Home » දිනවීම සහ පිනවීම

දිනවීම සහ පිනවීම

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

මෙයට අවුරුදු හත් අටසීයකට පෙර පවා ලෝකවාසි ඇතැම් ජනයා හිතාගෙන හිටියේ පෘථිවිය යනු ගෝලයක් නොව තැටියක් බවය. මේ විශ්වාසයේ ආරම්භය අවුරුදු 2000ටත් වඩා පැරණිය. එහෙත් පෘථිවිය කරත්ත රෝදයක් වැනි තැටියක් නොව බෝලයක් වැනි ගෝලයක් බව විද්වතුන් විසින් විශ්වාස කිරීමට පටන්ගත්දා සිට මනුෂ්‍ය සංහතියේ ඉතිහාසය වෙනස් විය. ඉන්පසු ලෝකයේ සිතියම සෑදීමටත්, එවරස්ට් කන්ද පාමුල සිට එහි උස කීමටත්, වඩදිය බාදිය යන දෙකෙන් මනුෂ්‍යයාට හා පරිසරයට ඇතිවන බලපෑම ගැන කීමටත්, ලෝකයේ එකම තැනකින් ගමන් අරඹා සරල රේඛාවක් දිගේ එම ගමන අවසන් කළ විට කිසියම් හෝ දවසක ගමන පටන්ගත් තැනටම තමන් පැමිණෙන බවටත් ඔවුහු දැනගත්හ.

මනුෂ්‍ය ශිෂ්ටාචාරය තුළ මිනිසා විසින් සොයාගත් ප්‍රධාන දේවල් තුනක් තිබේ. ඉන් පළමුවැන්න රෝදයයි. තව අවුරුදු කෝටි ගණනක් ගියත් රෝදය හතරැස් වන්නේ නැත. සමචතුරශ්‍රයකට රෝදය යන ගමන යාමට ද නොහැකිය. මනුෂ්‍ය වර්ගයා විසින් ගින්දර සොයාගැනීම ද ඓතිහාසික කර්තව්‍යයකි. මනුෂ්‍ය සංහතියත් සත්ත්ව සංහතියත් පහළ වීමට පෙර සිටම මේ ලෝකයේ ගින්දර තිබිණ. එහෙත් ගිනි අවුළුවන්නේ කෙසේදැයි ශිෂ්ටාචාර වාසි ජනයා නොදත්හ. ගල් දෙකක් හෝ ලී දෙකක් එකට අතුල්ලා ගිනි ඇවිළිය හැකි බව දැනගත් දිනය මනුෂ්‍ය සංහතියේ ජයග්‍රාහී දිනවලින් එකකි. රෝදය සහ ගින්දර සොයා ගැනීමෙන් පසු මිනිසා විසින් සොයා ගනු ලැබූ ඊළඟ වැදගත්ම දෙය වන්නේ අන්තර්ජාලයයි.

1983 ජනවාරි මස 1 දා උදේ වරුවේදී අමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකක් අතර අන්තර්ජාල සම්බන්ධතාව ගොඩනඟන ලද අතර එදින දහවල් ලොව පළමුවන ඊ මේල් එක යවන ලදී. අවුරුද්දේ සෙසු දවස්වලට වඩා ජනවාරි 1 දා වැදගත් වන්නේ මේ නිසා බව අපගේ වැටහීම වේ. අප අපේ කතුවැකිය අරඹන්නේ මෙතැන් සිටය.

දවස් 365ට සැරයක් අලුත් අවුරුද්දක් උදා වන්නේ නම් මේ ජනවාරි 1 දා සිට ඊළඟ ජනවාරියට අවුරුද්දක් සපිරෙනවා මෙන්ම ජනවාරි 2 දා සිට ඊළඟ ජනවාරි 2 වනදාට ද අවුරුද්දක් සපිරේ. ඒ අනුව අවුරුද්දේ ඕනෑම දවසක සිට දවස් 365ක් ගතවූ කල්හි අලුත් අවුරුද්දක් එළැඹුණු බව කල්පනා කර අපට සතුටු විය හැකිය. උපන් දිනය යනු මේ ක්‍රමයට සතුටු විය හැකි එක් විදියකි.

කෙනකුගේ ජීවිතයේ ජීව විද්‍යාත්මක අවුරුද්දක් අවසන් වන්නේත් තවත් එවැනිම අවුරුද්දක් උදා වන්නේත් ඒ මිනිහා ඉපදුණු දිනයේය. එහෙත් ජනවාරි 1 දා එසේ පීලී දිගේ එහාට මෙහාට ගෙන යා නොහැකිය. එයට හේතුව ක්‍රිස්තු පූර්වයේ ගතවුණු අවුරුදු තුන් හාරදාහක සිදුවීම් සහ ජ්‍යොතිෂය ක්‍රියාවන් ගණන් බලා විවිධ ගණන් ක්‍රම ඇසුරු කරගෙන ජනවාරි 1 දා සාදා ඇති බැවිනි.

සිංහල ක්‍රමයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීම සඳහා ගතවන කාලය අවුරුද්දකි. යුරෝපීය ක්‍රමයට අනුව පෘථිවිය සූර්යයා වටා එක් රවුමක් යාමට ගතවන කාලය අවුරුද්දකි. ජුලියස් සීසර් රෝම ජනරජය පාලනය කළ කාලයේදී ලෝකයේ පළමුවැනි ජනවාරි පළමු වැනිදාව ප්‍රකාශයට පත්විය. ජනවාරි පළමුවැනිදාව එසේ ප්‍රකාශයට පත්කරන ලද්දේ කතෝලික පූජකයන් ගණිතඥයන් සහ රාජකීයයන්ගෙන් සමන්විත මණ්ඩලයක අනුමැතිය අනුවය. එම සිදුවීමෙන් අවුරුදු තුනකට පසු එනම් ක්‍රිස්තු පූර්ව 42 දී රෝම සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් 40ක් කැරැල්ලක් ගසා ජූලියස් සීසර් ඝාතනය කළේය. ඉන්පසු රෝම රාජ්‍යය දිගින් දිගටම සිවිල් යුද්ධවල පැටළිණි.

අවසානයේදී රෝම ජනරජය වෙනුවට රෝම අධිරාජ්‍යය බිහි විය. අධිරාජ්‍යයක් යනු මාර ලෙඩකි. මෙය කොයිවෙලේ හෝ කඩා වැටෙයි. ඉන්දියාවේ තිබූ තරමක් අධිරාජ්‍යය අද නැත. අද ඉතිරිව ඇත්තේ එම අධිරාජ්‍යවල රජවරුන් සාකච්ඡා පැවැත්වූ රාජ සභාවල කණු පමණි.

කලක් ලෝකයේ බලගතුම අධිරාජ්‍ය වූයේ එක්සත් රාජධානියයි. අද වනවිට එම අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර එංගලන්තය යනු අවුරුද්දකට අගමැතිලා තුන් හතර දෙනෙක් මාරුවන භූමියක් බවට පත්වී තිබේ. ලංකාව ඇතුළු ලෝකවාසී රටවල් බොහොමයක් අලුත් අවුරුද්ද දවස හැටියට ජනවාරි 1දා තෝරා ගෙන තිබුණ ද එසේ නොවන වෙනත් අලුත් අවුරුදු දින කිහිපයක් ලෝකයේ රටවල් කිහිපයක අදටත් තිබේ.

එක් අතකට අපේ සිංහල අවුරුද්ද ද එවැන්නකි. එය ජනවාරි 1 දා අලුත් අවුරුදු සම්මතය ඉක්මවන්නකි. සිංහල අවුරුද්ද මෙරටට ආවේ ඉන්දියාවෙයැයි මතයක් පවතී. විජය රජ්ජුරුවන් ඉන්දියාවෙන් ආවා නම් බුදු දහම අපට ලැබුණේ ද ඉන්දියාවෙන් නම් සිංහල අවුරුද්දද ඉන්දියාවෙන් ලැබීමේ කිසිදු වරදක් නැත.

ජනවාරි 1 දා යනු යුරෝපීය සංස්කෘතික දිනයකි. සිංහල අවුරුදු දවස දෙමළ ජනයාගේද සංස්කෘතික දිනයකි. සිංහලයන් යුරෝපයේ ජනවාරි 1 දාව මහා ඉහළින් සමරනවා නම් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 දා සැමරීමෙහි ද කිසිදු වරදක් නැත. මේ සියල්ල මනෝමූල තත්ත්වයන්ය. වැදගත් වන්නේ වැඩේ කරන දවස නොව වැඩේ ය.

හෙටින් උදාවන ජනවාරි 1 දා ලංකාවට ඉතාම වැදගත්ය. එසේම රට ගොඩ දැමීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව ද ඇත. රටකට වැදගත් වන්නේ ජනතා ජයග්‍රහණයයි. ඒ පැතුම ද සමඟ ඔබට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරමු!

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division