Home » නව වසරම සුබ වෙන්න කිරි උතුරවන නියම පිළිවෙළ

නව වසරම සුබ වෙන්න කිරි උතුරවන නියම පිළිවෙළ

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

– කිරි ඉතිරවීමට පෙර කළ යුතු වත්පිළිවෙත් ගැනත් දැනගන්න
– අනිවාර්යයෙන් සජ්ඣායනා කළ යුතු නව ගුණ සිද්ධි මන්ත්‍රය

වසරක් ගෙවී නව වසරක් උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් හුරුපුරුදු වී ඇත්තේ කිසිම ජාති-ආගම් භේදයකින් තොරව කිරි උතුරවා නව වසර පිළිගැනීමටයි. සාමාන්‍යයෙන් එවැනි කිරි ඉතිරවීමකදී කිසියම් දෙවි කෙනකු මුල් නොකොට පොදුවේ ක්‍රියා කිරීම සිරිතකි. භාරහාර ඔප්පු කිරීමේදී කිරි ඉතිරිවීමට වඩා මෙවැනි පොදු ක්‍රියාවන්හි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත ඉතාම වෙනස්ය. බොදු සමාජයේ මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ත්‍රිවිධ රත්නය මුල්කරගෙනය.

වසරක් ගෙවී නව වසරක් පිළිගැනීමේදී නව වසරේ අභියෝග ජය ගැනීම සඳහා සාධු සිත් පෙරදැරි වූ ජනයාගේ අභිමතාර්ථ සපල කර ගැනීමෙහිලා කරුණා මෛත්‍රී පෙරදැරි වූ දෙවිවරු උදෙසා කිරි ඉතිරිවීමේ සමාජගත නොවූ විශේෂ ක්‍රමවේදයන් රාශියක් ඇත. පුරාණයේ අපේ මුතුන්මිත්තන් අතිශයින්ම ප්‍රයෝජනයට ගත් එහෙත් වර්තමානය වන විට අභාවයට පත් මෙම උතුම් එසේම සුවිශේෂි ක්‍රමවේද උදෙසා නැවත අවතීර්ණ වන්නේ නම් ජීවිත ජයග්‍රහණය ලබා සම්‍යක් දුෂ්ටික දෙවිවරුන්ගේ කරුණා – මුදිතා ගුණය මෙන්ම ආශීර්වාදය බැල්ම මෙන්ම අපිරිමිත ගුණ ඇති ත්‍රිවිද රත්නයේ ආරක්ෂාවද නොවඩුව ලැබෙන බව සත්‍යයකි.

නිවැරදිව කිරි ඉතිරිවීම ඉතාම සංකීර්ණ වූ ක්‍රියාදාමයකි. මෙම ශාන්තිකර්ම රටාවෙන් අපට නොදැනෙන අපරිමිත ශක්තියක් ආරක්ෂාවක් වසර පුරාවට ලැබෙන බව මගේ අත්දැකීම් පදනම්කොට ප්‍රකාශ කළ හැකිය. නිවැරදිව කිරි උතුරුවා සෙත් ලබාගත හැකි මෙම අපූරු ක්‍රියාදාමයට ඔබත් හුරු වන්නේ නම් නව වසරේ සියලු අභියෝග ඔබට ජය ගත හැකි වනු ඇත.

නූතන සමාජය කිරි ඉතිරිවීම සඳහා භාවිත කරනු ලබන්නේ පොල් කිරිය. එය වරදක් නොවුවද එළකිරි භාවිතයේදී එහි ඖෂධීය ගුණයක්ද ඇති බව මෙහිලා විශේෂයෙන් ප්‍රකාශ කළ යුතුය. එළකිරි බොහෝ බොදු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත්ව ඇත. එදා අප මහා බෝසතාණෝ පාරමි පූර්ණය කොට සත්‍ය අවබෝධයට පෙර දින සුජාතා සිටු දියණිය විසින් පූජා කරන ලද්දේ ද එළකිරි මිශ්‍ර කිරිපිඬුය. එළකිරි පූජනීයත්වයට පත්වීමට එයම ප්‍රමාණවත්ය. තවද ශ්‍රී ක්‍රිෂ්ණ මංගර, ඊශ්වර ප්‍රමුඛ දෙවිවරු සමූහයකගේම දිව්‍ය වාහනය බවට එළ ගවයා පාත්‍රවී ඇත. එම නිසාම එළකිරි ඉතිරවීම ගුණදායක යැයි මම නිගමනය කරමි.

පිරිසිදු නැවුම් මුට්ටියක් ගෙන නිතර ජනයා ගැවසෙන නිවසක නම් විසිත්ත කාමරයද, ව්‍යාපාරයක් නම් එහි හරි මැදද වෙළෙඳසලක් නම් ප්‍රධාන දොර අබියස ද සුදුසුය. අවස්ථානුකූලව සහ ස්ථානකූලව තමන්ගේ අභිමතය පරිදි ස්ථානය තෝරා ගැනීම වරදක් නැත. පෙර සපයාගත් මුට්ටියේ ප්‍රමාණයට අඟල් තුනක් ඉඩ හැර කිරි පුරවා ළිප් බැඳ කිරි ළිප තබා ඉතිරීම වඩාත්ම සුදුසුය.

කිරි ඉතිරවීමෙන් පසු පහත සඳහන් පිළිවෙත් කිරීම තුළින් ඔබ සිදුකළ ක්‍රියාදාමයේ ශක්තිය විශ්වය සමඟ බද්ධ වනු ඇත. පිරිත් දේශනාවලින් දසදිසා පිරිත (චුල ජින පංජරය), ජය පිරිත, අටවිසි පිරිත, මහා මංගල සූත්‍රය, කරණීයමෙන්ත සූත්‍රය, රතන සූත්‍රය යන සුත්‍ර ධර්මයන් භාවිත කිරීම, දේශනා කිරීම මහත් ගුණ දීමට ප්‍රබල පිටිවහලක් වනු ඇත. මේ සියල්ල පංචශීලයෙහි පිහිටා පිරුවට ඇඳ සිදු කිරීම අනිවාර්යය. සියලු වත්පිළිවෙත් අවසානයේ මෙහි සඳහන් නව ගුණ සිද්ධි මන්ත්‍රය නව වතාවක් දේශනාකර අවසානයේ දෙවියන්ට පින් දීමද සිදු කළ යුතුමය.

මතක ඇතිව සියලු පූජා විධි ආරම්භයට පෙර ත්‍රිවිධ රත්නය උදෙසා පහන් තුනක් හා නව ග්‍රහයින් උදෙසා පහන් නවයක් බුලත් මත තබා සඳුන්, තල, එලඟිතෙල්වලින් දැල්වීම යහපත් බව සලකන්න. අවසානයේ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

නව ගුණ සිද්ධි මන්ත්‍රය
ඕං නමෝ භගවා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ අරහං සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සුගතෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ ලෝක විදූ සම්මා සම්බුද්ධානං නමඃ

ඕං නමෝ අනුත්තරෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ පුරිස ධම්ම සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සත්තා සත්තා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සබ්බඤ්ඤු සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ දීපදුත්තමෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඒතේන සච්ච වජ්ජේන ජයො ජයස්තු තෙ

දෙවියන්ට පින් දීමේ ගාථාව
සබ්බමේව හිතත්ථාය
පාප ධම්මා විනස්සතු
අභිවුද්ධිං කරිත්වා හං
කතං පුඤ්ඤං ලභන්තුතේ

අර්ථය
සියලු සත්ත්වයන්ට හිත සුව පිණිස අවැඩ වූ සියලු ක්‍රියා විනාශ කෙරේවා. මාගේ දියුණුවට මඟ සලසා මම කළ පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වෙත්වා.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division