චීන කුංෆු සටන් කලාව යනු මිනිස් සංහතිය විසින් බිහි කළ දැනුමෙන් සන්නද්ධ විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයකි; එසේම එය ප්‍රභල සංස්කෘතික නිර්මිතයකි. 70 දශකයේ දී කුංෆු සටන් කලාව මෙරට නව පන්නයේ භාවිතයක් වූ අතර එවක ජනතාවට එතරම් හුරු පුරුදු නමක් නොවිණි. චීන සටන් කලාවම යනු ස්වභාව ධර්මය තුළ එයට විරුද්ධව මිනිසා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයකි.
ස්වභාව ධර්මය තුළ මිනිසාට මුහුණ පෑමට සිදුවූ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා චීන සටන් කලාව සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස බිහි විය. එයින් මෙරටට ජනතාවට ද ගත හැකි බොහෝ දේ වන බව මාස්ටර් සීවලී වික්‍රමආරච්චිගේ කියැවීමයි. ඒ හෙයින්ම ඔහු එය මෙරට ජනතාවට හඳුන්වා දීමට ප්‍රමුඛ විය. අදවන විට ලාංකේය සමාජ පරිසරය තුළ චීන සටන් කලාවේ මෙරට සමාජ භාවිත ගණනාවක් ගොඩ නැඟී තිබේ. එහෙත් එවක 70දශකයේදී මෙරට ජනතාවට කුංෆු නම් වන සටන් කලාව පිළිබඳ දැනුමක් නොවිණි.
විශේෂයෙන් දඩබ්බර යෞවනයට හික්මීම විනය සහ කායික මානසික නිසි කළමනාකාරිත්වය පුරුදු පුහුණු කිරීමේ කුංෆු නම් වන නව සටන් කලාව මාස්ටර් සිවලී වික්‍රමආරච්චි විසින් මෙරටට හඳුන්වා දෙන ලද්දේ ඒ අනුවයි. මේ සටන් කලාව මුල්වරට මෙරටට හඳුන්වාදීමේ ගෞරවය ද හිමි වන්නේ මාස්ටර් සීවලී වික්‍රමආරච්චිටය. ඔහු මේ කුංෆු සටන් කලාවේ මෙරට පළමු මාස්ටර් සහ කුංෆු නව සටන් කලාවේ ආරම්භකයා වීම නිසාම ශ්‍රී ලංකාවේ බෲස්ලී ලෙසින් ද විරුදාවලිය ලද්දේය. 70දශකය වන විට සටන් කලාවක් ලෙස ප්‍රචලිතව පැවැතියේ කරාතේ සටන් කලාවයි. මේ නව සටන් කලාව එවක තරුණ ජීවිතවලට වඩා බලපෑමක් එල්ල කළේය.
මේ කාලවකවනානුව වන විට සටන් කලාවක් ලෙස කරාතේ ක්‍රීඩාව වඩා රට පුරාම ප්‍රචලිතව තිබුණත් ඒ හා සමානව මේ නව චීන කුංෆු සටන් කලාව රට තුළ ප්‍රචලිත කිරීමේ කාර්යය මැනවින් ඉටු කිරීමට සිවලී මාස්ටර්ගේ විසින් කටයුතු කරන ලදි. ඒ සඳහා ඔහු කෙටි කලක් තුළ දක්ෂ ගෝල පිරිසක් බිහි කළේය. ඒ හරහා මේ ක්‍රීඩාව වඩා ප්‍රචලිත වීමට මූලික අඩිතාලම වැටුණේය.
ශ්‍රී ලංකාවට චීන කුංෆු සටන් කලාව හඳුන්වා දුන් සීවලී වික්‍රමආරච්චි පසුගිය 22වැනි දින මෙලොවින් සදහට ම සමු ගත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ සටන් කලාවක් මෙරටට ඉතිරි කරමිනි. මේ වනවිට ඔහුගේ ගෝලපරපුර පනස් දහසකට අධික ය. හැත්තෑ තුන්වැනි විය පසු කරමින් සිටි ඔහු පසුගිය 22 වැනිදා රත්නපුරයේ දී සිය නිවෙසේදී හදිසියේ අභාවප්‍රාප්ත විය.
ඔහුගේ බිරිය චින්තා අතුකෝරල වෙයි. ඇය පසුගිය වසරේ මිය ගියාය. දරුදැරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි පිරිමි දරුවා ලෙස මෙලොව එළිය දුටු සිවලීට වැඩිමහල් එක් සහෝදරයෙක් සහ බාල සොහොයුරියන් දෙදෙනෙක් සිටියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන්ම ලාබය ලැබු ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකි. මව ගුරුවරියක වෙයි. කුඩා කලම මහණ දිවියට ඇතුළත් වන සීවලී ඉන් අනතුරුව කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිත විහාරස්ථානයක වැඩ වාසය කළ චීන හිමි නමකගෙන් චීන කුංෆු සටන් කලාව ප්‍රගුණ කළේය.
ඉන් අනතුරුව ඔහු මේ සටන් කලාව මෙරට ව්‍යාප්ත කිරීමේ අරමුණින්ම පැවිදි දිවිය අතහැර 70 දශකයේ මුල භාගයේ මේ ශිල්පය ලබාදීමට සිය ගෝල පරපුරක් ගොඩනැඟීමේ මහඟු කාර්යයේ නිරත විය. ඒ අනුව එතැන් සිට කුරුණෑගල සඳලංකා මධ්‍ය මහ විද්‍යාලයේ සිය සටන් කලාව උගැන්වීම ආරම්භ කළේය.
මේ ශාස්ත්‍රය ලබා දුන් ශිෂ්‍ය පිරිසෙන් වඩා නිපුණ ලෙස ශිල්ප හැදෑරූ ශිෂ්‍යයන් හතර දෙනකු වෙයි.
මේ සිව් දෙනා මේ සටන් කලාව රට පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කළහ. ජයන්ත අබේකෝන් ආර්. බී. විරසිංහ (මැනේ මාස්ටර්) ලෙසින් ද ඔහු හඳුවන්වන අතර නයනා නන්ද එදිරිසිංහ සහ සුනිල් ජයතිස්ස මේ සිව්දෙනා වෙති.
ඔවුහු රට පුරා මේ සටන් කලාව ව්‍යාප්ත කිරීමට වඩාත් ඇප කැපවී කටයුතු කළහ. එසේම මේ පළමු ශිෂ්‍ය පරපුරට අමතරව දෙවැනි තෙවැනි සහ සිවුවැනි ලෙසින් පසුකාලීන මෙරට සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පරපුරක් ද සීවලි මාස්ටර් විසින් රටට දායාද කරන ලදී.
මේ කාලවකවානුවේ රට පුරා මේ සටන් කලාව ප්‍රචලිත කිරීමේ කාර්යයේදි විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. ඒ අභියෝග හමුවේ ඇතැම් විට සීවලි මාස්ටර් හුදකලාව මුහුණ දුන් අවස්ථාද වෙයි. මේ සටන් කලාව ඉදිරියට ගෙන ඒමේදී ඔවුන්ට ඇතැම් අවස්ථාවලදි ප්‍රතිවාදින් සමඟ ගැටුම් ඇති වූ අවස්ථා ද වෙයි. ප්‍රචාරණය සහ අභියෝග හමුවේ මුහුණ දීමට එවකට තාක්ෂණය සහ වෙනත් විධිමත් ක්‍රමවේද නොතිබුණේය. ඒ නිසා නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදු විය. මේ සටන් කලාව හැදෑරූ පිරිස ඒකරාශි කිරීමේ අරමුණින් මාස්ටර් සීවලීගේ ප්‍රධානත්වයෙන් 1987 වර්ෂයේදී කුංෆු සටන් කලාව ප්‍රගුණ කළ ඔහුගේ ගෝල පිරිස විසින් ශ්‍රී ලංකාවේ චීන කුංෆු සටන් කලාවේ සංගමයක් පිහිටුවන ලදි. මාස්ටර් සීවලි සටනේදී අති දක්ෂ සටන්කරුවෙකි. ඔහු හැදෑරූ ශිල්පය මැනවින් හැසිර වූ සටන්කරුවෙකි. පුහුණුවෙහි දක්ෂයෙකි. ඔහුගේ ෙෂ්ඨ ගෝලයන් පවසන ආකාරයට විශ්වාස කළ නොහැකි තරමේ වේගවත් භාවයක් ඔහුගේ දෑත්වල වෙයි. සිය සටන් කලාව 70 දශකයේ මුල් භාගයේ ආරම්භ කර සඳලංකා මධ්‍ය මහ විද්‍යාල වේදිකාවේදී වෙනත් සියලු සටන්කරුවන්ට අභියෝග කළේ තමන් සමඟ සටන් වැදීමට කැමැති නම් වේදිකාව මතට ගොඩවන ලෙසයි.
එහෙත් එම අභියෝගය ගැනීමට කිසිවකු එම අවස්ථාවේ වේදිකාව මතට නැඟුණේ නැත.
එයට හේතුව එම කාලවකවානුව වනවිටත් මොහු දක්ෂ සටන් කලාකරුවෙක් බව ප්‍රචලිතව පැවැතීමයි.
මේ අවස්ථාව ඔහුගේ සටන් කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන ලදි. එහිදී ඔහු විශ්වාස කළ නොහැකි වේගවත්භාවයකින් යුතු විශ්මිත සටන්කරුවකු බව බොහෝ පිරිස් වටහා ගත්හ. ඔහු දිනකට පැය අටක් පමණ පුහුණුවීම් කටයුතුවල නිරත වෙයි.
ඒ සටන් කලාව ඔහු ගුරු මුෂ්ටි තබා ගැනීමකින් තොරව ශිෂ්‍ය පරපුරට දායාද කළ නිසා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් දේශීය විදේශීය ගෝල පරපුරක් ඔහුට විය. එය පනස් දහසකට අධික වෙයි.
80 දශකය වනවිට මාස්ටර් සීවලී විශාල ප්‍රසිද්ධියක් ලබා සිටි හෙයින් “ශිල්ප දෙනු මැන” නම් චිත්‍රපටයේ ඔහු සටන් නළුවෙක් ලෙස රංගනයක යෙදිණි.
රට පුරා විශාල ලෙස ශිෂ්‍යයන් පිරිසක් බිහි කළ ඔහු විවාහයෙන් අනතුරුව පදිංචිව සිටින ලද්දේ රත්නපුර ප්‍රදේශයේය. එම නිසාම එම නිසාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ද වඩා වැඩි ශිෂ්‍ය පිරිසක් ඔහු යටතේ ශිල්ප හදාරා ඇත. කුංෆු සටන් කලාවේ මාස්ටර් සීවලී ටෙනිස් ක්‍රිඩාවේ ද හසල දක්ෂයෙකි.
ඔහුගේ පළමු පරපුර බිහි වන්නේ 70 දශකයේ මැද භාගයේ වන අතර, දෙවැනි පරපුර බිහිවන්නේ 1984 දීය. ලංකාවේ කුංෆු සටන් කලාවේ බොහෝ ගුරුවරුන්ගේ මුල් ගුරුතුමා ඔහු වේ. 80 හා 90 දශකයේ ඔහු විසින් පවත්වනු ලැබූ චීන කුංෆු සටන් කලාව විශාල ආකර්ෂණයක් දිනා ගැනීම නිසා වෙනත් සටන් කලාවන් හැදෑරු ගෝල පිරිසක් ද මාස්ටර් සීවලි වටා එක් රොක්වූහ.
එසේම 2008 වසරේදී ඔහු චීනයට ගොස් චීන විහාරස්ථානවල අභ්‍යන්තර සටන් කලාවන් පිළිබඳ වැඩි දුරටත් හැදෑරීම කරන ලදි.
හැත්තෑතුන් විය පසු කරමින් සිටියදී එනම් ජීවිතයෙන් සමුගන්නා තෙක් ඔහු මේ සටන් කලාව රටේ සියලුම ප්‍රදේශවල දුවා දරුවන්ට පුහුණු කිරීමේ කටයුතුවල නිරතව සිටියේය. තමන් හැදෑරූ විෂය වෙනුවෙන් ලංකාවේ කිසිදු සටන් පුහුණුකරුවකු මේ තරම් කැපවීමක් සිදුකර නැති බව සක්සුදක් සේ විශ්වාස බැව් ඔහුගේ දෙවැනි ගෝල පරපුරේ දක්ෂ සටන්කරුවකු වන නිරෝෂන් හේරත් පවසයි.
ඇතැම් මිනිසුන් ජීවත්ව නොසිටියත් මිනිසුන් අතර සැමදා ජීවමානය. එවැනි චරිතයක් වන කුංෆු නම් වන සටන් කලාවේ මහ පුරුක නික්ම ගිය ද ඔහු සදා අමරණීය වෙයි. හික්මීම, විනය පුහුණු සිය ගෝල පරපුරට පුරුදු පුහුණු කළ මාස්ටර් සීවලී ද එවැනි පුද්ගලයෙකි.
වඩා දියුණු සටන් කලා ශෛලියක් රටට දායාද කර සදා අමරණීය මිනිසකු ලෙස ඔහු නික්ම යන බව ඔහුගේ ශිෂ්‍යයකු වන බුද්ධික සුබසිංහ අප සමඟ අවසන් වශයෙන් පැවැසුවේය.
සුභද්‍රා දේශප්‍රිය