Home » ඩයලොග් ශිෂ්‍යත්ව වැඩසටහන වසර 20ක සහයෝගිතාව අලුත් කරයි

ඩයලොග් ශිෂ්‍යත්ව වැඩසටහන වසර 20ක සහයෝගිතාව අලුත් කරයි

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකීය සිසුන් සඳහා සම අධ්‍යාපන ප්‍රවේශ උදා කිරීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ක්‍රියාවට නංවන, ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන ඉකුත් දා සිය අභිමානවත් 20 වැනි වසර සපුරනු ලැබිණි. ඊට සමගාමීව විසි වසරක් තිස්සේ මෙම වැඩසටහන සඳහා ඩයලොග් සමඟ අඛණ්ඩව අත්වැල් බැඳගෙන සිටින අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන එකඟතා ගිවිසුම ද ඉකුත් දා නැවත වරක් අලුත් කරනු ලැබීය.

ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි වසර සමරමින් එම එකඟතා ගිවිසුම අලුත් කෙරුණේ, 2023 වසරේදී දිස්ත්‍රික් ප්‍රථමයන් ලෙස තේරී පත්වූ සිසුන්, ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා බඳවා ගනිමිනි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති එම උත්සවයේදී, අ.පො.ස උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයන් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 81 දෙනකු සහ, සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටයන් 77 දෙනකු සඳහා කුසලතා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන වසර 2002දී ආරම්භ වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් දිස්ත්‍රික් ප්‍රථමයන් බවට තේරී පත් වූ සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ඉකුත් විසි වසර පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. දිවයින පුරා සිසුන්ගේ අධ්‍යාපනික දක්ෂතා ඇගැයීමට ලක්කරමින් ක්‍රියාත්මක වන ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් මේ වනවිට රුපියල් මිලියන 120කට වටිනාකමෙන් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.

ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ඩයලොග් ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන් සඳහා වූ මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ ගිවිසුම අලුත් කළේ වැඩසටහන තවත් පුළුල් කරමින් බවයි. ඩයලොග් ආසිආටා පීඑල්සීහි, සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සඳහන් කළේ අධ්‍යාපනයෙන් සුවිශේෂී දක්ෂතා දක්වන, අවශ්‍යතා සහිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ඔවුන් ඉදිරි පරම්පරාවේ නායකයන් හා සමාජය වෙනස් කරන්නන් ලෙස සවිබල ගැන්වීම සිය අරමුණ බවයි. එමෙන්ම වසර 20 ක් පුරා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ක්‍රියාවට නැංවූ මේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ගිවිසුම අලුත් කිරීමෙන් සිසු දරු දැරියන් සඳහා අධ්‍යාපනයේ සමප්‍රවේශ ඇතිකිරීමේ සිය සහයෝගිතා දැක්ම යළිත් වරක් තහවුරු කරන්නටත් ඔවුන්ට හැකිවූ බව යි.

ශ්‍රී ලාංකික සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනය නඟාසිටුවමින් සමඅධ්‍යාපන ප්‍රවේශ උදාකර දීමට කටයුතු කරන ඩයලොග්, ඒ වෙනුවෙන් මේ දක්වා රුපියල් බිලියනය ද ඉක්මවා ගිය මුදලක් ආයෝජනය කර ඇත. නැණස ටීවී හා නැණස ස්මාර්ට් පාසල් වැඩසටහන ඒ යටතේ ක්‍රියාවට නැංවෙන වැඩසටහන් ද්විත්වයකි. මෙම ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන මඟින්ද, මෙරට පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනය සඳහා සමප්‍රවේශය උදා කරන ඩයලොග්හි අරමුණ, එමගින් සිසු දක්ෂතා ඇගයීම පමණක්ම නොවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division