Home » ඉටිබෝලය

ඉටිබෝලය

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

Boule de Suif යනු නූතන කෙටිකතා කලාවේ සමාරම්භකවරුන් අතුරින් කෙනෙකු ලෙස ගැනෙන ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං (1850 – 1893) විසින් රචිත ප්‍රථම කෙටිකතාවයි. මෙහි ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක්ම ඇත. ඒවායින් කිහිපයක සිරස්තලය ලෙස යොදා ඇත්තේ මෝපසාං ප්‍රංශ බසින් යෙදූ Boule de Suif ම වන අතර වෙනත් ඉංග්‍රීසි නම් ද යොදනු ලැබ ඇත. Ball of Tallow ඉන් එකකි. Tallow යන්නේ අරුත සත්ත්ව මේදයෙන් තනන ඉටි යන්නයි. මෙහි සිංහල පරිවර්තනය ඉටිබෝලය යනුවෙන් නම් කරන ලද්දේ එහෙයිනියි පරිවර්තක කේ.ජී. කරුණාතිලක පෙරවදනේ සඳහන් කරයි.

1880 දී Boule de Suif නිමැවීමෙන් පසු ඔහු විසින් ලියන ලද කෙටිකතා සංඛ්‍යාව 300 පමණ වෙතැයි පැවසේ. එහෙත් ඒ සියලු කෙටිකතා අතුරින් ප්‍රශස්තම නිර්මාණය ලෙස සැලකෙන්නේ මෙයයි. ඊට අමතර ව නවකතා හයක්, එක් කාව්‍ය සංග්‍රහයක් සහ චාරිකා සටහන් පොත් තුනක් ඔහු ලියා ඇත. මේවා බොහෝමයක් අභිසාරිකාවන් ඇසුරින් නිර්මාණය වීම විශේෂයක් ලෙස විචාරකයෝ දකිති. එසේ ම ඒවා මනස විග්‍රහ කෙරෙන තාත්ත්වික කෘති ය. මේ අග්‍රගණ්‍ය ලේඛකයා අවුරුදු 43 ක් වැනි කෙටි කලකින් මෙලොව හැර යන්නට හේතුව අභිසාරිකාවන් ඇසුරින් ඔහුට උපදංශය බෝවීම නිසා බව පැවසේ.

1870 මැයි සිට 1871 ජූලි දක්වා ප්‍රංශය හා වර්තමාන ජර්මනියේ රයින්ලන්ඩ් පළාත අතර පැවැති යුද්ධය ෆ්රැන්කෝ – ප්‍රසියානු යුද්ධයයි. එය පසුබිම් කැර ගත් කෙටිකතා විශාල සංඛ්‍යාවක් මෝපසාංගේ නිර්මාණ අතර තිබේ. වචන 14,500 පමණ දිගැති මේ කෙටිකතාව ද එබන්දකි. එසේම එය අභිසාරිකාවක් නාභිගත කරමින් ලියන ලද්දකි. මෙහි ඉටිබෝලය හෙවත් ‘තෙල් කෑල්ල’ ලෙස හැඳින්වෙන්නේ ඒ ස්ත්‍රියයි. අභිසාරිකාවන් හැඳින්වීමෙහිලා වර්තමානයේ පවා භාවිත ‘තෙල් කෑල්ල’ යන වදනට දිගු ඉතිහාසයක් ඇති බව මින් වටහා ගත හැකි ය.

පර්සියානු හමුදාව දැන් ප්‍රංසයේ රුවෙන් නගරය අල්ලා ගෙන සිටියි. විදේශිය ආක්‍රමණික හමුදාව පිළිකුල් කරන ඒ නුවර වැසියෝ නගරය හැර දමා පළා යමින් සිටිති. එහෙත් හිමපතනයේ දැඩි ස්වභාවය නිසා එය පහසු කටයුත්තක් නොවේ. එක්තරා අලුයමක රුවෙන් නගරවාසීහු පිරිසක් ප්‍රසියානු හමුදාවට එතෙක් යටත් වී නැති ලා හාර්වේ නම් නගරයට යාම සඳහා හය රියකින් ගමන් අරඹති. දස දෙනෙක් ඇතුළත් මේ කණ්ඩායම මධ්‍යම පාන්තික සාප්පු හිමිකාර ලොයිසී සහ ඔහුගේ බිරිය, ධනපති පන්තියේ කම්හල් හිමි කාරේ ලැමේදෝං යුවළ, වංශාධිපති බ්‍රෙවිල් හා ඔහුගේ දේවිය, පූජකවරියන් දෙදෙනෙක්, රැඩිකල් දේශපාලන ක්‍රියාධරයකු වන කොර්න්‍යුදේ, සහ එලිසබෙත් රුසෙත් නම් අභිසාරිකාව යන දස දෙනාගෙන් සමන්විත ය. මෙනයින් එකල ප්‍රංශයේ විසූ සෑම පන්තියකටම අයත් ජනයාගේ නියෝජනයක් රිය තුළ විණැයි සැලකිය හැකි ය.

එළිය වැටුණු පසු තෙල් කෑල්ල හඳුනා ගන්නා ඔවුහු පිළිකුළෙන් ඇයගෙන් දුරස්ව සිටින්නට උත්සාහ කරති. කිසිවකු දිවා ආහාරය සඳහා යමක් ගෙනැවුත් නොතිබුණෙන් දවස ගෙවෙත් ම කුසගින්න දැඩිව දැනෙන්නට පටන් ගනියි. කොන්‍යුදේ දුන් රම් බෝතලයකින් උගුරු දෙකක් බිවූ ලොයිසි යෝජනා කරන්නේ කිසියම් කතන්දරයක දැක්වෙන පරිදි ජීවිතාරක්‍ෂක බෝට්ටුවක නිරාහාර වැ සිටි මගීන් පිරිසක් තමන් අතර සිටි තරබාරු අයකු මරා කෑම ආදර්ශයට ගත යුතු බවයි. ඒ තෙල් කෑල්ල ඉලක්ක කැර කියූවකි.

තෙල් කෑල්ල මේ ගමනට සූදානම්ව පැමිණ ඇත්තේ දින දෙකකට පමණ ප්‍රමාණවත් ජලය සහ ආහාර ද ඇතිවය. ඇය සාගින්නේ සිටිනවුන්ට සිය අසුන යට තිබූ පැසකින් ගත් කෑම බෙදා දෙයි. කුසගිනි උහුලා ගනු නොසමත් වැදගත්තු වෙසඟනගේ අහර ප්‍රතික්‍ෂෙප නොකර බුදිති. ඉන්පසු ඔවුනතර කිසියම් මිතුරු බවක් ඇති වේ. රිය සෙමෙන් ගමන් ගෙන තෝතේ නම් ගම් පියසේ තානායමක් වෙත එළැඹෙයි. තමන් සතු අවසරපත් පෙන් වූ පසු මගීන්ට එහි රාත්‍රී නවාතැන් ගන්නට ඒ පෙදෙස යටත් කැර ගෙන සිටින පර්සියානු නිලධාරියාගෙන් අවසර ලැබෙයි.

එදින රාත්‍රී පර්සියානු නිලධාරියා තමා හමු වන ලෙස දන්වා තානායම්කරු අත තෙල් කෑල්ලට පණිවුඩයක් එවයි. තෙල් කෑල්ල ගිය පයින්ම ආපසු එන නමුත් කාරණය අනෙකුන් හා නොකියයි. පසුදා පිටත් වන්නට සූදානම්ව බලන ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නේ පිටත්ව නොයන ලෙස රියකරුට අණක් ලැබී ඇති බවයි. ඒ ගැන විමසන්නට නිලධාරියා හමුවට යන පිරිමින්ට හේතුවක් නොකියන නිලධාරියා පවසන්නේ තමා එය තහනම් කළ බව පමණි. එදිනද එහිම නවතින්නට ඔවුන්ට සිදුවෙයි. එදා රැයේ තානායම්කරු පැමිණ විමසන්නේ එලිසබෙත් රුසෙත් මෙනෙවියගේ සිත වෙනස්වෙලා දැයි දැන ගන්නට නිලධාරිතුමා කැමැත්තෙන් සිටිනා බවයි. සිත වෙනස් වී නැති බව දන්වා යවනු ලැබේ. ඒ අනුව පසුදාද තහනම ක්‍රියාත්මක වේ. මෙයින් සියල්ලෝ අපහසුතාවකට පත්වෙති. වැදගත් කුල කතුන්ගේ අදහස වනුයේ ඇය ගණිකාවක් නිසා ඕනෑම කෙනෙක් සමඟ යහන්ගත වන්නට ඇය බැදී සිටින බවයි. එහෙත් තෙල් කෑල්ල කියන්නේ ඒ පර්සියානු සමඟ නිදි වඳින්නට ඇය කිසිදා නො එකඟ වනු ඇති බවයි. ඒ නොකැමැත්ත වෙනත් හේතුවක් නිසා නොව හුදෙක් දේශානුරාගය නිසා ඇය විදෙස් සොල්දාදුවන් පිළිකුල් කරන හෙයිනි. ඇගේ කැමැත්ත සඳහා සිටුවර බ්‍රෙවිල් සියුම් සැලැස්මක් පිඹුරුපත් කරයි. නොකරම බැරි අවස්ථාවල මිනිසුන් ඕනෑම දෙයක් කරන බව ඇයට ඒත්තු ගැන්වෙන කතන්දර කියනු ලැබේ. සිටුවරියගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මාළු කන්‍යා සොයුරිය කියන්නේ ශාන්තුවරුන් පවා ඇතැම් විට අපරාධ සිදු කොට ඇති බවත්, අරමුණු යහපත් නිසා දෙවියන් වහන්සේගේ සමාව ඔවුන්ට ලැබුණ බවත් ය. මේ අනුව නිලධාරියා වෙත යාමට තෙල් කෑල්ල පෙලඹෙයි.

පසුදා ගමනට අවසර ලැබෙයි. එදින උදේ කුල කතුන් සිටින්නේ ඇය නොහඳුනන්නාක් මෙනි. පිරිමි ද පෙර දා පැවැති හිතවත්කම නොපාති. දෙවරක්ම ඇය සඳහා උත්සාහ කොට අසමත් වූ කොන්‍යුදේ පවා කලබලයත් වික්‍ෂොභයත් නිසා තෙල් කෑල්ලට කෑමට යමක් ගෙන එන්නට අමතක වෙයි. දහවල් වන විට සියල්ලෝ ඇය නොහඳුනන්නාක් මෙන් තමන් තානායමෙන් ගෙනා අහර පිඬක් හෝ ඇයට නොදී තනි තනිව බුදිති.

ඔවුන් වෙනුවෙන් තමන් පිදේනියක් බවට පත් වූ අයුරු මෙනෙහි කරන තෙල් කෑල්ල කෝපයෙන් හා ශෝකයෙන් හඬන්නට වෙයි. කන්‍යා සොයුරියෝ කිසිවක් නොදන්නාක් මෙන් ඉතිරි වූ සොසෙජස් මතු ප්‍රයෝජනය පිණිස මලුවල බහා ගනිමින් නැවත යාඥාවට පිවිසෙති. ‘ඒකි අඬන්නේ ඒකිට වෙච්චි ලැජ්ජාවට වෙන්නැති’ ලොයිසී බිරිය කියයි. ඔවුන්ගේ පෙළැඹවීමෙන් පර්සියානු නිලධාරියාට කය පිදූ තමා දැන් දේශ ද්‍රෝහියෙකි. කුස සතපා ගත් ඉක්බිති සියල්ලෝ දේශප්‍රේමි ගීයක් අරඹති. ඇය සාගින්නෙන් පෙළෙමින් නොනවත්වා ම හඬන්නී ය.

මේ කතාව මිනිසුන්ගේ ඊනියා සදාචාරයේ කුහක බව මැනැවින් විදහාපාන්නක් ලෙස විචාරකයෝ අගයති.

මේ කෙටිකතාව කේ.ජී.කරුණාතිලක විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඉටිබෝලය නමින් ‘ඉටිබෝලය සහ වෙනත් කතා’ නමැති කෘතියේ ඇතුළත් ය. තවද මේ කතාව ටී. අන්ද්‍රාදි සහ ඊ.ආර්. එරත්න යන අය විසින් ද සිංහලට පරිවර්තනය කරන ලද බව සඳහන් ය.

මෙහි සඳහන් කළයුතු විශේෂ කාරණයක් වන්නේ ‘ඉටිබෝලය’ නම් මේ කෘතියේ මෝපසාං සහ ඔහුගේ නිර්මාණ ගැන පිටු 45ක් පුරා දිවෙන දිගු විස්තරයක් ඇතුළත් බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division