Home » දශක නවයක කාව්‍ය මතකයට සමුදී කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන නික්ම යයි

දශක නවයක කාව්‍ය මතකයට සමුදී කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන නික්ම යයි

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ලංකාවේ කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් අතර කාව්‍ය රචනයටත් හිටිවන කවියෙන් සහ විවිධ කලා මාධ්‍ය තුළින් ප්‍රතිභා සම්පන්නව ජනතා ප්‍රසාදය දිනාගත් කවීන් අතළොස්ස අතර සිටි ජ්‍යෙෂ්ඨතම කවියා කිරළගහවෙළ මාර්ටින් ජයවර්ධන පසුගියදා සිය දිවියට සමුදුන්නේ ය.

1925 ජූලි 10 වනදා ගාල්ල වැල්ලබඩපත්තුවේ මැටිවල ගම්පති කොට්ඨාසයට අයත් කිරළගහවෙල නමැති ගමේ සිංහලේ ගෙදර නමැති නිවෙසේදී ඔහු උපත ලැබීය. කුරුඳු ඉඩම් සහ කුඹුරු හිමි ගොවියකු වූ ජෝන් ජයවර්ධන අප්පුහාමි පියාය. බද්දේගම හැම්මෑලියේ දූවවත්තේ කර්ලැයින් දම්මුල්ල ලොකු හාමිනේ ඔහුගේ මෑණියන්ය. දරුවන් නවදෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැන්නා මාර්ටින් ජයවර්ධනය.

ඔහුට වැඩිමල් සහෝදරයන් දෙදෙනෙකි. බාල සහෝදරියන් සිවුදෙනෙකි. බාල සහෝදරයන් දෙදෙනෙකි.

මාර්ටින් ජයවර්ධන හෝඩි පොත කියවූයේ තෙල්වත්ත ශ්‍රී රාහුල පාසලෙනි. ඒ වන විට කිරළගහවෙල ගමට පාසලක් තිබුණේ නැත. එතැන් සිට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වන තුරුම එම පාසලේ සිප් සතර හැදෑරූ ඔහු හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහාය.

පාසල් වියේදීම නිහඬවම කාව්‍ය රචනය ආරම්භ කළ කිරළගහවෙල යෞවනයා වයස 19දී එනම් 1944දී මහානාම දිසානායකයන් කර්තෘත්වය දරන ‘පෙරමුණ‘ නමැති පුවත්පතට ‘ගොවියකුගේ උදන්‘ නමින් සිය ප්‍රථම කවි පෙළ රචනා කරමින් කරලියට පිවිසියේය.

ඉන් පසුව 1940, 1950, 1960 යන දශකවල කවිය බබළවමින් ජනප්‍රියව පැවැති සුවඳ, දේදුන්න, මීවදය, දියඇල්ල, කළු ගඟ, පබළු, රස බුබුල වැනි කවි සඟරාවල කිරළගහවෙල කවියාගේ කවිත්වය මැනවින් ප්‍රකට විය.

එකල ජාතික පුවත්පත් අතර කවියට ඉහළ තැනක් ලබාදුන් සිළුමිණ පුවත්පතෙහි කිරළගහවෙල කිවිඳුන්ගේ කවිපෙළක් මුල්වරට පළවී ඇත්තේ 1948 නොවැම්බර් 14 වන ඉරුදිනය. එම කවි පන්තිය ‘රජදුව සහ රොඩී කෙල්ල‘ ය.

කිරළගහවෙල කවියාගේ ඡායාරූපයක් පුවත්පතක පළමුවරට පළ වන්නේ අහම්බෙන්ය. කොළඔ කොටුවේ රෙදිපිළි පාලන දෙපාර්තමේන්තුවේ එකල ඔහු සේවය කරනා සමයේ කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයෙන් ‘ලංකාදීප‘ නමින් අලුතින් පුවත්පතක් එළිදැක්වුණ බවට ආරංචි වී ඇත.

එහි පළමු පිටපත මිලට ගන්නට කොටුවට ගිය කිරළගහවෙල කවියා අහඹු ලෙස ලංකාදීප කැමරාවට හසුව ඇත්තේ එදින උණු උණුවේ අලෙවි වන ලංකාදීප පුවත්පත මිලදී ගැනීමට පත්තර පෝලිමේ සිටිනා තුන්වෙනියා හැටියටය.

එම ඡායාරූපය ඊට පසුදින ලංකාදීප සහ ටයිම්ස් යන පුවත්පත් දෙකෙහිම පළවී ඇත.

1945 වසරේදී රෙදිපිළි පාලන දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය සේවයට පිවිසි ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මාතර මහ දිසාපති කාර්යාලවල සේවය කොට සිය 38 වසරක රාජකාරි දිවිය නිමා කරන්නේ 1982දී පළමුවන පන්තියේ විධායක නිලධාරියකු ලෙස මාතර මහ දිසාපති කාර්යාලයෙනි.

චතුර ලෙස ඉංග්‍රීසි බස ද හැසිරවිය හැකි කිරළගහවෙල කවියා ජනාධිපති සම්මාන පහක් දිනා ගනිමින් වාර්තාවක් ද පිහිට වූ අයෙකි.1974 සිට 1977 දක්වා එම ජනාධිපති සම්මාන හිමිව ඇත්තේ කාව්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය ලෙස ද, කාව්‍ය ග්‍රන්ථ සඳහා ප්‍රථම සහ දෙවන ස්ථාන වශයෙන් ද, කවි කොළ රචනා සඳහා ජනාධිපති සම්මාන ප්‍රථම ස්ථාන එකක් සහ දෙවන ස්ථාන එකක් ලෙස වසර පහක් තුළය.

කිරළගහවෙල කවියාගේ හිටිවන කවි හැකියාවේ විශේෂත්වය ලෙස විචාරකයන් දකින්නේ ඉතා පෘථුල වූ වාග් මාලාව සහ සිංහල ශබ්දකෝෂයේ ඇති පැරණි සිංහල හා පාලි, සංස්කෘත වචනවලින් බිඳි ආ වචන පවා නිවැරැදි තැනට නිවැරදි ලෙස ගළපා මයික්‍රොෆෝනය ඉදිරියේ කල් නොමරා මතක් කර ගැනීමේ සහජ කුසලතාව බවත්, ඔහු කිසිවිටකත් එළිවැට සුරැකීම පිණිස අරුත් සුන් වචන කවියට නොරිංග වූ බවත්, ඇවැසි තැනට සරල කවියත්, ඇවැසි තැනට සභාව හිනස්සන දෙපිට කැපෙන කවියත්, ගැඹුරු බහුශ්‍රැත කවියත් එක විට යොදා ගැනීමට ඔහු සතු හැකියාව ඉතා දුර්ලභ බවයි.

1940 දශකයේ සිට මේ දක්වා දිවයිනේ ප්‍රකට කවි සඟරාවලට කවි සැපයීම, 1967 ගාල්ල මහ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් පැවැති පද්‍ය රචනා සහ හිටිවන කවි තරග දෙකේම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම් සහ පළිහ දිනා ගැනීම, 1974 සිට 1977 දක්වා අඛණ්ඩව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සමස්ත ලංකා සිහිත්‍ය මණ්ඩලය ඒකාබද්ධව පවත්වන ලද කාව්‍ය තරගවලදී ජනාධිපති සම්මාන පහක් (05) දිනා ගැනීම, 1986 රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් කවියකු වෙනුවෙන් පිරිනැමූ උසස්ම කලාභූෂණ සම්මාන රන් පදක්කම ලබාගැනීම, 2016 ලෝක කවි දිනය වෙනුවෙන් රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ප්‍රදානය කළ ජාතික කවියන් 05 දෙනකු හට පමණක් පිදූ සම්මාන අතරේ එක් සම්මාන ලාභියකුවීම, 2021 අස්පර්ශ උරුම රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ කලාකීර්ති සම්මාන ලාභීන් තිදෙනා අතරින් ප්‍රථමයා වීම (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලා කීර්ති සම්මාන 2021 ප්‍රවීණ කිවිවර මාර්ටින් ජයවර්ධන, ප්‍රවීණ කිවිවර පියසේන රතුවිතාන, ප්‍රවීණ කිවිවර පාතකඩ කුලතිලක) යන අවස්ථා කිරළගහවෙළ කිවිඳුන්ගේ ජීවිතයේ මෙතෙක් ආ ගමනේ මතක සටහන් අතර වේ.

ඔහු ලබා ඇති ගෞරව නාම අතර කලා භූෂණ සම්මානය (1986), කිවිපති සුවිශේෂී සම්මානය, කිවි සක්විති සම්මානය, කාව්‍ය වජ්‍ර සම්මානය, සාහිත්‍ය කීර්ති සම්මානය, රුහුණු පහන්සිළු ජාතික සම්මානය, රුහුණු ප්‍රභා රාජ්‍ය සම්මානය, රෝහණ පුත්‍ර සම්මානය, කාව්‍යශ්‍රී ස්වර්ණජෝති සම්මානය, රුහුණු මහා කිවිසුරු සම්මානය, දේශබන්ධු කලාශූරී සම්මානය සහ දිවයිනටම සාමවිනිසුරු නාමය ද වේ.

1953 වසරේදී රාජ්‍ය සේවිකාවක් වූ දීයගහ චන්ද්‍රා විදාන පතිරණ නම් ප්‍රකට කිවිඳිය සමග විවාහ දිවියට ඇතුළත් වූ කිරළගහවෙල කිවිඳුන් ඉන්ද්‍රා, චන්ද්‍රිකා, විජිතා, චම්පිකා යන දියණියන් සිවුදෙනාගේ ද රන්ජන්, ජගත් යන පුතුන් දෙදෙනාගේ දයාබර පියාණන් ද වෙයි. රන්ජන් ගාමිණී ජයවර්ධන කලක් තිස්සේ සිළුමිණට තීරුලිපි රචනා කරන ප්‍රකට රචකයෙකි.

තම අනූ අටවැනි උපන්දිනය සමරා තවම ගත වූයේ මාස 5ක් වැනි කෙටි කාලයකි. සඳැස්කරණයේ සහ හිටිවන කවි ගායනයේ සමත්කම් දැක්වූ කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන කවියා දෙසැම්බර් 27 වැනි බදාදා දින සිය ජීවිතයෙන් සමුගත්තේය. දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වුණේ දෙසැම්බර් 29 වන සිකුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී ය. කිරළගහවෙල මාටින් ජයවර්ධන දශක 9ක දිවිසැරිය නිමකොට නික්ම යන්නේ ඒ පරම්පරාවේ අවසන් නිර්මාණකරුවා වශයෙනි. සඳැස් කාව්‍ය ක්ෂේත්‍රයේ මකාලිය නොහැකි හිදැසක් තබා නික්ම යන මාටින් ජයවර්ධන කිවිඳුන්ට සංසාරය දීර්ඝ නොවේවා යැයි පතනෙමු.

ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division