Home » මායා දැල මගේ ජීවිතයේ විශාල පිම්මක්

මායා දැල මගේ ජීවිතයේ විශාල පිම්මක්

by Mahesh Lakehouse
December 16, 2023 12:29 am 0 comment

2006 වසරේ සිය කුලුදුල් ගද්‍ය නිර්මාණය වූ අවුකන විහාරය සහ සෙල් පිළිමය කෘතිය එළි දැක් වූ ඔහු එතැන් පටන් විහඟ තරු කාව්‍ය සංග්‍රහය, කොරළේ රාල නොහොත් කුසුමා කෙටි කතා සංග්‍රහය, බාලොලියා, ආල ට්‍රැක්ටරේ, රණ හංසයෝ, මේ රැය උණුසුම්, කහ කිරිල්ලියක්, ජීවිතේ ගිරි කුළක් ආදී ගද්‍ය පද්‍ය නිර්මාණ රැසක් කලා ලොවට දායාද කළ තවත් දක්ෂ කලාකරුවෙක්. මේ දිනවල වේදිකාගත වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමවූ මයා දැල වේදිකා නාට්‍යයටද සිය රංගන දායකත්වය ලබාදෙන ඔහු නමින් කසුන් කාරියවසම්.

කවුද මේ කසුන් කාරියවසම් කියන්නේ ?

කසුන් කියන්නේ සරල මනුස්සයෙක්. ඒ වගේම බොහෝ දේවල් සම්බන්ධයෙන් නිහඬව බලාගෙන ඉඳලා ඒවා නිර්මාණ විදිහට එළිදක්වන්න බලාගෙන ඉන්න පුද්ගලයෙක්.

මායා දැල වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මායා දැල වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මහතාගෙන් මට ආරාධනයක් ලැබෙනවා මයා දැල වේදිකා නාට්‍යය සමඟ රංගනයෙන් එකතු වෙන්න. ඒ නාට්‍යයේ මට ලැබෙන්නේ වේටර්වරයෙකුගේ රංගන කොටසක්. ඒත් ඒ රංගන කොටසම නෙමෙයි මගේ ප්‍රධාන භූමිකාව වෙන්නෙ, වේදිකා පරිපාලනය කියන භූමිකාව.

කසුන් වඩාත් කැමති ඔබව කොයි විදිහට ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නවටද?

මම වෘත්තීමය වශයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ සේවය කරන්නේ. වෘත්තිය ඇතුළේ අපිට ලැබෙන ඒ මහත්මා ගරුත්වය කියන්නේ තාවකාලික දෙයක්. හේතුව රැකියාවෙන් එළියට ආවට පස්සේ මාත් සාමාන්‍ය පුද්ගලයෙක්. ඒ නිසා මම කැමතියි මිනිස්සු මාව කාටවත් කරදරයක් නැති කලාකරුවෙක් විදිහට හඳුනා ගන්නවට.

ඔබේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම මායා දැල නාට්‍යය කොහොමද ඔබට දැනුණේ ?

මට කවදාවත් වේදිකා නාට්‍යයක රංගන ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් මට කලාවේ වැඩ කීපයක් කරන්න ඕන කියන ආශාව තිබුණා. විශේෂයෙන්ම මට ලොකු කැමැත්තක් තිබුණා නිවේදකයෙක් වෙන්න. පසුකාලීනව නිවේදකයෙක් වීම කොහොම වුණත් විවිධ නාළිකාවලට ගිහිල්ලා ආරාධිතයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. පොත්පත් සම්බන්ධයෙන් සහ ගීත විචාරය කරන්න අවස්ථාව ලැබුණා. කොහොම වුණත් මායා දැල නාට්‍ය කියන්නේ විශේෂ

නිර්මාණයක්. ඊට හේතුව මේ නාට්‍යය සංගීතය සමඟ තමයි විකාශනය වෙන්නේ. කොහොම වුණත් මායා දැල නිර්මාණය හරහා ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන්ව මුණ ගැහෙන්න මට අවස්ථාව ලැබුණා. වේදිකා නාට්‍යයක් කියන්නේ ලොකු අභියෝගයක්. හේතුව එහි තියෙන්නේ සජීවී ඉදිරිපත් කිරීම්. විශේෂම දේ තමයි අපි ප්‍රේක්ෂකයන්ට දැනවීම කළ යුතුමයි. මම හිතනවා මායා දැල වේදිකා නාට්‍ය කියන්නේ මගේ ජීවිතයේ විශාල පිම්මක්.

මේ දිනවල ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මාව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ හඳුනගෙන තියෙන්නේ කවියෙක් විදියට. ඒ වගේම කෙටි කතාකරුවෙක් දේශකයෙක් විහට. ඉතිං මායා දැල කියන්නේ මගේ කුලුදුල් වේදිකා නාට්‍ය අත්දැකීම ඒ නිසාම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මට ලොකු මඟ පෙන්වීමක් කරනවා. මම සකස් කර ගත යුතු දේවල්, තවදුරටත් අධ්‍යයනය කළ යුතු දේවල් පිළිබඳව කොහොම වුණත් මේ වෙද්දි සුභවාදී ප්‍රතිචාර බොහෝමයක් ලැබෙමින් තියෙනවා.

ඔබේ ගමනට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලේ මගේ අම්මා, බිරිඳ සහ කුඩා දියණිය සිටිනවා. මගේ පියා ජීවතුන් අතර නැහැ. ඇත්තටම මගේ පවුලේ අයගෙන් මගේ මේ ගමනට විශාල ශක්තියක් ලැබෙනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?

ඉදිරියේදිත් මම නොනවත්වා මගේ නිර්මාණ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම සහ එංගලන්තයේ ඉන්න මගේ සහෝදර ලේඛිකාවක් එකතුවෙලා පර්යේෂණ මට්ටමින් නවකතාවක් ලියාගෙන යනවා. ඒ වැඩ කටයුතුත් ඉතාම ඉක්මණින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division