Home » ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව නව වසරේ ඔබේ පලාපල

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව නව වසරේ ඔබේ පලාපල

by Mahesh Lakehouse
December 30, 2023 12:33 am 0 comment

නව වසරේ හිරු උදාවේදී ධනු රාශිය ලග්නය සේ මතු වෙයි

අපට අලුත් අවුරුද්ද උදාවන්නේ ක්‍රිස්තු වර්ෂ 2024 ජනවාරි මාසයේ 01 වැනි සඳු දින සූර්යයාගේ උදාව සමඟය. මේ අලුත් අවුරුද්දේ අපට හිරු උදාවන අවස්ථාවේදී ධනු රාශිය ලග්නය ලෙස මතු වෙයි. එම අවස්ථාවේදී අහස් තලයේ අනෙක් ග්‍රහයන් සිටියේ මෙසේය.

අලුත් අවුරුද්ද උදා වන විට නැඟෙනහිර ක්ෂිතිජයෙන් ධනු රාශිය උදා වෙයි. එම අවස්ථාවේදී ලග්නය සහ 4වැනි භාවය අධිපති ගුරු ග්‍රහයා මේෂ රාශියේ 4වැනි භාවයේ තැන්පත්ව සිටියි. 9වැනි භාවයේ අධිපති රවි ග්‍රහයා ලග්න භාවයේ සිට මේෂ රාශියේ සිටින ගුරු ග්‍රහයාට ත්‍රිකෝණ දෘෂ්ටි ඇති කරයි. මේ කේන්දරයේ 2වැනි සහ 3වැනි භාව අධිපතිව 4වැනි භාවයේ තැන්පත්ව සිටින ශනි ග්‍රහයා 8 වැනි භාවයේ අධිපතිව 8 වැනි භාවයේ තැන්පත්ව සිටින සඳු ග්‍රහයාට සප්තම වෙයි. 5වැනි සහ 12වැනි භාව අධිපති කුජ ග්‍රහයා 12වැනි භාවයේ තැන්පත්ව සිටියි. 6වැනි සහ 11වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා 11වැනි භාවයේ තැන්පත්ව සිටියි. 7වැනි සහ 10වැනි භාව අධිපති බුධ ග්‍රහයා 12වැනි භාවයේ තැන්පත්ව සිටියි.

මේ අලුත් අවුරුද්දේ ජනවාරි මාසයේ 1වැනි දින සිට මේෂ රාශියේ ඉදිරියට ගමන් කරන ගුරු ග්‍රහයා ක්‍රිස්තු වර්ෂ 2024 මැයි මාසයේ 1වැනි දින වෘෂභ රාශියට ඇතුළු වෙයි. ශනි ග්‍රහයා 2024 වසර මුළුල්ලේම කුම්භ රාශියේද රාහු ග්‍රහයා 2024 වසර මුළුල්ලේම මීන රාශියේ ආපසු ගමනේ යෙදෙයි. යුරේනස් ග්‍රහයා වසර මුළුල්ලේම මේෂ රාශියේද, නැප්චූන් ග්‍රහයා වසර මුළුල්ලේම මීන රාශියේද, ප්ලූටෝ ග්‍රහයා මකර රාශියේද ගමන් කරයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මඟින් ග්‍රහයකු විසින් දෙනු ලබන ප්‍රතිඵල ඒ ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය අනුව සිදු වෙයි. පහත දැක්වෙන්නේ මේ අවුරුද්දේ ආරම්භයේදී එක් එක් ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍ර සටහනකි.

රාශි චක්‍රයට ඇතුළත් වන සියලුම ග්‍රහයන්ගේ රාශි, නක්‍ෂත්‍ර, ගෝචර ගමන් සහ දෘෂ්ටිද සැලකිල්ලට ගත් විට එක් එක් රාශි හිමි අය මෙම ග්‍රහ චලන හේතුකොටගෙන අලුත් අවුරුද්දේ ලබාගන්නා ප්‍රතිඵල මෙසේ වන්නේය.

මේෂ – සියලු කටයුතු සාර්ථක වේ

ගෘහ ජීවිතය – මේ අලුත් අවුරුද්දේ ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සියලු කටයුතු සාර්ථක වෙයි. ඉතාමත් සුවදායක ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේ. ගමන්බිමන් අධික වීම හේතුකොටගෙන නිවසින් බැහැරව වාසය කිරීමට සිදු වෙයි. එහෙත් ඒවායේද සුව පහසුව නොඅඩුව ලබන බව පෙනෙයි.

රැකියාව – ඔබගේ රැකියාව සම්බන්ධව වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර සේවයට සරිලන ආකාරයෙන් මුදල් ලැබෙයි. ගමන්බිමන් අධික වෙයි. එහෙත් ඒවා ආදායම ලබන මාර්ග ලෙසට හරවාගත හැකි වෙයි. කෙසේ හෝ යහපත් ලෙස මුදල් ලබන හෙයින් අපහසුතාවන්ගෙන් තොරව රැකියා කටයුතුවල නිරත විය හැකිය.

පවුලේ සමගිය – විවාහ ජීවිතය සම්බන්ධව ඉතාමත් යහපත් කාල සීමාවකි. පවුලේ සමගිය වර්ධනය වන අතර අවිවාහකයන් විවාහයෙන් බැඳෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඇති වේ. ඔබ බලාපොරොත්තුව සිටි අරමුණුවලට ඉතා පහසුවෙන් ළඟා වෙයි. දරුවන්ද අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන ඉදිරියට යයි.

ශරීර සෞඛ්‍යය – මේ වසර තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පාලනය කරගත හැකි වෙයි. රෝගාබාධවලින් තොරව කටයුතු කරගත හැකිවුවත් පමණට වඩා වෙහෙසවීම හේතුකොටගෙන විඩාවට පත්වන හෙයින් හැකි සෑම අවස්ථාවකදීම විවේක ගැනීම සහ සරල අභ්‍යාසවල යෙදෙන්න.

වාසනා අංකය සහ වර්ණය – මෙම වර්ෂයේ වාසනාවන්ත අංක වන්නේ 3 සහ 8 වෙති. අංක 3 මඟින් ඔබගේ නිර්මාණ ශක්තියද, අංක 8න් මුදල් සහ සාර්ථකත්වයද පෙන්වයි. වාසනාව ගෙන එන වර්ණ වන්නේ තද රතු, දොඩම් සහ කහපාටයි. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

වෘෂභ – දීර්ඝ ගමන් සහ විදේශ සංචාර

ගෘහ ජීවිතය – බොහෝ විට අලුත් අවුරුද්දේ ඔබ යොමුවන දිගු ගමන් සහ විදේශ සංචාර හේතුකොටගෙන බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සියලු කටයුතු සාර්ථක වෙයි. ඉතාමත් සුවදායක ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේ. එහෙත් පමණට වඩා වෙහෙස වීම හේතුකොටගෙන අපහසුතාවන් ඇති වෙයි.

රැකියාව – රැකියාව සම්බන්ධව වෙහෙස වී කටයුතු කිරීමට සිදූ වේ. සේවයට සරිලන ආකාරයෙන් මුදල් ලැබෙයි. ඔබට සියලුම සේවකයන්ගේ මෙන්ම සහකරුවන්ගේද සහයෝගය ලැබෙන අතර එමඟින් වඩා යහපත් ලෙස සේවය සැලසිය හැකි වෙයි. ඒ අනුව ආදායම් තත්ත්වයද වර්ධනය වන ආකාරයක් පෙනෙයි.

පවුලේ සමගිය – ඔබගේ විවාහ මෙන්ම ව්‍යාපාරික සහකරුවාද, ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ සහයෝගයක් ලබාදී ඔබව ඉහළට ඔසවා තබයි. ඒ පිළිබඳව ඔබ දක්වන ප්‍රතිචාර අනුව අන්‍යෝන්‍යව යහපත් වන දේවල් මතුවන කාලසීමාවක් වෙයි. පවුලේ සමගිය වර්ධනය වන අතර දරුවන්ටද යහපත් වෙයි.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍ය මේ වසර තුළ යහපත් තත්ත්වයක පවතින්නේ නැත. වරින්වර මතුවන රෝගාබාධ හේතුකොටගෙන පීඩා ඇති වෙයි. රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමටද සිදූ වේ. එහෙත් සියලු දෙනාගේම සහයෝගය නොඅඩුව ලබන හෙයින් සාමාන්‍ය කටයුතුවල පසුබැස්මක් ඇති වන්නේ නැත.

වාසනා අංකය සහ වර්ණය – මේ වර්ෂයේ වාසනා අංක වන්නේ 2 සහ 6යි. අංක 2 මඟින් ඔබගේ ධන තත්ත්වයද, අංක 6න් ඔබට මුදල් ලැබෙන ආකාරයද පෙන්වයි. වාසනාව ගෙන එන වර්ණ වන්නේ කොළ පාට, දුඹුරු සහ දම් පාටයි. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

මිථුන – ආදායම් තත්ත්වයේ වර්ධනයක්

ගෘහ ජීවිතය – ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සියලු කටයුතු සාර්ථක වෙයි. ආදායම් තත්ත්වය සාර්ථක වන නිසා ඉතාමත් සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙයි. අවශ්‍ය සියලුම දේ සඳහා නිර්ලෝභීව මුදල් වියදම් කිරීමට හැකි වෙයි.

රැකියාව – ව්‍යාපාරික කටයුතු වැනි අනුමානයෙන් කරන දේවල්වලට සම්බන්ධ වන ඔබගේ රැකියාව මඟින් සහ හවුල් ව්‍යාපාර මඟින් බලාපොරොත්තු වන මුදල් සහ ලාභ ලැබෙයි. රහසිගත හෝ වංචනික කටයුතුවලට යොමුවී මුදල් උපයා ගැනීමට උත්සාහ කරයි. එහෙත් එවැනි කටයුතුවලින් වැළකී සිටීම අගෙයි.

පවුලේ සමගිය – අලුත් අවුරුද්ද ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව යහපත් කාලසීමාවක් වෙයි. පවුලේ සමඟිය ඇතිවන අතර දේපළ ලබා ගැනීමක් මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ වර්ධනයක් සිදු වෙයි. දරුවන්ගේ විවාහ කටයුතුවල සාර්ථකත්වය ඇති වේ. ඔබ බලාපොරොත්තුව සිටි පරමාර්ථ සියල්ලම පාහේ ඉටුවෙයි.

ශරීර සෞඛ්‍යය – මේ වසරේ ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත් ලෙස නඩත්තු කරගත හැකි වෙයි. රෝගාබාධ ඇතිවුවත් සුළු වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවය ලබාගත හැකි වෙයි. සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා සුපුරුදු ව්‍යායාමවල යෙදෙන්න. අවශ්‍ය අවස්ථාවලදී සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

වාසනා අංකය සහ වර්ණය – මේ වර්ෂයේ වාසනාවන්ත අංකය වන්නේ 3 සහ 8යි. අංක 3 මඟින් ඔබගේ නිර්මාණ ශක්තියද, අංක 8න් මුදල් සහ සාර්ථකත්වයද පෙන්වයි. වාසනාවන්ත වර්ණ වන්නේ දීප්තිමත් කහ, දොඩම් සහ ළා නිල් පාටයි. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමු වන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

කටක – අමතර ආදායම් මාර්ග

ගෘහ ජීවිතය – මේ අලුත් අවුරුද්දේ සියලුම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වෙයි. ගමන්බිමන් අධික වීම නිසා අපහසුතා ඇති වෙයි. ඒ නිසා ලැබී ඇති පහසුකම්වලින් තෘප්තිමත් වීම යෙහෙකි. ආදායම් තත්ත්වය වැඩිවන හෙයින් අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වෙයි.

රැකියාව – රැකියාවට අමතර වශයෙන් තවත් ආදායම උපයාගත හැකි මාර්ග විවෘත වෙයි. ඒවාට සම්බන්ධව කටයුතු කිරීමෙන් අතිරේක මුදල් ලබාගත හැකි වෙයි. මඳක් වෙහෙස වීමට සිදුවන අතර සේවයට සරිලන ආකාරයෙන් මුදල් ලැබෙයි. එමඟින් අතිරේක අවශ්‍යතාවන් සලසා ගැනීම අපහසු නොවෙයි.

පවුලේ සමගිය – විවාහ ජීවිතය සම්බන්ධව ආරවුල් හෝ සැක කටයුතු දේවල් මතු වීම නිසා අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවන කාලසීමාවක් ලෙස පෙනෙයි. පවුලේ සමගියට බාධා ඇතිවුවත් දරුවන්ගේ කටයුතුවල යහපත් වෙනස්කම් ඇති වෙයි. පවුලේ වර්ධනයක් ඇතිවන අතර ඔබ බලාපොරොත්තු වූ යහපත් ප්‍රතිඵල ඇති වෙයි.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව මේ වසර තුළ එතරම් යහපත් ආකාරයක් පෙන්වන්නේ නැත. වරින්වර රෝගාබාධ මතුවීමෙන් ඒවාට ප්‍රතිකාර ලබා ගැනීමේ දුර්වලතාවන් හෝ නොසැලකිලිමත්කම නිසා අනවශ්‍ය පීඩාවලට ගොදුරු වෙයි. ඒ නිසාම පසුතැවිල්ලට පත්වීමට සිදු වෙයි.

වාසනා අංකය සහ වර්ණය – මෙම වර්ෂයේ වාසනාවන්ත අංකය 7යි. 7 වැනි භාවය මඟින් සියලු දෙනාගේම සහයෝගය ලබා ගනියි. වාසනාව ගෙන එන වර්ණ තද නිල්, කොළ පාට සහ රිදී පාටය. මෙම අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

සිංහ – අතමිට සරු කාලයක්

ගෘහ ජීවිතය – මේ අලුත් අවුරුද්දේ ඔබ ඉතාමත් කාර්යශීලී ජීවිතයක් ගතකරන හෙයින් ඔබගේ කාලය ගතවන්නේ නිවසින් පිටතය. බොහෝ විට සමාජ සේවා කටයුතුවල යෙදෙන හෙයින් නිවසෙහි සිට කටයුතු කිරීමට විවේකයක් ලැබෙන්නේ නැත. බොහෝ මුදල් ලැබෙන හෙයින් ඒවා ආයෝජනය කරයි.

රැකියාව – ඔබගේ රැකියාව සම්බන්ධව බොහෝ ගමන්බිමන් යෙදේ. එහෙයින් නිවසේ ගත කරන්නේ ඉතාමත් සුළු කාලයකි. පමණට වඩා මුදල් ලැබෙන හෙයින් ඔබ නිරත වන කටයුතු පිළිබඳ තෘප්තිමත් භාවයක් ඇති වෙයි. ඒ නිසා බොහෝ මුදල් වැයවීම පිළිබඳ ගැටලු ඇතිවන්නේ නැත.

පවුලේ සමගිය – ඔබගේ සෑම කටයුත්තකදීම විවාහ සහකරු මෙන්ම දූ දරුවන්ගේද සම්පූර්ණ සහයෝගය ලැබේ. පවුලේ සමගිය ඉතා ඉහළ මට්ටමක පවතී. දරුවන්ගේ කටයුතුවලද අගය කළ හැකි අවස්ථාවන් මතුවන හෙයින් පවුලේ සතුට වැඩි වන බව පෙනේ.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත් ලෙස පවතී. එහෙත් නොසැලකිලිමත්කම නිසා හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ ඇත. සුළු අසනීප තත්ත්වයන් මඟින් අපහසුතාවන් ඇතිවන්නේ නැත. අවශ්‍ය අවස්ථාවලදී ආරක්‍ෂිත ක්‍රමවේද යොදාගැනීම ගැන සැලකිලිමත් වන්න.

වාසනා අංකය සහ වර්ණය – මේ වර්ෂයේ වාසනාවන්ත අංක 2 සහ 9ය. 2වැනි භාවය මඟින් ධන තත්ත්වය වර්ධනය කරයි. වාසනාව ගෙන එන වර්ණ තද රතු සහ කහ පාටයි. මෙම අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

කන්‍යා – සමාජ සේවා කටයුතුවලට යොමු වේ

ගෘහ ජීවිතය – මේ අවුරුද්දේ බොහෝ අවස්ථාවලදී නිවසින් බැහැරව කටයුතු කරයි. බොහෝ බලාපොරොත්තු ඇතිව සමාජ සේවයට යොමුවන හෙයින් ඔබගේ පරමාර්ථ ඉටුකරගත හැකි වීමෙන් සමාජ තත්ත්වය උසස් වෙයි. ඇසුරු කරන අය අතර ජනප්‍රිය වෙයි.

රැකියාව – ස්වඋත්සාහය මඟින් ඔබගේ රැකියාව සම්බන්ධව සියලුම කටයුතු ඉතාමත් සාර්ථක ලෙස ඉටුකර ගනී. ගමන්බිමන් අධික වන අතර බොහෝ වෙහෙසවී කටයුතු කිරීමට සිදු වෙයි. සමාජ කටයුතු වෙනුවෙන් කාලය ගතකිරීමට සිදූවන අතර එමඟින් සේවයට බාධා ඇති වෙයි. වෙනත් මාර්ගවලින්ද ආදායම ලැබෙන නිසා අය සහ වැය පිළිබඳ ගැටලු ඇති නොවෙයි.

පවුලේ සමගිය – පවුලේ සමගිය සම්බන්ධව ඉතාමත් යහපත් වෙයි. විවාහ සහකරුවන් ඉතා සුහදව කටයුතු කරයි. පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් අලුත් ආයෝජනවලට අවධානය යොමු කරයි. එදිනෙදා ජීවිත කටයුතුවල සුබවාදී වෙනස්කම් ඇතිවීමෙන් සැම දෙනාම බලාපොරොත්තුව සිටි දේවල් සාර්ථකකර ගත හැකි වෙයි.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය තත්ත්වය මේ වසර තුළ යහපත් වෙයි. දිගු කාලයක් පැවති රෝගාබාධවලින් සුවය ලබාගත හැකි වෙයි. ඒවා නැවතත් මතුවීමෙන් පීඩා ඇති කරයි. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවන් ඇතිවන්නේ නැත. ගේදොර සහ වතුපිටි පිරිසිදුව තබාගැනීමට සෑම උත්සාහයක්ම ගන්න.

වාසනා අංකය සහ වර්ණය – මෙම වර්ෂයේ වාසනා අංක 3, 6 සහ 9යි. 3වැනි භාවය මඟින් සහජ හැකියා මතු කරයි. වාසනාව ගෙන එන වර්ණ වන්නේ කොළ පාට, නිල් සහ දුඹුරුය. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

තුලා – හදිසි ධන ලාභ

ගෘහ ජීවිතය – ඔබ නිරත වන කටයුතුවල හෝ ලොතරැයි සහ තරග ආදී කටයුතුවලින් හදිසි ධන ලාභ අත්කර ගනියි. බොහෝ බලාපොරොත්තු ඉටුකරගත හැකිවීමෙන් ඔබගේ සමාජ තත්ත්වය උසස් වෙයි. ඇසුරු කරන අය අතර ජනප්‍රිය බවට පත්වීම සිදු වෙයි.

රැකියාව – රැකියාව සම්බන්ධව බොහෝ වෙහෙස වී කටයුතු කිරීමට සිදු වෙයි. එසේම පෙරට වඩා සේවයට කැපවී කටයුතු කිරීමෙන් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වෙයි. එයට සරිලන ආකාරයෙන් මුදල් හෝ දීමනා ලැබේ. තවද රැකියාවේ උසස් වීමක් හෝ යහපත් ස්ථාන මාරුවක් පිළිබඳ ඉඟි පළ වෙයි.

පවුලේ සමගිය – විවාහ ජීවිතය සම්බන්ධව ඉතාමත් යහපත් කාල සීමාවක් වෙයි. දරුවන්ගේ ජයග්‍රහණ හෝ උසස්වීම් පිළිබඳව ප්‍රීති උත්සව මෙන්ම පිළිගැනීම් ඇති වෙයි. පවුලේ කටයුතුවල සාර්ථකත්වය ඇතිවීමෙන් ඔබ සැම දෙනාගේම බලාපොරොත්තු ඉටුකර ගත හැකි වෙයි.

ශරීර සෞඛ්‍යය – මේ වසර තුළ ඔබගේ ශරීර සෞඛ්‍යය තත්ත්වය දුර්වල වන ආකාරයක් පෙනේ. බොහෝ විට දිගු කාලයක් තිස්සේ පවතින රෝගාබාධ නැවතත් මතු වීමෙන් පීඩා ඇති කරයි. අවශ්‍ය සෑම අවස්ථාවකම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

වාසනා අංකය සහ වර්ණය – මෙම වර්ෂයේ වාසනාවන්ත අංක 6 සහ 11ය. 6 වැනි භාවය මඟින් අන් අය අබිබවා යන ආකාරය පෙන්වයි. වාසනාව ගෙන එන වර්ණ කොළ පාට සහ සුදු පාටය. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

වෘශ්චික – රැකියාවෙන් සාර්ථක ප්‍රතිඵල

ගෘහ ජීවිතය – මේ අවුරුද්දේ ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සියලු කටයුතු සාර්ථක වේ. මුදල් තත්ත්වය ඉතාමත් යහපත් වෙයි. තරග, නඩුහබ වැනි දේවල්වලට යොමු වුවහොත් ජය ලබයි. ඒවා මඟින්ද ඔබගේ ධන තත්ත්වය යහපත් වන බව පෙනේ.

රැකියාව – බොහෝ විට අනුමානයෙන් කරන දේවල් හෝ ව්‍යාපාරවලට සම්බන්ධ වන අතර එමඟින් බලාපොරොත්තු වනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ලබයි. අතිරේක ආදායම් මාර්ග මතු වන අතර වැඩි ආයාසයකින් තොරව ධනය සහ අතිරේක මුදල් ලැබෙයි.

පවුලේ සමගිය – විවාහ ජීවිතය සම්බන්ධ අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන කාලසීමාවකි. පවුලේ වෙනස් වීම් ඇතිවන අතර ඒවා සුබදායක ප්‍රතිඵල නොවේ. දරුවන් ලැබීමේ වාසනාව ඇත. සියලු කටයුතුවල සාර්ථකත්වය ඇතිවන අතර ඔබ බලාපොරොත්තුව සිටි අරමුණු ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.

ශරීර සෞඛ්‍යය – ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස නඩත්තු කර ගත හැකි වෙයි. රෝගාබාධවලට ගොදුරු වුවත් සාමාන්‍ය ප්‍රතිකර්ම මඟින් ඉක්මනින් සුවය ලබයි. සාමාන්‍ය දෛනික ව්‍යායාමවල යෙදීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙයි. අවශ්‍ය වන ප්‍රතිකාර ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

වාසනා අංක සහ වර්ණ – මෙම වර්ෂයේ වාසනාවන්ත අංක ලෙස 4 සහ 8 යොදා ගත හැකිය. 4වැනි භාවයෙන් සුවදායක බව පෙන්වයි. වාසනාව ගෙන එන වර්ණ තද රතු, කළු සහ තද නිල් පාටය. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

ධනු – නිවාස, දේපළ, වාහන හිමිකම්

ගෘහ ජීවිතය – ඔබ බලාපොරොත්තු වූ සියලු කටයුතු ඉතා සාර්ථක ලෙස සම්පූර්ණ කරගැනීමට හැකි වෙයි. සුවදායක ජීවිතයක් ගතකිරීමට හැකි වේ. සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන නිවාස, දේපළ හෝ වාහන පහසුකම් සුවය ලබා ගැනීමට වාසනාව ලැබේ.

රැකියාව – ඔබගේ රැකියාව, හවුල් ව්‍යාපාර වැනි දේවල්වලට සම්බන්ධව වෙයි නම් මෙම වසරේදී වැඩිපුර ලාභ ලබාගත හැකි වන්නේ ඔබගේ සහකාරාදීන්ටය. ඔබද බොහෝ කැපවී කටයුතු කළද ඒවායේ වාසිය ලබා ගන්නේ හවුල්කරුවන්ය. ඔවුන් මෙන්ම කටයුතු කිරීමට ඔබට හැකි වන්නේ නැත.

පවුලේ සමගිය – ඔබගේ විවාහ සහකරු මෙන්ම දරුවන්ගේ කටයුතුවල සාර්ථකත්වය ලබා ගැනීම සඳහා බොහෝ මුදල් වැය වෙයි. ආදායම් තත්ත්වයද එතරම් යහපත් නොවේ. මුදල් අපහසුතාවන් ඇති වෙයි. කෙසේ හෝ මුදල් උපයා ගැනීමේ අවශ්‍යතාවන් යෙදෙයි.

ශරීර සෞඛ්‍යය – ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලු ඇතිවන්නේ නැත. සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පාලනය කරගත හැකි වන අතර කලක් පීඩා ඇති කළ ආබාධවලින්ද සහනයක් ඇති වෙයි. එහෙත් ඉතා සුළු ආබාධවලට පවා අවශ්‍ය ප්‍රතිකාර ගන්න.

වාසනා අංක සහ වර්ණ – මෙම වර්ෂයේ වාසනාවන්ත අංකය ලෙස 7 ගත හැකිය. 7වැනි භාවය මඟින් සහයෝගය ගෙන දෙයි. වාසනාව ගෙන එන වර්ණ තද රතු, දොඩම් පාට සහ කහ පාටයි. සුබ අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ලබා දෙයි.

මකර – සතුටුදායක කාලයක්

ගෘහ ජීවිතය – ඔබගේ කටයුතුවල වෙනස් වීමක් ඇති වෙයි. සැලසුම් කරගෙන සිටි දේවල් බොහොමයක් වෙනස් කිරීමට සිදු වෙයි. එහෙත් ඒවා බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සාර්ථක වෙයි. ඉතාමත් සතුටුදායක ජීවිතයක් ගතකිරීමට ඔබට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේ.

රැකියාව – ඔබගේ රැකියාවේ වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් ලබා ගැනීමට බෙහෙවින් ඉඩ ඇත්තේය. ඒවා ඔබ ලබන යහපත් ප්‍රතිපල ලෙස සැලකිය හැකිය. කෙසේ හෝ වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර, එම සේවාවලට සරිලන ආකාරයෙන් පහසුකම් සහ වැටුප් ලබාගත හැකිවෙයි.

පවුලේ සමගිය – මේ වසර තුළ ඔබගේ විවාහ ජීවිතය සුපුරුදු ලෙසින්ම ගත වෙයි. පවුලේ සමගිය වර්ධනය වන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය පෙන්වයි. මේ නිසා ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම කාලය ගත වෙයි. එදිනෙදා වැඩ කටයුතුවල වෙනස්කමක් ඇතිවන්නේ නැත.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස නඩත්තු කර ගත හැකි වෙයි. එහෙත් අවශ්‍ය වන ආකාරයට ප්‍රතිකාර ලබා ගන්න. බොහෝ කාලයක් තිස්සේ පීඩා ඇති කළ රෝගාබාධවලින් සහනය ලබයි. එහෙත් සම්පූර්ණයෙන්ම සුවය ලබාගත හැකි වාසනාවක් නොපෙනේ.

වාසනා අංකය සහ වර්ණය – මෙම වර්ෂයේ වාසනාවන්ත අංක ලෙස 4 සහ 8 ගත හැකිය. 8වැනි භාවය මඟින් ආයාසයකින් තොරව සියලු දේම ලබයි. වාසනාව ගෙන එන වර්ණ දුඹුරු, වැලි පාට සහ තද දුඹුරු පාටයි. මෙම අංක සහ වර්ණ යොදාගෙන කරන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

කුම්භ – ගමන් බිමන් අධිකයි

ගෘහ ජීවිතය – මේ වසරේ ඔබ නිරත වන සෑම කටයුත්තකින්ම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ධන තත්ත්වය වර්ධනය වෙයි. එහෙත් ඒ හා සමානවම වැයවීම් ඉහළ යන හෙයින් මුදල් ඉතිරි නොවේ. ඉතාමත් සුවදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේ. එහෙත් මුදල් ඉතිරි කිරීමට හැකිවන්නේ නැත.

රැකියාව – රැකියාව සම්බන්ධ ගමන් බිමන් අධිකව යෙදේ. නව වසරේ වෙහෙස වීමෙන් සහ තෘප්තිමත්ව කටයුතු කිරීමට සිදුවන අතර සේවය පිළිබඳ ඇගැයීම් ලැබෙයි. එහෙයින් අතිරේක මුදල් මෙන්ම සේවයේ උසස් වීම්ද ලැබේ. ඉතා පහසුවෙන් සියලුම රැකියා සගයන්ගේ සහයෝගය ලබාගත හැකි වෙයි.

පවුලේ සමගිය – බොහෝ ගමන් බිමන් අධිකව යෙදෙන මේ අලුත් අවුරුද්දේද විවාහ ජීවිතය සම්බන්ධව ආරවුල් ඇතිවන කාල සීමාවකි. පවුලේ සාමාජීකයන් වෙත දක්වන අවධානය අඩුවන හෙයින් ඔවුන්ගේ කනස්සල්ල ඇති වෙයි. දරුවන්ගේ කටයුතුවලට සහාය දීමට අපහසු වන තරමේ වාතාවරණයක් මතු වෙයි.

ශරීර සෞඛ්‍යය – ශරීර සෞඛ්‍ය මේ වසර තුළ යහපත් ලෙස පාලනය කරගත නොහැකි වෙයි. වරින්වර රෝග තත්ත්වයන් මතු වේ. අවිවේකී බව සහ නොසැලකිලිමත්කම මෙන්ම ආරක්‍ෂාකාරී පියවර නොගැනීම හේතුකොටගෙන හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදුවිය හැකිය.

වාසනා අංක සහ වර්ණ – මෙම වර්ෂයේ වාසනාවන්ත අංක 3 සහ 7 යොදා ගත හැකිය. 7වැනි භාවය මඟින් සියලු දෙනාගේම සහයෝගය ලබයි. වාසනාව ගෙන එන වර්ණ රතු සහ දූඹුරු පාටයි. මෙම අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

මීන – අතිරේක ආදායම් මාර්ග

ගෘහ ජීවිතය – ඔබගේ රැකියාවට අමතරව බොහෝ සමාජ සේවා කටයුතුවල නිරත වන හෙයින් අවිවේකී බවක් ඇති වෙයි. එහෙත් සියලු කටයුතු සාර්ථක වී සමාජ ගෞරව සහ ප්‍රධානත්වය ලබයි. අතිරේක ආදායම් ලැබෙන නිසා සුවදායක ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේ.

රැකියාව – රැකියාවට අමතරව බොහෝ සමාජ සේවා කටයුතුවල නිරත වන හෙයින් රැකියාව සම්බන්ධ කටයුතු මඟහැරී යයි. මේ නිසා රැකියාව වෙනස් කිරීමට උත්සාහ කළද එය ඉටුවන්නේ නැත. අතිරේක මාර්ගවලින් මුදල් උපයා ගැනීමට සුදූසු අවස්ථාවන් ලැබෙයි.

පවුලේ සමගිය – විවාහ ජීවිතය සම්බන්ධව කටයුතු යහපත් ලෙසින් සිදු වේ. සහකරුවන්ගේ සහ දූ දරුවන්ගේ සහයෝගය නොඅඩුවම ලැබෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල බිඳ වැටීම් ඇතිවුවද ඒවා මැඬගෙන සාර්ථකත්වය ලබා ගැනීමේ උත්සාහය ඇති හෙයින් ඔවුන් බලාපොරොත්තුව සිටි අරමුණු ළඟා කර ගැනීමට හැකි වෙයි.

ශරීර සෞඛ්‍යය – ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පාලනය කර ගැනීමට නොහැකි වෙයි. ගමන් බිමන්වලදී හදිසි අනතුරුවලට ගොදුරු වෙයි. ඒ නිසා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට ඇති ප්‍රවණතාව අධිකය. සියලු කටයුතුවලදී අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිත කරන්න.

වාසනා අංකය සහ වර්ණ – ඔබට මෙම වර්ෂයේ වාසනාවන්ත අංකය 9ය. 9වැනි භාවය මඟින් පෙර වාසනාව ගෙන එයි. වාසනාව ගෙන එන වර්ණ වන්නේ දුඹුරු, නිල්, දම් පාට සහ කොළ පාටයි. මෙම අංක සහ වර්ණ යොදාගෙන යොමුවන කටයුතුවලින් වාසනාව ගෙන දෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division