Home » ලාල්කාන්තගේ කටට ප්ලාස්ටර්

ලාල්කාන්තගේ කටට ප්ලාස්ටර්

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

2023 වර්ෂයේ අවසන් දින කිහිපයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු කතා කරන්නේ 2024 එළඹෙන නව වසර මැතිවරණ වර්ෂයක් වන බවයි. ඉන් මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් එය බොහෝ විට 2024 වර්ෂයේ අග භාගයේ දී පැවැත්වීමට ඉඩ තිබෙන බවටත් මේ වන විට ආණ්ඩු පක්ෂය තුළ කතාබස් වෙමින් පවතී.

ජනපති භාණ්ඩාගාරය පුරවපු හැටි

මහා භාණ්ඩාගාරය තුළ රුපියලක් හෝ නොමැතිව භාරගත් වසරක් ගතවන විට ඩොලර් බිලියන 4ක සංචිතයක් සහිත භාණ්ඩාගාරයක් බවට වර්ධනය කිරීමට ජනපති රනිල් කටයුතු කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද, ඊට සමගාමීව විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ද, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ද ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 787ක මුදලක් ඉකුත් සතියේ මෙරටට ලැබුණේ ජනපති රනිල්ගේ අප්‍රතිහත කැපවීමක ප්‍රතිඵලයක් ලෙසය.

දියතලාවේ සිට මහනුවරට ඉකුත් ඉරිදා පැමිණි ජනපති රනිල් අපූරු කතාවක් කීවේය. එනම් රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට තමන් සුදානම් බවයි. ජනප්‍රිය තීන්දු ගෙන රට බංකොලොත් කරනවා ද නැතිනම් ජනප්‍රිය නොවන තීන්දු ගෙන රට බංකොලොත් බවෙන් මුදවා ගන්නවා ද යන වගකීම තමන්ට තිබෙන බව ජනපති කීවේ නුවර නව නගර ශාලාව විවෘත කරමිනි.

සමන්ට හා සාගලට එරෙහිව අතේ රෝල්

ජනපති රනිල් මෙවැනි ප්‍රකාශ කිරීම තුළ යම් පිරිසක් සමාජයේ මතයක් ස්ථාපිත කරමින් ගියේ රනිල් නැවත වරක් ජනාධිපතිවරණයට තරග නොකරන බව කියමිනි. ඊට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉන් ඉවත් කරන බවටත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවට වෙනත් කෙනකු පත් කරන බවටත් දේශපාලන කරලියේ කතා බහ ගියේ ලැව් ගින්නක් සේය.

ජනපතිට ලියුම් පිට ලියුම්

ඉදිරි ජනාධිපතිවරණයට ජනපති රනිල් තරග නොකරන බවට මේ යන ප්‍රචාර හමුවේ ජනාධිපති කාර්යාලය වෙත ආගමික නායකයන්ගෙන්, සිවිල් සංවිධානවලින් මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් ලියුම් පිට ලියුම් එන්නට පටන් ගෙන තිබේ. ඒ සියල්ලගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත්වී ඉන් ජයගෙන මේ රට සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යන ලෙසටය.

ජනපති රනිල් සඳුදා සවස කැබිනට් ඇමති හමුව පැවැත්වූවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනට් ශාලාවේය. එය අවසන් කර දෙවන මහලේ පිහිටි ඔහුගේ නිල කාමරය වෙත පැමිණි අවස්ථාවේ ඔහු පිටුපසින් තවත් මැති ඇමතිවරු පිරිසක් කාමරයට ඇතුළු වූයේ ජනපති ආරාධනයෙනි.

ජනපති රනිල් සමඟ වැඩේට බහින්න හදන ඇමතිවරු

“එන්න එන්න මොකද කට්ටියම එකතු වෙලා. ජනපති විමසුවේ ඔච්චම් ස්වරයෙනි.

“සර් දැන් හැම තැනම කියන්නේ සර් මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියන කතාවයි. මොකක්ද මේකේ ඇත්ත නැත්ත.” එසේ විමසුවේ ඇමති ප්‍රසන්නය.

“මම තවම එනවා කියලත් නෑ; එන්නේ නෑ කියලත් නෑ. කොහෙම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩ කටයුතු බොහෝමයක් කරන්න තියෙනවා.” ජනපති කීවේ බැරෑරුම්වය.

“තවත් කල් ගන්න බෑ සර්. මොකද ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය එනවා. ඒකට අපි ලැහැස්ති වෙන්න ඕනේ.” මන්ත්‍රී වජිර කීවේ සියලු දෙනා දෙස බලමිනි.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහන අවසන් කළ යුතුව තිබෙනවා. අලුත් ආර්ථිකයක් ගේන්න ඕනේ. ඒකට වෙලා යනවා.” ජනපති සුපුරුදු පිළිතුර දුන්නේය.

“ආර්ථිකය හදන වැඩේ සර් දිගටම කරගෙන යන්න. අපි කැම්පේන් එක පටන් ගන්නම්.” ඇමති ප්‍රසන්න කී දේ සැවොම හිස සලා අනුමත කළහ.

“අපි ජනවාරි දෙවෙනි සතියේ ඉඳලා කැම්පේන් එක පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ගමට බහින්න පුළුවන්.” මන්ත්‍රී දොළවත්ත කීවේය.

“ජනාධිපතිතුමා නැවත ගම සංවර්ධනය කරන්න මන්ත්‍රී ප්‍රතිපාදන වගේම දිස්ත්‍රික් ප්‍රතිපාදනත් ලබන වසරේ සිට දෙන්න කටයුතු කරනවානේ. ඒකත් එක්ක අපිට හොඳ පිම්මක් පනින්න පුළුවන්.” මහාචාර්ය ආශු ද කතාවට එකතු වූවේ එලෙසිනි.

“ඔබතුමා ආර්ථිකය හදන්න. අවශ්‍ය වෙලාවට අපේක්ෂකයා විදියට අපිත් එක්ක එකතු වෙන්නම්.” ඇමති ශෙහාන් කීවේ සිනාසෙමිනි.

ජනපති රනිල් ද මේ සියල්ලට හිස වනමින් සිටියා මිස කිසිවක් කීවේ නැත.

ජනපතිගෙන් කිල්මිෂා දියණියට ඇමතුමක්

අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් සම්බන්ධ වූවේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හා දුරකතන සමාගම් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට ය. එහිදී සුනාමි අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වූ අතර විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මධුෂංක දිසානායක හා දුරකතන සමාගම්වල ප්‍රධානීන් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.

ඉන්දියාවේ ගායන තරඟයකට සහභාගිවී ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කිල්මිෂා උදයශිලන් දියණියට දුරකතන ඇමතුමක් දුන් ජනපති රනිල් ඇයට සුබ පැතුවේ මේ අතරවාරයේය. ජනපති රනිල් විදේශ ඇමති අලි සබ්රි සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා තිබුණේ විදේශ ප්‍රතිපත්තිය ගැන හා ජනවාරි මාසයේ දී ඔහුගේ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගීවීම ගැන කතා බස් කිරීමටය.

විපක්ෂය තහනම් නොකළ එකම රට?

“1931 සර්වජන ඡන්ද බලය ලැබුණ දා ඉඳන් අද වෙනතුරු ශ්‍රී ලංකාව තුළ පත්වූ කිසිදු ආණ්ඩුවක් විපක්ෂය තහනම් කරලා, හිරේ දාලා නෑ. ලෝකයේ අනෙක් රටවල් දෙස බැලුවම එහෙම කරලා නැති එකම රට ලංකාව පමණයි. ජපානය 1945ට පෙර ඒක කළා. හමුදාවේ සාහසිකයෙක් යොදවලා ඒක කළා. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, පිලිපීනයෝ මාකෝස් වගේ අය මේක කළා. මැලෙසියාවේ අන්වර්ට නඩු දැම්මා. අපි විතරයි එය නොකළේ.” ජනපති රටවල් ගණනාවක උදාහරණ දෙමින් දීර්ඝ විස්තරයක් ගෙනහැර දැක්වූවේ විදෙස් නිලධාරීන් ද පුදුමයට පත් කරමිනි.

එ.ජා.ප. පාක්ෂිකයන්ගේ දුක් ගැනවිලි

මහ ලේකම් රංගේ පක්ෂ සාමාජිකයන්ගේ දුක් ගැනවිලි ලේඛනයක් එහිදී ජනපති ඉදිරියේ තැබුවේය. පක්ෂ නියෝජිතයන් අස්වැසුම වැඩසටහනට සම්බන්ධ කර නොගැනීම, ගොවීන්ට හා මහල් නිවාස හිමියන්ට සින්නක්කර ඔප්පුදීමේ වැඩපිළිවෙළ, දිස්ත්‍රික් සිට ග්‍රාමීය කළමනාකරණ කමිටුවලට පක්ෂ නියෝජිතයන් සම්බන්ධ කර නොගැනීම ආදී සංවිධායකයන්ගේ දුක් ගැනවිලි මහ ලේකම් රංගේ ලිඛිතව ජනපති අත තැබුවේය.

ගමේ නියෝජිතයා මේ කාරණා නිසා පක්ෂයෙන් ඈත් වෙමින් සිටින බවට අනෙක් අය ද හූ මිටි තැබීම හේතුවෙන් මේ ගැන සාකච්ඡාවක් මතු විය. මහ ලේකම්ගේ ලිපිය ජනාධිපති ලේකම්ට දෙන ලෙස උපදෙස් දුන් ජනපති ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට මුදල් වෙන් කරන නිසා ගමේ පක්ෂ නියෝජිතයාව එක් කර ගන්නා ලෙස කමිටුවලට උපදෙස් දෙන බව ද ජනපති පැවසීය.

රනිල්ගෙන් අකිලට හා වජිරට වගකීමක්

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන් ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස අකිල විරාජ් කාරියවසම්ට සහ මන්ත්‍රී වජිර අබේවර්ධනට පැවරූ රනිල් පවතින මේ ගැටලු විසඳන බවට පොරොන්දුවක් ද දුන්නේය.

එසේම ජනවාරි මාසය වන විට පසුගිය සම්මේලනයේ දී පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත කර ගත් උසස් නිලතල කමිටුව හා අනෙකුත් කමිටුවලට නියෝජිතයන් පත් කරන බව මෙහිදි ජනපති රනිල් පිරිසට කීවේය. එය නිමවා ජනපති පිටත්ව ගියේ රාජ්‍ය නාට්‍ය උලෙළට එක්වීමටය.

මහින්ද සමරසිංහ ජනපතිගේ ඇගැයීමට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය නිදහස් කිරීමේ පුවත වාර්තා වූයේ බදාදා පෙරවරුවේ ජනපති සිය කාර්යාලයට ආ අවස්ථාවේදීය. එදින දහවල් අමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ ද එහි පැමිණ සිටි අතර කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ලේකම් සමන් හා මුදල් අමාත්‍යාංශයේ හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එහි පැමිණ සිටියෝය.

තානාපති මහින්ද සමරසිංහ අමෙරිකාවේ තත්ත්වය පැහැදිලි කරමින් ඔවුන්ගෙන් තවත් ඩොලර් මිලියන ගණනක ආයෝජන අවස්ථා ගැන ද ගෙන හැර පෑවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය නිදහස් කිරීම ගැන කතා කළ ජනපති ඊට මහින්ද දුන් සහයෝගය ද අගය කර සිටියේය. එසේම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලයේ ශිරන්ත හේරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබාගැනීම වෙනුවෙන් කළ කැපවීම ද ජනපති අගය කළේය.

ධම්මිකට දීපු කැරට් අලයක් ගැන වජිර කියයි

පසුදින කාර්යාලයට පැමිණි ජනපති රනිල් මැති ඇමතිවරු කිහිප දෙනෙකු මුණ ගැසුණේය. එහිදි බොහෝ දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනය ගැන කතා කරන්නට වූහ. “මට නම් පේන්නේ හිටපු ජනාධිපතිතුමාත් සජිත්ගේ පැත්තට ගිහින්.” ඇමති මනූෂ කියද්දී සැවොම මුහුණට මුහුණ බලන්නට වූහ.

“ඇයි ඉතින් එතුමා කියලා තියෙන්නේ බදු ගහනවට විරුද්ධයි කියලානේ. ඉතින් සජිත් කියන්නෙත් ඒකමනේ. දෙන්නම කියන්නේ එකම දේ. හිටපු ජනාධිපතිතුමාගේ නිවේදනය බැලුවම ඒක තමයි පේන්නේ.” මනූෂ යළි කියද්දී සැවොම කොක් හැඬලූහ.

“ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජාතික සංවිධායකකම දීලා එයා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරනවා කියන්නේ.” ඒ පැනය ආවේ ආශුගෙනි.

“පොහොට්ටු සම්මේලනයට වියදම් කරන්න මිලියන 200ක් එතුමගෙන් ගත්තා කියලා තමයි ඒ පැත්තේ මන්ත්‍රීවරු කියන්නේ. අපේක්ෂක කැරට් අලය දීලා සල්ලි අරන් කියන කාරණයත් ඒ අය කතා වෙනවා.” මන්ත්‍රී වජිර කීවේ ඇඟට පතට නොදැනීය.

උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන් මුණ ගැසී ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළ ජනපති රනිල් සාකච්ඡාව අවසානයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අසලටම ගොස් ඔහුගේ සුවදුක් විමසුවේ මේ වන විට ඔහු අසනීප තත්ත්වයෙන් සිටියදීත් එහි පැමිණීම අගය කරමිනි.

සිකුරාදා ඉන්දියානු නව මහ කොමසාරිස්වරයාට අක්ත පත්‍ර ප්‍රදානය කළ ජනපති නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා කොළඹින් බැහැරව ගියේ සිය බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සමඟිනි.

මහින්දගේ දෑත් ඇල්ලීමට පොරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ උත්සව කිහිපයකටම සහභාගි විය.

ලංකාදීප කර්තෘ සිරි රණසිංහ වෙනුවෙන් සිරි අසිරි සිරි උපහාර උත්සවයට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැමිණ සිටි අතර උත්සවය අවසන්වීමෙන් අනතුරුව උත්සවය පැවති ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් පිටවන අවස්ථාවේදී විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා වට කරගත්හ.

එතන සිටි බොහෝ දෙනෙකු ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කළ පිරිස් වූ අතර මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ දෑත් අල්ලමින් සුවදුක් විමසීමට ඔවුන් තුළ තිබුණේ විශාල උනන්දුවකි.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු කරන්නේ කුමක්ද?

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරචිච්ගේ ප්‍රධානත්වයෙන් පිහිටු වූ “සතුටු පවුල” දැන් ලොකු ලොකු වැඩ පටන් අරගෙන. මේ සතුටු පවුලේ ඉන්නෙ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආපු පසු පෙළ මන්ත්‍රීවරුන් බව පැවසේ.

මේ කණ්ඩායම නත්තල් දවසෙ කිරිඳිවැල ලොකු උත්සවයක් කරන්න සැලසුම් කර ඇත. මේ ගැන පූර්ව සාකච්ඡා පසුගිය සතියේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුවෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි. එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූ. කේ. සුමිත්, තිස්ස කුට්ටිආරච්චි, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් සහ සංවිධායක කමිටුවේ කිහිපදෙනකු සහභාගි වී සිටියහ.

මහින්දගෙන් ප්‍රසන්නට සහතිකයක්

“මොකද ප්‍රසන්න තෙමිලා” ඇමති ප්‍රසන්න දුටු ගමන් හිටපු ජනාධිපතිවරයා ඇසුවේය.

“නෑ.. සර්.. පාරේ ට්‍රැෆික්. මිනිස්සු හිරවෙලා. මම බැහැල වාහන එහා මෙහා කළා” ඇමති ප්‍රසන්න සිනහවෙමින් කීය.

“සර්… ප්‍රසන්න අයියා ඔහොම තමයි. පාර්ලිමේන්තුවේදීත් ඕනම දේකට රෙඩිපිට ඉන්නේ” එහි සිටි මන්ත්‍රීවරයකු කීය.

“මම මෙයා ගැන දන්නවනේ. ප්‍රසන්නට ඕන කරන වැ⁣ඩේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරන්නයි. ඒක නායකත්වයේ හොඳ ලක්ෂණයක්” හිටපු ජනාධිපතිවරයා කීවේ ඇමති ප්‍රසන්නගේ පිටට තට්ටු කරමිනි.

ඇමති ටිරාන්ට පතාලයෙන් ලැබුණු ඇමතුම

පසුගිය 21 දින පැවති ස්ථාවර රටකට මාධ්‍ය හමුව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ මේ දිනවල කරන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් ගැන සාකච්ඡා වීම නිසා, මාධ්‍ය හමුව අතරතුර ටිරාන් කිව්වෙ

ජනාධිපතිතුමා සහ මම ඉන්නකන් මේක නවත්තන්නෙ නෑ, අපි නැති වුණොත් මම දන්නෙ නෑ යනුවෙනි.

සාකච්ඡාව අවසානයේ අමුත්තන් ගේ කාමරයට ටිරාන්ව රැගෙන ගියේ තේ පැන් සංග්‍රහය සඳහාය. ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් සමඟ ටිරාන් තේ පානය කරමින් සිටින අතර හරියටම මධ්‍යහන 12.08ට ටිරාන්ගේ දුරකතනයට ආ ඇමතුමකට ටිරාන් අලස් අමාත්‍යවරයා ආවේගශීලී ලෙස පිළිතුරු දෙන ආකාරය දෙස සියලු දෙනා කුතූහලයකින් බලා සිටින බව දුටු ටිරාන් සිය දුරකතනයේ ස්පීකර් ඔන් කළේය.

සැණින් ක්‍රියාත්මක වූ මහිදානන්ද මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් සිය දුරකතනයෙන් එම සංවාදය පටිගත කරන ලදී.

මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි පහක් යන්නත් පෙර විදේශ රටක සිට මරණ තර්ජන කරන්නට තරම් පාතාලය ටිරාන් ගැන අවධානයෙන් සිටින ආකාරය පිළිබඳ කතා කළ සැවොම ටිරාන්ට සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් ද කළේය.

කෙසේ වෙතත් ටිරාන් පැවසුවේ, මොන තර්ජන ආවත් මේක මම නවත්වන්නෙ නෑ. මට ජනාධිපතිතුමා උපදෙස් දුන්නෙත් එහෙම යනුවෙනි.

නාමල් ජනාධිපතිවරණයට එයිද?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ පසුගියදා පසුපෙළ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණේ මලලසේකර මාවතේ නාමල්ගේ නිවෙසේදීය. පසුගියදා ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළ බවට මාධ්‍ය කිහිපයක පළ වී තිබිණි.

එක් මන්ත්‍රීවරයකු විමසුවේ, ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් ඇසීය.

නාමල් මෙහිදී එම ප්‍රශ්නය තරමක් බැරෑරුම් ලෙස ගෙන තිබිණි. ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරණයට නෙවෙයි, ඕනෙම මැතිවරණයකට එන්න සූදානම්. මොකද මම අභියෝග භාර ගන්න කෙනෙක් නාමල් පැවසීය.

අපෙන් ඡන්දෙ ඉල්ලන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට අපේෂකත්වය ගන්න හතර දෙනෙක් ඉන්නවා. මමයි, බැසිල් රාජපක්ෂයි ඉල්ලන්න තීන්දු කළොත් අපේක්ෂකයෝ එතනම හයදෙනෙක් ඉන්නවා නාමල් පැවසීය.

සජිත්ගේ රෝගයක් ගැන කතාවක්

වසරේ අවසන් දින කිහිපය තුළ විපක්ෂ නායකතුමා විවේකයකින් තොරව සැලසුම් කළ කාර්යයන් සිදු කිරීම පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ අපේ නායකතුමාට වැඩ නොකර සිටිමට නොහැකි රෝගයක් තිබෙන බවයි. එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ ඒ රෝගය එතුමාට වැලඳෙන කායික රෝගවලට වඩා බරපතළ බවයි.

බ්‍රහස්පතින්දා නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේදී සක්වල වැඩසටහනටත් සිකුරාදා පමුණුගම ගොන්සාල්වේස් විදුහලේ සක්වල වැඩසටහනටත් සහභාගි වුණ විපක්ෂ නායකවරයා සිකුරාදා පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමටත් සහභාගි විය.

සෙනසුරාදා දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ හමුවකට එක්වන බව පැවැසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිහ පැවසුවේ පසුගිය කාලය තුළ ගම්පහ දී පැවැති හමුවේ සාර්ථකත්වය තුළ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි හමුවක් පවත්වන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා ලැබී ඇති බවයි.

ලාල්කාන්තට මොකද වෙන්නේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභාති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත පසුගිය කාලයේ සිදු කළ ඇතැම් කතා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිපදෙනකුගේ දැඩි අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන ජාතික ජනබලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම්වලදී ලාල්කාන්ත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

“ අනෙකුත් දේශපාලන පක්ෂ ගැන අනෙකුත් දේශපාලඥයන් ගැන වැරදි අපි කතා කරනවා. අපේ අතිනුත් වැරදි වෙලා ‍තියෙනවා. ඒවා ගැන අපි කතා නොකරන්නේ ඇයි? ඒවා ගැනත් අපි කතා කරන්න ඕන”යනුවෙන් ලාල්කාන්ත ප්‍රකාශ කර තිබුණි.

ලාල් සහෝදරයාගේ මෙම කතාව තම පක්ෂයට අවාසි බවත් ආණ්ඩුවේ ඇතැම් මාධ්‍ය මේ කතා අල්ලාගෙන ප්‍රහාර එල්ල කරන නිසා ලාල් සහෝදරයා ටික කාලයකට රැස්වීම්වල කතා කිරීමෙන් වැළකිය යුතු බවටත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ.

සංචාරක ව්‍යාපාරිකයන් වජිරට කියූ දේ

දකුණු පළාත් සභාවේ රුහුණු සංචාරක මණ්ඩලය විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, දකුණු පළාත් නගර සභාව හා හික්කඩුව දිස්ත්‍රික් ලේකම් සංවිධානය සමඟ එක්ව හික්කඩුව මුහුදු තීරයේදී සංවිධානය කරනු ලැබූ” හික්කා ෆෙස්ට් – 2023″ වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙලිය පසුගිය සෙනසුරදා දින සන්ධ්‍යා කාලයේදී ආරම්භ වුණි.

මෙම ආරම්භ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

දේශීය, විදේශීය ආහාර පාන, දේශීය අත්කම් නිර්මාණ ආදී වෙළඳ කුටි රැසකින් සමන්විත තිබූ මෙම අවස්ථාවට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් සහභාගීව සිටියහ.

සැණකෙලි භූමියට පැමිණි වජිර එම අවස්ථාවට සහභාගි වී සිටි දේශීය විදේශිය සංචාරකයන් සමඟ මෙන්ම වෙළඳ කුටි හිමියන් සමඟ ද සුහද කතා කිරීමට අමතක කළේ නැත.

රනිල් වෙනුවෙන් හිටගත් වජිරට බැණුම්

ලංකාවේ දේශපාලනය තුළ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා සහභාගි නොවූ කිසි කෙනෙක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. එම උද්ඝෝෂණ නිසා රටට වුණු පාඩුව ගණන් හදලා බැලුවොත් ඩොලර් බිලියන ගණනක්. ඒ කියන්නේ මේ සා විශාල මුදල් ප්‍රමාණයක් විනාශ කරලා තිබෙනවා.

බොළඳ කතාවලින් මින් ඉදිරියට කාටවත් මේ රට පාලනය කරන්න බැහැ.

බොහොම අමාරවෙන් අපි මේ රට දැන් යම් තැනකට ගෙනත් තිබෙනවා. තවමත් මහජනයාට තිබෙන ප්‍රශ්න අවසන් වෙලා නැහැ. ඒ ප්‍රශ්න සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසන් කරනවා. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමයි මීට අවුරුදු කිහිපයකට කලින් මම කිව්වේ පාර්ලිමේන්තුව වහලා දාලා තනි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට භාරදෙන්න කියලා විශ්වාසයක් ඇතිවයි මම ඒ දේ ප්‍රකාශ කළේ. මෙහෙම කිව්වම සමහර අය මට බැන්නා. ඒකට කමක් නෑ. නමුත් මම කිව්වේ සත්‍ය.

නමුත් අපිට වෙනත් පාරක් නැහැ රට ඉදිරියට ගෙනියන්න. වෙන පාරක් තිබුණා නම් තනි ආසනයේ රනිල් වික්‍රමසිංහ මහත්මයට ජනාධිපති වෙන්න බැහැ. වෙන පාරක් නැහැ. තිබෙන එකම පාරේ තමයි අපි මේ යන්නේ…. යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

කිරිවන්දෙනිය, අජිත් රාජපක්ෂට කියූ දේ

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට පැමිණි සණස නිර්මාතෘ පී. ඒ. කිරිවන්දෙනිය ඇතුළු සණස නිලධාරීන් පිරිසක් නියෝජ්‍ය කථානායක කාර්යාලයට පැමිණියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හමුවීමටය.

ආගිය තොරතුරු සහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරමින් සිටින විට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ කිරිවන්දෙනිය මහතාට හොඳට අනාවැකි කිව හැකි බවයි.

“ඇයි නියෝජ්‍ය කථානායකතුමා එහෙම කියන්නේ” යනුවෙන් විමසුවේ “සණස” නිර්මාතෘ කිරිවන්දෙනියයි.

“ඔබතුමා එදා සණස ජාතික සමුළුවේදී ජනාධිපතිතුමා ඉස්සරහදීම කිව්වානේ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය ගැන. ඒක හරියටම වුණොත් මං පාර්ලිමේන්තුවේ මුලාසනයේ ඉන්නකොට. එදා පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නැති වුණා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

ඒකනේ. නියෝජ්‍ය කථානායකතුමා මං එදා කිව්වේ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණයට වඩා සණස සමිතිවල ඝණ පුර්ණය හොඳයි කියලා” යනුවෙන් උස් හඬින් සිනාසෙමින් සණස නිර්මාතෘ කිරිවන්දෙනිය සඳහන් කළ කතාවට සියලු දෙනා සිනාසුණහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division