Home » යුක්තියේ මෙහෙයුමෙන් දින 6ට 10,456ක් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමෙන් දින 6ට 10,456ක් අත්අඩංගුවට

by Mahesh Lakehouse
December 23, 2023 12:35 am 0 comment

මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් දුරු කිරීමේ අරමුණින් යුතුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මඟින් ඉකුත් 17 වැනිදා ආරම්භ කළ ‘යුක්තිය‘ විශේෂ මෙහෙයුම ඉකුත් දින 6 තුළ සාර්ථකව රට පුරා ක්‍රියාත්මක විය.

එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මේ මෙහෙයුම යටතේ ඉකුත් සිකුරාදා වන විට තහනමට ගත් වාහන සහ දේපළවල මුළු වෙළෙඳ වටිනාකම කෝටි 14කට ආසන්න වේ. විදේශගතව සිට ඉතා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිත කර වාහන හා දේපළ මෙසේ මිල දී ගෙන තිබේ.

නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් තහනමට ගත් වාහන සහ දේපළ අතර බහුදින යාත්‍රා, මහල් කිහිපයකින් යුතු ගොඩනැඟිලි, වෑන්, ජීප් සහ මෝටර් රථ මෙන්ම රත්තන් පවුම් 30ක් ද වේ.

ඉකුත් 17 වැනිදා සිට 22 වැනිදා දක්වා යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කරන ලද මෙහෙයුම්වලදී සැකකරුවන් 10,456ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 517ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය අතර හොරොයින්, අයිස්, හෂිස්, කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,665ක් අතරෙන් මේ වන විට සැකකරුවන් 885ක් අත්අඩංගුවට ගෙන තිබේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division