Home » මාව ඔසවා තබන්නේ ඔවුන්ගේ ආදරයයි

මාව ඔසවා තබන්නේ ඔවුන්ගේ ආදරයයි

by Mahesh Lakehouse
December 16, 2023 12:31 am 0 comment

– එයා‍ලගේ ආදරය වෙනුවෙන් මගේ ආදරය පිළිගන්වන්නේ ඒ විදිහට යි
– මොන වැඩ කළත් ජීවිතේ සතුට රැඳිලා තියෙන්නේ ගෙදර
– ජීවත්වීමේ සතුට මට දීම ගැන ඇයට ස්තුතිවන්ත වෙනවා

“පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී 
ඔබ මාගේ සිත රැවටූ මායාවී….”

ගැයුම, තනුව, පබැඳුම පමණක් නොව ඔහුට ම අනන්‍ය වූ ගායන විලාසය ද සිහි ගන්වන්නට ඒ ගී දෙපදය ප්‍රමාණවත් ය. සිරස සුපර් ස්ටාර් වේදිකාවට අපූරු ආලෝකයක් ගෙනා ඒ සුපිරි ගායන තරුව ඉන් වසරක ඇවෑමෙන් වෙද නළාව කර ලාගත් වෛද්‍යවරයෙකු බවට පත් වූයේ කලා රසික හදවත්වල ආශිර්වාදය ද කරපින්නාගෙන ය. කොවිඩ් වසංගතයෙන් මුළු රටක් හඬා වැටෙද්දී හරි හරියට වෛද්‍ය වෘත්තියේ රාජකාරි නොපිරිහෙලා නිදි වරමින් ඉටු කළ ඔහු රෝගීන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම උදෙසා විටෙක් වෙද නළාව කරේ තිබියදී ගිටාරය දෑත දරා ගී ගැයුවේ ය. සින්දු කියන මේ දොස්තර අන් කවරෙකුවත් නොව වෛද්‍ය ප්‍රදීප් රංගන යි.

මේ දවස්වල “සිරස වොයිස් කිඩ්ස්” නිසා කාර්ය‍බහුලයි ද?  

ඔව්. ඒක තරග විනිශ්චයකට වඩා එහා ගිය වගකීම් සම්භාරයක් සහිත භාරර කටයුත්තක්. පුංචි දරුවන්ගේ දක්ෂතා ඉදිරියට ගේනවා වගේම දක්ෂතා මතු කර ගන්න බැරි වන පුංචි පැටවුන්ගේ මනස බිඳ නොදමා එයාලට අනාගතය පිළිබඳ සුබවාදී දැක්මක් ඇති කරවීම එම තරගයේ විනිසුරු මඬුල්ලේ වගකීමක්.

ළමා මානසිකත්වය පිළිබඳ විශේෂ පුහුණුවක් මෙහිදී විශේෂයෙන් ලබා දෙනවාද?

වෛද්‍යවරයෙක් හැටියට ළමා මානසිකත්වය පිළිබඳ අවබෝධයක් මා තුළ තිබුණත් ඒ අවබෝධය වෙනස් තලයකට ගෙන යාමට මේ වැඩසටහනේදී මට සිදු වුණා. මේ වැඩසටහන ජාත්‍යන්තර වැඩසටහනක් නිසා ලංකාව ඇතුළු රටවල් රැසක ජනතාව මෙය නරඹනවා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුගතව මෙම වැඩසටහන සිදු කෙරෙනවා. ඒ සම්බන්ධ ව උපදේශනය හා නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර නියෝජිතයෙක් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා.

වරප්‍රසාද සහ පහසුකම් වැඩි වුණාට අද ළමයි රාමුගත වෙලා නේද..?

ඒක සාපේක්ෂයි. අපි ලැබූ අත්දැකීම්වලට වඩා අද ළමයින්ට දැනුම, අත්දැකීම් ලබා ගන්න බොහෝ මාධ්‍යයන් තිබෙනවා. අනාගතයේදී ඒ පහසුකම් තව වැඩි වෙයි. සංස්කෘතික සහ තාක්ෂණික වෙනසත් එක්ක අද ළමයින්ගේ දක්ෂතාත් ඉතා ඉහළ තලයක තියෙනවා. පරම්පරා ගැටුම කියන දේ හැමදාම තිබුණා. නමුත් ලෝකයේ න්‍යායන්, ධර්මතා වෙනස් වෙනවා. විද්‍යාත්මකව සොයා ගත් දේවල් පවා අද වෙනස් වෙලා තියෙනවා. අනාගතය ගොඩනැ‍ෙඟන්නේ අලුත් පරම්පරා ඊට අනුගත වන ආකාරයත් එක්කයි. නමුත් එක් පැත්තකින් දියුණු වෙද්දි තවත් පැත්තකින් පිරිහෙන්න පුළුවන්. ෆෝන් එකකින් මුළු ලෝකය ම ඇස් ඉදිරියේ දිස් වුණත් ස්ක්‍රීන් එකක් දිහා වැඩි වේලාවක් බලාගෙන සිටීම හානි කරයි. ඒ වගේ මේ හැමදේකම හොඳ නරක දෙක ම තියෙනවා. අනික අද ළමයින්ට සොබා සෞන්දර්යයත් එක්ක ගත කරන්න කාලයක් නැහැ. එයාලා එක්ක එහෙම තැන්වලට නිදහසේ යන්න එන්න තරම් විවේකයක් මවුපියන්ටත් නැහැ. මේ තත්ත්වය මනෝවිද්‍යාත්මකව හොඳ නැහැ. ස්ක්‍රීන් එකකට සිරවුණු දරුවන්ට වඩා සොබාදහමත් එක්ක ඉන්න දරුවන්ගේ නිර්මාණශීලිත්වය, පරිසරයට සහ ලෝකයට දක්වන ආදරය ඉතා ඉහළයි.

වෛද්‍ය වෘත්තියේ නිදහසක් මේ කාලයේ ඔබට තිබෙනවා ද?

කොවිඩ් කාලයට වඩා යම් නිදහස් බවක් තියෙනවා. ඒ කාලේ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩල පුදුම විදිහට කාර්යබහුල වුණා. ජීවිත අවදානමවත් නොතකා ඒ කාලේ අපි හැමෝම වැඩ කළා. ඒ කාලෙත් මම මගේ සංගීත වැඩවලින් මිදුණේ නැහැ. කවදාවත් මට සංගීතයෙන් මිදෙන්න බැහැ. යම් හේතු මත ඒ බව සමාජයට පේන්නේ නැති වෙන්න ඇති. වෛද්‍ය වෘත්තියට මම කැපවෙලා ඉන්නවා. නමුත් ජීවත් වෙන්නේ සංගීතය එක්ක.

ඔබ සංගීතය ඉගෙන ගත්තේ කාගෙන් ද…?

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සංගීත ගුරුවරයාව සිටි සරත් රාජපක්ෂ සර්ගෙන් තමයි මම සංගීතය ඉගෙන ගත්තේ. ඊට පස්සේ ජූඩ් පීරිස් සර් ළඟට ගිහින් ගිටාර් වාදනය ඉගෙන ගත්තා. පොඩි කාලේ ඉඳලා විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව මට තිබුණා. මම සංගීතය පිළිබඳ බොහෝ හැදෑරීම් කරන්නේ අන්තර්ජාලය හරහා යි. ඒ සඳහා මම දෛනික වෙලාව වෙන් කර ගන්නවා. ඒ වෙලාව ඇතුළත සංගීතය හැදෑරීම වගේම ගිටාරය, පියානෝව වාදනය කරනවා. ශබ්ද පරිපාලනය, සංගීත නිර්මාණය මේ හැම දෙයක්ම කරනවා. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණාට සංගීත කටයුතු කරන නිසා ගායනයට අමතරව සංගීතය, ඊට අදාළ තාක්ෂණය, ලෝකයේ නව ප්‍රවණතා ඉගෙනගත යුතුයි කියා මම හිතනවා. ඉදිරියට යන්න හොඳ විශ්වාසයක් ඇති කර ගන්න නම් ඒ හැදෑරීම හා පුහුණුව අත්‍යවශ්‍යයි.

මේ දේවල් එක්ක ජීවිතය කාර්යබහුල වෙලා නේද…?

ඇත්තට ම ඔව්. වෛද්‍ය වෘත්තියේ විශේෂඥතාව සඳහා අවශ්‍ය අධ්‍යයන කටයුතු කිහිපයක මේ දවස්වල නිරත වෙනවා. සිරස වොයිස් කිඩ්ස් වැඩසටහනේ එළියට පෙනෙන දේට වඩා අපට ලොකු කාර්යයන් පැවරිලා තියෙනවා. ඒ ළමයින්ට ගීත තෝරන්න, පුහුණු කරවන්න, එයාලගේ මනස හදන්න තව ගොඩාක් වැඩ තියෙනවා. ඒ වගේ ම එයාලා ළමයි නිසා, ළමයින්ගේ අව්‍යාජත්වයත් එක්ක අපි මානසිකවත් ඒ වැඩසටහනට බැ‍‍‍‍ඳෙනවා. එතැන නැති වෙලාවට වුණත් ඒ ගැන හිතෙනවා. මේ නිසා මානසික අවිවේකී බවත් වැඩියි.

මේ තරම් අවිවේකී ජීවිතයක් ඔබගේ බිරිය හා දරුවා ඉවසීමෙන් දරා ගන්නේ කොහොමද…?

කොතැනක මොන කාර්යයක නිරත වුණත් අපි දෙන්නා ජීවිතයේ එකට ඉන්නවා කියන බැඳීම අපි දෙන්නා අතර තියෙනවා. මගේ බිරිය චතුරිකා ප්‍රසාදිනී මං වෙනුවෙන් කරන කැප කිරීම අද කාලේ ගැහැනු කෙනෙකුට කරන්න පුළුවන් ද කියලා මට හිතන්නවත් බෑ. ඇය ගුරුවරියක් හැටියට කටයුතු කරමින් ඉඳලා මං නිසා එයින් ඉවත් වෙලා මගේ සතුට හා නිදහස වෙනුවෙන් කැපවුණා. එවැනි බිරියක් ලැබීම ගැන මම අවංකව ම මගේ හදවතින් ම සතුටු වෙනවා. වර්තමාන සමාජය දිහා බැලුවාම එවැනි සතුටක් මට ලැබීම මගේ භාග්‍යයක් කියලා මම හිතනවා. ජීවත්වීමේ සතුට මට දීම ගැන ඇයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ බැඳීම අපේ දුව ශාවරී යශෝර්යා නිසා තවත් වැඩි වුණා. එයාට දැන් වයස අවුරුදු හතරයි. මොන වැඩ කළත් අවසානයේ ගෙදරට එන්නේ මගේ ජීවිතයේ සතුට රැඳිලා තියෙන්නේ ගෙදර නිසා යි.

කාලෙකින් අලුත් නිර්මාණයක් එළියට ආවේ නැහැ නේද…?

මගේ ගීතවලට පද රචනය කරන්නේ, තනුව හා සංගීත සංයෝජනය කරන්නේ මමමයි. ඒ සඳහා ලොකු කාලයක්, කැපවීමක් මම දරනවා. හොඳ ම දෙයක් මගේ ආදරණීය රසික පිරිසට තිළිණ කරන්න මං උත්සාහ කරනවා. ඉදිරි මාස දෙක ඇතුළත මගේ අලුත් ම නිර්මාණය ජනගත කරනවා. මගේ ‘ජීවිතේ චාරිකා’ ගීතය කරලා වසර දෙකක් පමණ කාලයක් ගත වුණා. එච්චර ලොකු කාලයක් මං වෙනුවෙන් ඉවසගෙන බලාගෙන සිටින මගේ ආදරණීය රසික පිරිසට තව මාස දෙකක් ඉවසන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගීත නැතත් එයාලා මට ආදරය කරනවා. ඒ ආදරය සංගීත ක්ෂේත්‍රයේ මාව ඔසවා තබන්නේ එයාලාගේ ආදරය යි. මං ජීවත්ව සිටිනතුරා මගේ රසික පිරිස වෙනුවෙන් මම නිර්මාණ කරනවා. හැමෝටම සතුටින් රසවිඳින්න පුළුවන් ආදර ගීතයක් තව මාස දෙකකින් ජනගත කරනවා. එයා‍ලාගේ ආදරය වෙනුවෙන් මගේ ආදරය පිළිගන්වන්නේ ඒ විදිහට යි. මගේ අලුත් ගීතය එයාලා ආදරයෙන් පිළිගනී කියලා මං විශ්වාස කරනවා.

තුෂාරි කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division