බණ්ඩාරය. ඇගේ දෙවැනි දරුවා මාතර මහ රෝහලේ වෛද්‍ය රසිකා චන්ද්‍රමාලිය. මේ අම්මාගෙයි දියණියගෙයි රණ්ඩු සරුවල් මාතර අක්කාගේ ගෙදර යන්නට දරන උත්සාහය මත පදනම් වූවක් බව මේනකා දිගින් දිගටම පොලිසියට කියා තිබිණි. කෙසේ වෙතත්, පොලිසිය ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග නිකුත් වී තිබිණි.

‘‘දවල් විනීතා අක්කා ගේ ඉස්සරහා වැල ළඟ ඉන්නවා මම දැක්කා“ නිවෙස අසල කාන්තාවක් කියූ කතාවක් ද කනින් කොනින් ඇසෙන්නට වුවකි. එහෙත් එම කතාව ද බැහැර නොකළ පොලිසිය දිගින් දිගටම මේ සිදුවීම සම්බන්ධයෙන් සොයන්නට වූයේ සැබෑම ඝාතකයා කවුරුන්දැයි හඳුනා ගැනීමටය. විශේෂයෙන්ම මේනකා මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් ලබා නොදීම ද පොලිසියට උභතෝකෝටික ප්‍රශ්නයකට මඟ පෑදුවේය.

දැන් දැන් පොලිසිය යොමු වූයේ දුරකතන දත්ත පරීක්ෂාවන් කෙරෙහිය. මරණයට පත් විනීතා ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් සහ සාමාන්‍ය වර්ගයේ ජංගම දුරකතනයක් භාවිත කළ අතර ඇගේ මරණින් පසු සාමාන්‍ය දුරකතනය අතුරුදන්ව තිබිණි. කෙසේ වෙතත්, ඇය භාවිත කළ ජංගම දුරකතන සිම්කාඩ් පත්වලින් සිදු කළ විමර්ශනයට අදාළව විනීතා අසාමාන්‍ය ලෙසින් කිසියම් පුද්ගලයකු සමඟ දිගින් දිගටම ඇමතුම් ලබාගෙන ඇති බවට හෙළිව තිබිණ.

‘‘මේතරම් එකදිගට කතා කළේ කා එක්කද?“

පොලිසියේ මීළඟ සැකය යොමු වූයේ ඉන් අනතුරුවය. ඇය විසින් මෙම නාඳුනන ජංගම දුරකතන අංකයට ඇය ඝාතනය වීමට පෙර ඇමතුම් නවයක් එකවර ලබාගෙන තිබුණත් ඊට නාඳුනන්නා පිළිතුරු දී නැත. කෙසේ වෙතත් පෙරවරු 11. 16ට ඔහු දුරකතන ඇමතුමට පිළිතුරු ලබා දී තිබිණි. පොලිසිය දැන් දැල එලුවේ මේ නාඳුනන්නා පසුපසය. ඔහු කහවත්ත පලන්සූරියගම ගමගේ වත්ත ප්‍රදේශයේ මේසන් බාස්වරයකු වන‘දොළේ බාස්“ බවට හඳුනා ගන්නට පොලිසියට හැකි වූයේ ඒ අනුවය. 55 හැවිරිදි වියේ පසුවන පස්දරු පියකු වන මොහු යුද හමුදාවෙන් පළාවිත් සිටින තලගහ ආරච්චිලාගේ සංජීව විජේරත්න බවට තහවුරු කරගත් කහවත්ත පොලිසිය ඉකුත් 28 වැනිදා රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගත්තේය.

‘‘මම විනීතා මිස්ලගේ ගෙදර කලින් වැඩ කිහිපයක් කළා. මම මිස්ව හොඳට දන්නවා“ සැකකරු කට ඇරියේ එලෙසිනි.

විනීතාගේ නිවෙසේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙම සැකකරු ඉකුත් වසරේ සිට සම්බන්ධ වී ඇති අතර, මේ වසරේ අගෝස්තු මාසයේ දිනක එම නිවෙසේ සේවය කරමින් සිටියදී නිවෙසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන්වීම පිළිබඳව විනීතා ඔහුට දොස් පවරා තිබිණි.

‘‘ගෙදර තිබුණ කරාබු දෙකයි මාලෙයි ගත්තේ වෙන කවුරුත් නෙමෙයි තමුසේ. ඒක මම හොඳටම දන්නවා. මේ ගෙදරට වෙන කවුරුත් ආවේ ගියේ නෑනේ. ගෙදර ඒවා එතන තිබුණ බව දැනගන්න වෙන කාටවත් බෑ. තමුන් මේවා මට ආපහු නොදුන්නොත් මම පොලිසි යනවා. මාව නරක ගෑණි කරගන්න එපා. හොඳ හිතින් මට ඒවා ආපහු ගෙනල්ලා දීපන්“ විනීතා පේන කියන්නා වාගේ දොළේ බාස්ට එසේ කීවේ මේ සොරකම වෙන කිසිවකුට හෝ කිරීමට නොහැකි බව දන්නා නිසා වන්නට ඇත.

‘‘මම ගත්තේ නෑ. ඒත් මිස් ඔය තරම් චෝදනා කරද්දි මට අහන් ඉන්න බෑ. ඔය නැතිවෙච්ච ඒවායේ ගාණ කියද‍? මම සල්ලිවලින් දෙන්නම්.“

‘‘මට සල්ලි ඕන නෑ. උඹ මගේ බඩු ටික දීපන්.“ දිගින් දිගටම තම රත්‍රන් මාලය සහ කරාඹු ජෝඩුව ඉල්ලා සිටිමින් විනීතා ඔහුට බල කරන්නට වූවාය.

‘හරි මම එහෙනම් වෙන මාලයක් හරි ගෙනල්ලා දෙන්නම්. මේක හරිම කරදරයක් නේ. මම ගත්තෙත් නැහැ.“ ‍ඔහු බේරෙන්නට මඟක් සොයන්නට ඇත. කෙසේ වෙතත් දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා දෙමින් විනීතා තම රත්‍රන් බඩු ලබා දෙන ලෙසට ඔහුට කරදර කර ඇති අතර, ඒ වන විටත් සොරකමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී සිටි සැකකරු විනිතා පොලිසි ගියහොත් සිදු වන්නේ හිරේ යන්නට වන බව සිතුවේය.

‘‘නෝනා මට හිරේ යන්න වෙයි වරෙන්තුව නිසා. ඒ නිසා පොලිසියට යන්න එපා මම ඔය බඩු ටික ගෙනල්ලා දෙන්නම්.“ අන්තිමට ඔහු එසේ කියන්නට ඇත.

එහෙත්, මෙම ඝාතනය සිදුවන්නට පෙර දින ද ඇය සැකකරුට ජංගම දුරකතනයෙන් අමතා ‘‘උඹ මට හෙට මේ බඩු ටික ගෙනල්ලා දුන්නේ නැත්නම් මම හෙටම පොලිසියට යනවා. මට මුකුත් කියන්න එපා. හෙට හවස් වෙනකල් විතරයි මම බලන්නේ හරිද? යැයි පවසා තිබිණි.

‘‘මගේ නෝනා චූටි පුතාව මොන්ටිසෝරි අරගෙන ගෙදර එන්නේ විනීතා නෝනාලගේ ගේ ළඟින්. එදා සිද්ධිය වුණ දවසේ මගේ නෝනා ළමයත් එක්ක එද්දි විනීතා නෝනා එයාට කතා කරලා කියලා තියෙනවා මම එයාගේ රත්‍රන් බඩු හොරකම් කළා කියලා. ඒ ටික අද හවස ගෙනල්ලා දුන්නේ නැත්නම් පොලිසියට යනවා කියලා නෝනට බැණලා තියෙනවා.“ සැකකරු මේ ඝාතනයට පෙර මංසලකුණු යෙදූ සිද්ධිය ගැන කතාන්දරය දිග හරින්නට විය.

‘නෝනා ගෙදර ආපු ගමන් මට මේක කිව්වා. මම ගොඩාක් වෙලා කල්පනා කරලා විනීතා නෝනාලගේ ගෙදර ආවා. එතකොට වෙලාව දවල් එකහාමාරට විතර ඇති.“

සැකකරු විනීතා සොයා නිවෙසට පැමිණි පසුත් ඇය සිය රන් භාණ්ඩ ඉල්ලා ඔහු සමඟ බහින්බස් වී තිබිණ.

‘නෝනා මම දෙන්නම් කිව්වනේ. එහෙම කියලත් මොකද මගේ ගෑනිට ඕවා කිව්වේ.“ කතාව දුරදිග ගියේය. ඇවිළුණු කතාව අවසානයේ දොළේ බාස් විනීතා නෝනාව තල්ලු කර දමන්නේය. මේ තල්ලුවෙන් විනීතා බිත්තියේ වැදී බිම වැටී ඇත්තේ සිහිමුර්ජා වීමෙන් පසුවය. දැන් කරන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකි වූ තැන ‘දොළේ බාස්“ වහා ක්‍රියාත්මක වී මන්නා පිහියක් ගෙන බිම වැටී සිටි ඇගේ ගෙල කපා දමන්නේ ඉතාමත් සාහසික ලෙසිනි.

‘‘මේ පුද්ගලයා ඝාතනය කරලා ඒ අවට ගේකට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ආපසු ඇවිත් තමයි ගේ හෝදලා දාලා මරණකාරියගේ සිරුර ගේ පිටිපස්සට ඇදගෙන යන්නේ. ඊට පස්සේ මොහු මේක නිවෙසේ වහලය අලුත්වැඩියා කරන්න යද්දි වැටිලා තහඩුවට බෙල්ල කැපුණා කියලා අඟවන්න බිත්තිය අයිනේ ඉණිමග පෙරලලා දාලා තහඩුවක් හරස් කරලා දාලා ඔය වගේ දේවල් ගොඩක් කරලා තිබුණා. මරණය වුණ වෙලාවේ නිල සුනඛයා එම ස්ථානයට එද්දි මේ සැකකරු පොලිස් ජීප් රථයට මුවා වෙලා හැංගිලා ඉඳලාත් තියෙනවා “ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ උසස් පොලිස් නිලධාරයෙක් සිද්ධිය පිළිබඳව ප්‍රකාශ කළේ මේ අයුරිනි.

මුල් අවස්ථාවේදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඝාතනය කර පැය දෙකකට ආසන්න කාලයක් එම නිවෙසට වී සිටි බවකි. එහෙත් පොලිසිය පවසන්නේ එය ඔහු විසින් කළ අසත්‍ය ප්‍රකාශයක් බවය. සිනමාවේ චිත්‍රපටවල මෙන් ඝාතනය වෙනත් පැත්තකට යොමු කරන්නට මොහු එම ප්‍රදේශයේ තැනින් තැන කාලය ගත කර ඇති බවට ද හෙළි වූ බව පොලිසිය පවසන්නකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. ජී. කරුණාතිලක පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියෙන් බිම ඇද වැටුණු මරණකාරියගේ ගෙල සැකකරු විසින් පිහියකින් කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවය.

‘මොහු මේ ඝාතනය කරලා එම නිවෙසේ පිටුපස ළඳු කැළෑවකින් පලා ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ඒ අසල ගේකට ඇවිල්ලා කතා කර කර ඉඳලා තියෙනවා. විනාඩි දහයක් විතර ඉදලා තමයි ආපහු ඝාතනය කරපු තැනට ගිහිල්ලා ලේ හෝදලා තියෙන්නේ. ඝාතනය හදිසි අනතුරක් ලෙසින් දක්වන්නත් එතන රංගනයක් කරලා තිබුණා. ස්වාමිනී මොහු එදින සවස 2.30ට පමණ බස් රථයක නැඟී ගියා කියලා ප්‍රකාශ කළා. එහෙත් එහෙම වෙලා නැහැ. මොහු ප්‍රදේශයේ තැන් තැන්වල සැරිසරිමින් එක එක්කෙනා සමඟ කතා කර කර ඉඳලා තියෙන්නේ සැකයක් ඇති නොවෙන්නයි.“ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

‘‘විනීතා මිස් මරලා“ යැයි අසල්වැසි කාන්තාවක් සැකකරුට පවසා තිබුණත් ඔහු ඒ අවස්ථාවේදි මළගෙදරට නොගොස් ඊට පසුදින අවමංගල්‍ය නිවෙසට ගොස් ඇති බවට හෙළි වූ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

‘ස්වාමිනී, මේ සැකකරු සොරාගත් රන් භාණ්ඩ කහවත්ත උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබී ඉකුත් ජුනි මස 06 වැනිදා බේරාගෙන තිබෙනවා. ඊට පසු රන් භාණ්ඩ මිලදී ගන්නා බවට දැන්වීමක් අලවා තිබූ අයකුට මේවා රුපියල් පනස් දහසකට විකුණලා කියලා ප්‍රකාශ ලබා දුන්නා. මේ සැකකරු භාවිත කළ ජංගම දුරකතන සිම් කාඩ්පත මේ සිද්ධියෙන් පස්සේ මාරු කරලා. ඝාතනයට යොදා ගත්ත මන්නා පිහිය එම ප්‍රදේශයේ ළඳු කැලෑවක ගලක් යට සඟවා තිබියදී සොයා ගත්තා. “ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ඝාතනය සිදු වූ ස්ථානයේ දොරක් යට තිබී සොයා ගත් සැකකරුගේ යැයි සැක කෙරෙන ඇඟිලි සලකුණු සහ පිහිය රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට පොලිසියට නියෝග කළ අධිකරණය සැකකරු හෙට 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විනීතාගේ බාල දියණිය වන මේනකා සංජීවනී යන අය ඇගේ ඝාතනයට කිසිදු සම්බන්ධතාවක් නැතැයි පොලිසිය ඉකුත් 29 වැනිදා අධිකරණයට කීවේය. ඒ හේතුවෙන් ඇය නිදහස් කරන ලෙසට කහවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

‘ස්වාමිනී, මෙම ඝාතනයෙන් පසු සිදු වූ විමර්ශන සහ අසල්වාසීන් ලබා දුන් ප්‍රකාශ හේතුවෙන් වගේම කොටකෙතන සිදුවූ ඝාතන රැල්ලේදී ඇතිවූ සමාජයේ කැලඹීමක් වැනි සිද්ධියක් ඇති වේ යැයි ඇති වූ සාධාරණ සැකය හේතුවෙන් ඇයගේ ආරක්ෂාව නිසාම ඇය අත්අඩංගුවට ගත්තේ.“ යැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

දැන් සිදුව අත්තේ කුමක්ද, පොලිසිය කෙසේ හෝ ඝාතකයා සොයා ගත්තේය. එය එසේ වූ නිසා යහපතකි. එහෙත් ‘සේයා දැරියගේ ඝාතන සිද්ධිය මෙන් සිදුවන්නට ගියේ කිසිම දෙයක් නොදැන සිටි අහිංසක දියණියකගේ බෙල්ලට තොන්ඩුව වැටීම නොවේදැයි කෙනෙකුට සිතෙන්නට බොහෝ ඉඩ ඇත්තේ පොලිසියේ කලබලය නිසා මදැයි ගැටලුවකි.

 l ඡායාරූප – කහවත්ත නිරෝෂන් පෙරේරා

 l නිමන්ති රණසිංහ සහ  ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division