Home » මෛත්‍රියෙන් ප්‍රතිවාදීන් දමනය කරන්නේ මෙහෙමයි
සතිමත් බවට පසුවදනක්

මෛත්‍රියෙන් ප්‍රතිවාදීන් දමනය කරන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

– මහපොළොව මෙන් මෛත්‍රී සහගත සිතුවිලිවලින් යුතු පුද්ගලයා තරහ හෝ ක්‍රෝධය විසින් සෙලවිය නොහැකිය
– කුඩා කල සිටම ඉවසීම, කරුණාව, මෘදු බව පුහුණු කළහොත් මෛත්‍රිය අපගේ ජීවිතයේ අංගයක් බවට පත්වෙයි

න්‍යයන්ගේ අකාරුණික ක්‍රියාවලට සමාව දීමට අපට හැකිවන ආකාරය ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. විශේෂයෙන්ම අන්‍යයන් වෙත මිත්‍රශීලී බවෙන් යුතුව සිටීමට අපි ඉගෙන ගනිමු.

එහෙත් ඔබට කිසිවකු හිරිහැර කළොත්? බැණ වැදුණහොත්? ඊට ප්‍රතිචාර දක්වන්නට සිතීම සාමාන්‍ය මානුෂික ප්‍රතිචාරයයි. එහෙත් එයින් එහාට සිදුවන්නේ කුමක්ද? “වෛරයෙන් වෛරය කිසිදාක නොසන්සිඳේ” යැයි ධම්මපදය කියයි. ප්‍රකෝපකාරී ප්‍රතිචාරය තවත් ප්‍රකෝපයකට පාර කපයි. කෝපයට මෛත්‍රියෙන් ප්‍රතිචාර දැක්වූයේ නම් අනෙක් තැනැත්තාගේ කෝපය ඇවිළෙන්නේ නැත. එය ටිකින් ටික පහව යා හැකිය. “අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන” බව ධම්ම පදය තවදුරටත් උගන්වයි.

බුදුරජාණන් වහන්සේට සතුරු වූ දේවදත්ත භික්ෂුව උන්වහන්සේ මැරීමට උපායක් යෙදීය. නාලාගිරි නම් ඇතකුට රා පොවා ප්‍රකෝප කොට බුදුරජාණන් වහන්සේ වඩිනා මඟට මෙහෙය වීය. මඟ දෙපස සිටි සියලු දෙනා පැන දිවූහ. බුදුරජාණන් වහන්සේට මඟින් ඉවත් වන ලෙස හැමදෙනා අනතුරු ඇඟවුවද පිටුපසින් වඩිමින් සිටි අනඳ තෙරණුවෝ උන්වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අදහසින් බුදුරදුන් ඉදිරියෙන් සිටගත්හ. අනද හිමියන්ගේ කායික ශක්තියෙන් පමණක් ඇතා නවතාලිය නොහැකි බව දත් බුදුරජාණන් වහන්සේ අනඳ තෙරණුවන්ට පසෙකට වන ලෙස දැන්වූහ.

ඇතා බුදුරජාණන් වහන්සේ වෙත හිස ඔසවා, කන් පෙති කෙළින් කර, හොඬ ඉහළට ඔසවාගෙන ප්‍රකෝපයෙන් උමතුව පහරදීමට සැරසී දිව ආවේය. බුදුරජාණන් වහන්‌සේ නොසැලී සිටගත් වනම සිට, මෙම තිරිසන් සතා වෙත අපමණ වූ මෛත්‍රී කරුණා සිතුවිලි මුදා හැරි සේක. ඇතා ගල් ගැසුණාක් මෙන් එතැනම නැවතුණේය. බුදුරදුන් ඇතා ඉදිරියේ සිට දකුණත අභය මුද්‍රාවෙන් ඔසවා ඔහු වෙත මෛත්‍රිය මුදා හැරියහ. ඇතා බැටළු පැටවකු මෙන් කීකරුව බුදුරදුන් ඉදිරියෙහි දණින් වැටුණේය. මෛත්‍රියෙහි අසීමිත බලය පමණක් යොදා ගනිමින් මාරාවේශ වූ තිරිසන් සතෙක් මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද්දේය. කෝපයට කෝපයෙන් පිළිතුරු දීම, සහජ ප්‍රතික්‍රියාවකට වඩා ආරෝපිත ප්‍රතික්‍රියාවකි. කුඩා කල සිටම ඉවසීම, කරුණාව, මෘදු බව පුහුණු කර තිබුණේ නම් මෛත්‍රිය අපගේ ජීවිතයේ අංගයක් විය හැකිව තිබුණි. එය පුරුද්දක් වන බවට පත්වන බැවිනි. එසේ නැති වූ විට කෝපය හෙවත් තරහ අපේ පුරුද්ද බවට පත්වේ. කෙසේ වුවත්, වැඩිහිටියන් ලෙස වුවද අපගේ පුරුදු ප්‍රතිචාර වෙනස් කිරීමට අපට හැකියාව තිබේ. වෙනත් අන්දමකට ප්‍රතිචාර දැක්වීමට අපට පුහුණු විය හැකිය.

පරුෂ වචන හා නින්දා කිරීම්වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ දැයි උගන්වන තවත් කතාවක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපට දැකගත හැකිය. බුදුරජාණන් වහන්සේට සතුරු වූ පිරිසක් චිංචා නම් ගණිකාවකට අල්ලස් දී ඇය ලවා උන්වහන්සේට නින්දා අපහාස කරන්නට සැලැස්වූහ. ඈ ඇගේ ඇඳුමට යටින් දර මිටියෙක් බඩ බැඳගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසන දම් සභා මණ්ඩපය ඉදිරියට පැමිණ මෙසේ නින්දා කරන්නට වූවාය. “හොර මුඩු මහණ, තොපි කිසිත් නොදන්නා මුනිවරයකු සේ මේ ජනකායට දහම් දෙසමින් සිටින්නෙහිය. එසේ වුවද තෝ මට කළ දේ බලව, මම දැන් තොප නිසා ගැබ්ගෙන සිටිනු නොපෙනේ දැ”යි විචාලාය. බුදුරජාණන් වහන්සේ කිසිදු තරහවකින්, ක්‍රෝධයකින් තොරව සන්සුන්ව ඈට පිළිතුරු දුන්හ. උන්වහන්සේගේ කටහඬෙහි ගැබ්ව තිබුණේ මෛත්‍රී කරුණාව පමණකි. “නැඟණිය, සිදුවූ දේ දන්නේ ඔබත් මාත් පමණය” බලාපොරොත්තු නොවූ මේ පිළිතුරෙන් ඈ තැති ගත්තාය. ඇගේ කම්පනය කෙබඳු වීදයත් ආපසු හැරුණු ඈ පය පැකිලී බිම වැටුණි. දරමිටිය බැඳ තිබූ රැහැන් බුරුල් වී එය විසිරී ගියේය. දුටුවන්ට සියල්ල වැටහිණ. එහි සිටි ඇතමකු ඇයට හිංසා කරන්නට තැත් කළ ද බුදුරජාණන් වහන්සේ ඔවුන් වැළකූහ. ඇයට උපකාර විය යුත්තේ හිංසාවෙන් නොව ධර්‍මය අවබෝධ කර ගැනීමට උපකාරි වීමෙනි. එය වඩාත් ප්‍රතිඵලදායි දඬුවම යැයි උන්වහන්සේ වදාළහ. ඇය බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්‍මය ඉගෙනගත් පසු ඇගේ පෞරුෂය සම්පූර්ණයෙන් වෙනස් විය. ඈ මුදු මොළොක්, දයා කරුණා පිරි තැනැත්තියක් වූවාය. යම්කිසි කෙනෙක් ඔබ ප්‍රකෝප කරවීමට හෝ ඔබට රිදවීමට යමක් කරයි නම්, ඔහු වෙත මෛත්‍රි සහගත සිතින් යුතුව සිටින්න. එබඳු සිතුවිලිවලින් යුතුව සිටින පුද්ගලයා මහ පොළොව වැනි යැයි බුදුහු වදාළහ. මහපොළොව කැණීමෙන්, එය අතුරුදන් කිරීමට කෙනෙකු තැත් කරන්නේ නම් එය නිශ්ඵල ක්‍රියාවක් වන්නේය. ඔහුගේ මුළු ජීවිත කාලය මුළුල්ලේම ඔහු එම ක්‍රියාවෙහි යෙදී සිටිය ද ජීවිත කාල ගණනාවක් තිස්සේ එසේ කළ ද මහපොළොව අතුරුදන් කළ නොහැකිය. එය කිසිදු බලපෑමකට යටත් නොව, කිසිදු අඩු වීමකින් තොරව එසේම පවතී. එබඳු මහපොළොව මෙන් මෛත්‍රී සහගත සිතුවිලිවලින් යුතු පුද්ගලයා ද තරහ හෝ ක්‍රෝධය විසින් සෙලවිය නොහැකිය. බුදුරදුන්ගේ ජීවිත කාලයේදී සිදුවූ තවත් කතාවක් මෙසේය. අක්කෝසිත නම් මිනිසෙක් විය. “අක්කෝසිත” යන්නෙහි තේරුම “කෝප නොවන” යන්න. නමුත් මේ පුද්ගලයා නිතරම කෝප වන්නෙකි. බුදුරජාණන් වහන්සේ කිසිදාක කෝප නොවන්නේ යයි ඇසූ ඔහු උන්වහන්සේ හමුවට යෑමට තීරණය කළේය. ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් උන්වහන්සේට නොයෙක් අවලාද කියමින් නම් පට බඳිමින් නින්දා අපහාස කළේය. ඔහුට සවන්දී සිටි බුදුරජාණන් වහන්සේ, තමන්ට නෑදෑ හිතමිතුරන් ඇද්දැයි ඔහුගෙන් විචාළහ. “එසේ යැ”යි ඔහු පිළිතුරු දුන්නේය. “ඔබ ඔවුන් දැකීමට යන විට ඔවුන්ට තෑගි බෝග ගෙන යන්නේද?” “සත්තකින්ම, හැමවිටම තෑගි බෝග ගෙන යමි.” “ඔවුන් ඔබේ තෑගි බෝග භාර නොගත්තොත් ඔබ කුමක් කරන්නේද?”

“මම ඒවා ආපසු ගෙදර ගෙන ගොස් මගේ අඹු දරුවන් සමඟ රස විඳින්නෙමි”

“එසේ නම්, අද ඔබ මට තෑග්ගක් ගෙනවුත් තිබේ. මම එය භාර නොගතිමි. කරුණාකර එය ආපසු ගෙදර ගෙන ගොස් ඔබගේ අඹුදරුවන් සමඟ භුක්ති විඳින්න”

ඉවසීම, හාස්‍යය හා මෙත් සිතුවිලි තුළින් ප්‍රකෝපකාරී වචන නමැති “තෑගි” පිළිබඳව අප සිතන විදිය වෙනස් කර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ අපට ආරාධනා කරති. අපවාද හා ප්‍රකෝපකාරී වචනවලට සතිමත් බවෙන් හා මෙත් සිතින් යුතුව මුහුණ දෙන්නේ නම් ඇතිව තිබෙන තත්ත්වය දෙස වඩා අවධානයකින් බලන්නට අපට හැකිවේ. සමහරවිට කතාකළ තැනැත්තා හෝ තැනැත්තිය තමා කියන්නේ කුමක් දැයි නොදැන සිටියා විය හැකිය. සමහර විට කියූ දෙය ඔබට අහිතකින් නොකීවා විය හැකිය. එය සම්පූර්ණයෙන්ම අහිංසක හෝ නොහිතා කියූ දෙයක් විය හැකිය. සමහරවිට කියූ දේ ගැන ඔබ හිතූ හැටි විය හැකියි. සමහර විට කියූ දේ ඔබට හරි හැටි නෑසුනා හෝ වැරදි විදියට තේරුම් ගත්තා විය හැකිය. ඔහු / ඈ කියන දේ කුමක් දැයි සැලකිල්ලෙන් අසා සිටීම වැදගත්ය. ඔබ කෝපයෙන් ප්‍රතිචාර දැක්වුවහොත්, ඔබට ඇසෙන වචනවල නියම අදහස මග හැරෙන්නේය. සමහර විට ඔබ ඇසිය යුතු දෙයකට ඔහු ඔබගේ අවධානය යොමු කරනවා විය හැකිය.

(විශ්ව මෛත්‍රිය සිදු කරන අයුරු මේ ලිපි පෙළේ අවසන් ලිපිය ලෙසින් මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division