Home » වැඩ වගේම මේ ආණ්ඩුවත් බංකොලොත්

වැඩ වගේම මේ ආණ්ඩුවත් බංකොලොත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

– IMF ණය ගෙවීමට ඇති කාලය වසර 10ක් දක්වා දිගු කර ගන්නවා
– පසුගිය වසරට සාපේක්ෂව අද අපනයන 15%කින් 20%කින් අඩු වෙලා
– රජය දුප්පත් ජනතාව වෙනුවෙන් කේවල් කළේ නැහැ

රජය උද්ධමනය අඩු වූ බව පැවසුවත් ජනතාව එදිනෙදා වියදම් හරහා පීඩාවකට පත්ව තියෙනවා. මේ ගැන සඳහන් කළොත්?

අද අපේ රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක්. අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණොත් වසරක් දෙකක් ප්‍රශ්න විසඳීමට බලය දෙනවා. තිබූ රජය තමයි අපේ රට බංකොලොත් කළේ. ඒ අයට රට ගොඩ දාන්න බැහැ. ජාත්‍යන්තරයේ කිසිදු සහයක් නැහැ. බංකො­ෙලාත් කරපු රජයකට ජාත්‍යන්තර සහයක් ලැබෙන්නේ නැහැ. මේ අය කරන්නේ කළුවරේ අතපත ගෑම පමණයි.

ඔබ පක්ෂයේ රජයක් බලයට පත් වුවහොත් මේ තත්ත්වයේ වෙනසක් ඇති කරන්න හැකිවේද?

බදු බර නිසා තමයි මේ සියලු ප්‍රශ්න ඇති වී ඇත්තේ. අපි බලයට පත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යළිත් සාකච්ඡා කරනවා. අපිට ගෙවීමට ඇති ණය ගෙවීමට දීර්ඝ කාලයක් ලබා ගන්නවා. මේ ණය කෙටි කාලයකින් ගෙවන නිසානේ මේ ආකාරයට ආර්ථික වශයෙන් බරක් පැමිණ ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වසර 10ක කාලයක් අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණ අපේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දින්නොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යළිත් ඉල්ලීමක් කරනවා, මේ ණය ගෙවීමට දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස. ඒ අයට අපේ ඒ ඉල්ලීම අහක දාන්න බැහැ. මන්ද අපි මැතිවරණය දිනූ පසු, අපේ මැතිවරණ ප්‍රකාශය පිළිගැනීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කන් දීමකුයි සිදු වන්නේ වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කියපූ දේ ගෙඩි පිටින් පිළිගත්තා. රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් කේවල් කළේ නැහැ.

ඒ නිසාද විපක්ෂ නායකවරයා කිව්වේ තමන්ගේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නැවත සලකා බලන බවට?

ඔව්. අපේ මැතිවරණ ප්‍රකාශයේ ඒ කරුණ ඇතුළත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැවත ගොස් මේ තත්ත්වය වෙනස් කරන්න, නැවත ජනවරමක් ඉල්ලා සිටිනවා. මේ වරම ලැබුණහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා අපිට කන් දීමට සිදු වෙනවා. මන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ නැහැ එක එක්කෙනාගෙන් බදු අය කරන්න කියලා. ඔවුන් කියන්නේ ජාතික ආදායම වැඩි කර ගත යුතු බවයි. රජය විසිනුයි මේ බදු ගහන්නේ. ජාතික ආදායම වැඩි කරන්න නම් අපනයන වැඩි කළ යුතුයි. පසුගිය වසරට සාපේක්ෂව අද අපනයන 15-20%කින් අඩු වෙලා. අද ආණ්ඩුව අපනයන ගැන වචනයක් හෝ කතා කරන්නේ නැහැ.

ඔබ පවසන්නේ රජය IMF කොන්දේසි ගැන පවසමින් ජනතාව පීඩාවට පත් කරන බව ද?

කවදාවත් IMF කියන්නේ නැහැ මේ අයිතමවලින් බදු ගහන්න කියලා. IMF කියන්නේ ජාතික ආදායම වැඩිකර ගත යුතු බවයි. එවිට බදු ගසන අයිතම තෝරා ගන්නේ රජයයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බොහෝ රටවල් බදු ගෙවන සෑම ආයතනයකටම ඒකේ බර දුන්නා. මේ රජය ඒ බර දුන්නේ අර්ථ සාධක අරමුදලට පමණයි. බැංකු, සමාගම්, බැඳුම්කර සමාගමවලට ප්‍රතිව්‍යුහගතකරණයේ බලපෑමක් ආවේ නැහැ. දුප්පත් මිනිසාගේ අර්ථසාධනයට තමයි සම්පූර්ණයෙන්ම මේ බර පැටෙව්වේ. ආණ්ඩුවේ ගමන් මාර්ගය ඉතා පැහැදිලියි.

පසුගිය අයවැය අවස්ථවේ වැට් බද්ද ගැන කතා කිරීමට පාර්ලිමේන්තුවේ කාල වේලාව ලබා නුදුන් බවට මත පළවෙනවා?

මම විපක්ෂයේ සංවිධායක ලෙස මේ ගැන කතා කළහම රාත්‍රිය වෙනකම් හෝ කතා කරන්න සුදානම් කිව්වා. එහෙම කියලා සවස 5ට ඡන්දය ගත්තා. ඉහළින් බලපෑම් ආවා. පාර්ලිමේන්තුවේ කීර්ති නාමය විනාශ කර තියෙනවා. හැම අංශයක්ම විනාශයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපේ රටේ පාලකයෝ ආර්ථික අපරාධ කළ බවට යෝජනාවක් තියෙනවා. එවැනි රටකට ආධාර දෙයි ද, දැන් දෙන්නේ IMFලැබුණු මුදල හා ඉන්දියාවෙන් ලැබුණු මුදලයි. එසේ නැතිව කාගෙන්වත් රට ගොඩ දාන්න මුදල් ලැබුණේ නැහැනේ.

IMF දෙවැනි අදියරටත් දුෂ්කරතා මැද ආණ්ඩුව ළඟා වුණා?

දෙවැනි අදියර ලැබෙයි. නමුත් යහපාලන රජය ආණ්ඩුව භාර දෙන විට බිලියන 7.8ක් ඉතුරු කරලයි ගියේ. මේ අය කළ විශාලම වැරැද්ද තමයි වසරකට බිලියන 700කට තිබුණු වැට් ආදායම පළමු මාසයේම ඉවත් කිරීම. එයින් වසරකට රුපියල් බිලියන 700ක ආදායමක් රජයට අහිමි වුණා. ණය ගෙවන්න ඩොලර් නැති නිසා පසුව සංචිතවලින් ගෙව්වා.

2024දි වැට් බදු වැඩිවීම හරහා ජනතාවට යම් අපහසුතාවන්ට ලක් වෙන බව විපක්ෂය පවසනවා?

අයිතම 97ක් ද -18% දක්වා වැඩිකර තියෙනවා. ඉදිරියේදි ගෑස් සිලින්ඩරයක් පවා රුපියල් 600කින් වැඩි වෙන්න පුළුවන්.

ආණ්ඩුව බදු සංශෝධන ඉදිරිපත් කළත් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වී තිබෙනවා?

මේ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ගත්තේ ප්‍රතිලාභ නැති ආයෝජන නිසා. හම්බන්තොට වරායෙන් සත පහක ආදායමක් නැහැ. අධිවේගී මාර්ගවලින් බලාපොරොත්තු වූ ආදායමක් නැහැ. මේවා අයෝජන නෙමෙයි. අපේ දුප්පත් මිනිස්සු අන්දපුවා. මේවා ණයට අරගෙන හදපුවා මිසක් ආයෝජන නෙමෙයි. අපේ රටේ ජනතාව හිතන්නේ ආයෝජන බව. මේවාට ආදායම නැතිවූ විට පොලිය ගෙවිය යුතු වෙනවා. අපි බලයට පත් වූ විට ණය ගෙවීම අවුරුදු 10කට දීර්ඝ කර ගන්නවා. වසරකට ගෙවීමට ඇති ගණන අඩු වූ විට බදු බරත් ඉබේම අඩු වෙනවා. අපනයනකරුවන් තමන්ගේ මුදලින් 50%ක් ලංකාවට ගෙනෙන්නේ නැහැ. මෙයට වගකිව යුත්තේ මහ බැංකුව. මේ අය ඉන්නේ කරට අත දාගෙන. රේගුව ඩිජිටල්කරණයට ලක්කළ යුතුයි. එවිට අක්‍රමිකතා අඩු වෙනවා.

ඔබ රජයක් යටතේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් තියෙනවද?

ඔව්. මේ ආයතන ඩිජිටල්කරණයට නතු කර බදු අයකර ගැනීමට උත්සාහ දරනවා.

විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරන්නේ විදුලිය, ඉන්ධන පාඩු නොලබන තත්ත්වයට පත්ව ඇති බවත්, එහි සහනය ජනතාවට ලබා නොදෙන බවටත්?

පැහැදිලියි. විදුලි බිල අධික වුණේ විදුලිබල මණ්ඩලය ලාබ ලැබුවේ නැති නිසා නෙමෙයි. පසුගිය කාලයේ අක්‍රමිකතාවලින් වූ පාඩුව පියවන්නයි. අපි පාර්ලිමේන්තුවේ කිව්වා විදුලිබල මණ්ඩලය ලාබ ලබනවා, ඒ ලාභය සලකා මිල අඩු කිරීමක් කරන්න කියා. නමුත් ආණ්ඩුව බංකොලොත්. ආණ්ඩුව හදන්නේ කොහෙන් හෝ මුදල් ගන්න.

ලබන වසරේ මැතිවරණ සඳහා සූදානම කෙසේද?

අපි සූදානම්. ආණ්ඩුවට කියන්නේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලයි. මෙය තියන්න තිබ්බේ මාර්තුවල. මැතිවරණවලට බය රජයකට ජාත්‍යන්තරය උදවු කරන්නේ නැහැ. ජාත්‍යන්තරය අලුත් ආණ්ඩුවක් සමඟ බොහෝ දුරට වැඩ කරයි. ආණ්ඩුව තමයි මැතිවරණයට සූදානම් නැත්තේ.

2024 සමගි ජන බලවේගයේ අලුත් බලාපොරොත්තු මොනවාද?

අපේ බ්ලු ප්‍රින්ට් වැඩපිළිවෙළ තමයි, අපේ ආර්ථික ප්‍රතිපත්තිය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණයි, අත්හදා නොබලපු එකම නායකයා. සියල්ල මේ වන විට අත්හදා බලා තියෙනවා, විවිධ අවස්ථාවලදි. අපේ සමීක්ෂණ අනුව අපේ ජය පැහැදිලියි.

ඔබ පක්ෂයේ රජයක් යටතේ ජනතාවට හොඳ කල දවසක් උදා වේ යැයි විශ්වාස කළ හැකියිද?

අපේ වැඩපිළිවෙළ යටතේ බදු බර අඩු කළ හැකි වෙතැයි විශ්වාස කරනවා. කෙටි කාලයක් තුළ ණය ගෙවන්න හදන නිසයි මේ බදු බර. වසර 10ක්වත් ණය ගෙවන්න ගත යුතුයි. එවිට බදු බර 50%කින් අඩු කළ හැකි වෙනවා. මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කේවල් කළේ නැහැ. ගෙඩි පිටින්ම භාර ගත්තා. අපේ මැතිරවණ ප්‍රකාශය හොඳින් කියවා බලා බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන්න. මොළ හතාණෝ අවසානයේ මාස කිහිපයකින් රට බංකොලත් කළානේ. මිනිසුන්ට ලැබෙන්නේ ලැබිය යුතු ආණ්ඩුවයි. වැරැද්ද කළේ ජනතාව. අද දුක් විඳින්නෙත් ජනතාවයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division