Home » ඒ ආදරය අමතක කරන්න බෑ

ඒ ආදරය අමතක කරන්න බෑ

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

– මම ගී ගැයුවේ මගේ ආත්මතෘප්තියට
– ගායකයකු වීමට සිහින නොදැක්ක මාව ගායකයෙක් කියන තැනට ඔසවා තැබුවේ රසිකයෝ

මට ආරාධනාවක් කළා දෝ, ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්.. කලකට ඉහත ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් සහ ප්‍රසංග වේදිකාවෙන් නිතරම ඇහුණ ජනප්‍රිය ගීයක් තමයි එය. ඒ ළයාන්විත කටහඬේ අයිතිකරු වෙන්නේ වරදත්ත අරවින්ද නම් ප්‍රවීණ ගායන ශිල්පියා. මෑත කාලයේ ඔහුගෙන් නිර්මාණයක් දකින්න නැති නිසාම රසඳුන අපි ඔහුව සොයා ගියේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයා ගෙන.

අරවින්ද කොහොමද ගායන දිවිය පටන් ගත්තේ.

මට ගායකයෙක් වීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් කුඩා කාලයේ ඉදන්ම මට තාල භාණ්ඩ වාදනය කිරීමේ දක්ෂතාවයක් තිබුණා. වයස අවුරුදු 10 දී මම තබ්ලා වාදනය කරලා තියනවා. මම හිතන්නේ මේ සියල්ලම මට ලැබුණේ පරම්පරා උරුමයක් විදිහට. මගේ පියා, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ, ජයන්ත අරවින්ද. තාත්තා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය බොහොමයක සංගීත නිර්මාණය කළා.

මගේ සීයා, කලාසූරී වින්සන්ට් සෝමපාල. රෝහණ බැද්දගේ මගේ මහප්පා වෙනවා. මේ පරිසරය තුළින් තමයි වරදත්ත අරවින්ද කියන ගායකයා බිහිවෙන්නේ. ඒ කාලේ අපේ පවුලේ සංගීත කණ්ඩායමක් තිබුණා. මගේ අයිය, වජිර පානි අරවින්ද- ලීඩ් ගිටාරය වාදනය කළා. මහප්පගෙ පුතා, තාරක බැද්දගේ කී බෝඩ් වාදනය කළා. මිඩිල්ටන් ප්‍රනාන්දු- බේස් ගිටාරය වාදනය කළා. මම ඩ්‍රම්ස් වාදනය කළා. ඊට පස්සේ කණ්ඩායමේ සාමාජිකයන් රැකියාවලට යොමුවීමත් එක්ක සංගීත කණ්ඩායමේ කටයුතු අතරමඟ නවත්වන්න සිද්ධ වුණා.

ඔබගේ නිර්මාණ ගැන යමක් කිව්වොත්?

සංගීත කණ්ඩායමේ වැඩ නැවතුණාට පස්සේ මට හිතුණා මගේ ආත්ම තෘප්තිය සඳහා ගීතයක් ගයන්න ඕන කියලා. මගේ තාත්තාගේ සිසුවෙක් වූ දක්ෂ ගේය පද රචකයෙක් වන ප්‍රියානන්ද විජේසුන්දර ” මට ආරාධනාවක් කළාදෝ.. ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්… ගීතය ලියලා දුන්නා. එහි සංගීතය නන්දසේන කටුවාවල විසින් නිර්මාණය කළා. හැබැයි ඒ වෙනකොටත් මම ඩ්‍රම්ස් වාදකයෙක් ලෙස කටයුතු කලත් කවදාවත් මට ගායකයෙක් වෙන්න උවමනාවක් හෝ ආසාවක් තිබුණේ නෑ. මේ ගීතය එක්ක තවත් ගීත හතරක් මම පටිගත කළා. ඒ සියලුම ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය කරන්න අනුමත වුණා.TNL රූපවාහිනියෙන් මට ආරාධනාවක් කලාදෝ ගීත රූප රචනාවකට පටිගත කරන්න තෙරුණා. මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. ගීත පටිගත කිරීම් කරන විදිහ දැකලා මට රූපවාහිනී ක්ෂේත්‍රයට එන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා මම ජාතික තරුණ සේවා සභාවේ, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ශිල්ප ක්‍රම හා වීඩියෝ තාක්ෂණය, පාඨමාලාව හදාරනවා. එතැනදී මම ඉගෙන ගන්නවා තිර රචනය, ආලෝකකරණය, අධ්‍යක්ෂණය, කැමරාකරණය වගේ දේවල්. මේ අතරේ මට දැනෙනවා ආරාධනාවක් කළාදෝ ගීතය. මේ ගීතය අතිශය ජනප්‍රිය තත්වයට පත්වෙනවා. ගායකයකු වීමට සිහින නොදැක්ක මාව, රසිකයන් විසින් ගායකයෙක් කියන තැනට ඔසවා තැබුවා. “මට ආරාධනාවක් කළාදෝ” කැසට් පටය බිහිවන්නේ ඒ අනුව ඒ කැසට් පටයේ අඩංගු වූ, ” නුඹත් හරිවැඩ කරන්නේ, ඔබ සමනලියක් ” වැනි ගීත ඒ එක්කම ජනප්‍රිය වුණා.

ඇයි මේ දවස්වල නිහඬ?

සාමාන්‍ය ජීවිතයේ දකින්න ඉන්නවා. නමුත් මාධ්‍යවලට අපව අමතක වෙලා නිසා සංගීත ක්ෂේත්‍රය තුළ දකින්න නැති බව, බොහෝ දෙනෙකුට පෙනෙන්න පුළුවන්.

ඒ නිහඬ බව බිඳින්න හිතෙන්නේ නැද්ද?

නව නිර්මාණ සඳහා වර්තමානයේ මාධ්‍ය මගින් සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ.ඒක තනිකරම මුදල් මත යැපෙන දෙයක් වෙලා. විවුස්, ලයික් ,ශෙයා වලින් ගීතයේ වටිනාකම තීරණය කරනවා.ඒ නිසා මම දකින්නේ ප්‍රශස්ත නව නිර්මාණ වලට ලබෙන ප්‍රතිචාර අඩුයි. නමුත් මාගේ ආත්ම තෘප්තිය සඳහා ඉඳල හිටල නිර්මාණයක් නොකර ඉන්නෙත් නෑ. මෑතකදී, “ඉන්දීවරී” නමින් ගීතයක් නිර්මාණය කළා.

ඔබේ, මට ආරාධනාවක් කළාදෝ ගීතය, ඉතා විශාල වශයෙන් එක් එක් අය විසින් YouTube තුළ උඩුගත කර තියෙනවා දකින්නට පුළුවන්. එසේ වීම තුළින් ගීතයට හානියක් වනවාද?

ඔව්, ඒ බොහොමයක් නියමිත කොලිටි එකේ නැහැ. ඒ නිසාම මම මෑතකදී මගේ කැසට් ගීත සියල්ලම, එදා කැසට් පටයට පටිගත කරපු තත්ත්වයෙන්ම, මගේ YouTube චැනලයකට එකතු කළා. එහි ඇත්තේ නියම රසයෙන් යුතු මුල් ගීත. මේ දවස්වල මොකද කරන්නෙ?

නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරනවා. ඒ එක්කම ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයෙ උප ලේකම් වරයා වශයෙන් කටයුතු කරනවා. රැකියාවේ කාර්ය බහුලත්වය නිසා පසුගිය කාලයේ ප්‍රසංග වේදිකාවෙන් තරමක් දුරස්වී සිටියත්, නැවත ප්‍රසංග වේදිකාවේදී මා දකින්නට ලැබෙයි. ඇත්තෙම මම දැන් පූර්ණ කාළිනව ගායකයෙක් විදිහට කටයුතු කරනවා.

ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්නේ

ඔවුන් තමයි මාව ගායකයෙක් විදිහට ජනප්‍රිය කළේ. ඒ ආදරය හැමදාම මගේ හිතේ තියනවා. මම ඔවුන්ට කියන්නේ අනිවාර්යයෙන්ම මම නැවතත් ගායකයෙක් විදිහට ඒ සුපුරුදු නියම රසය ඔවුන්ට ලබා දෙන්න සූදානම්. මගේ නව නිර්මාණ ඉදිරියේදී විඳින්න කියලා සියලුම රසිකයන්ට මම ආරාධනා කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division