Home » විකී කෞෂාල්ගේ අලුත්ම රංගනය ගැන සචින් ‌ෙටන්දුල්කාර් කියන්නෙ මෙහෙමයි

විකී කෞෂාල්ගේ අලුත්ම රංගනය ගැන සචින් ‌ෙටන්දුල්කාර් කියන්නෙ මෙහෙමයි

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment
කසුන් අරවින්ද

ජනප්‍රිය බොලිවුඩ් නළු විකී කෞෂාල් මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වන චරිතයක් බවට පත්ව සිටිනවා. ඊට හේතුව ඔහු රඟපාන අලුත්ම සිනමාපටය මේ වෙද්දී ප්‍රදර්ශනය වෙමින් තිබීම යි. මේ සිනමාපටයේ නම සෑම් බහදූර්.

මෙහි විකී නිරූපණය කරන්නේ ඉන්දියාවේ සිටි සුප්‍රකට හමුදා නිලධාරියකු වූ සෑම් බහදූර්ගේ චරිතය යි. ඔහු එම චරිතය රඟපා ඇති ආකාරය ගැන මේ වන විට බොහෝ ප්‍රේක්‍ෂකයන්ගෙන් මෙන්ම විචාරකයන්ගෙන් ද පැසසුම් හිමි වෙමින් තිබෙනවා. ඔහුගේ රංගනය වර්ණනා කළ අය අතර සුවිශේෂී කෙනකු වූයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්දුල්කාර්.

විශේෂ ආරාධිතයන් වෙනුවෙන් පැවති සිනමා දර්ශනයක් නැරඹීමට සචින් ද ඔහුගේ බිරිය අංජලීත් සමඟ පැමිණ සිටියා. එදින සිනමාපටය නැරඹීමෙන් පසු සචින් විකීගේ රංගනය මහත් ඉහළින් වර්ණනා කර තිබෙනු දැකිය හැකි වුණා. චිත්‍රපට දර්ශනයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එකට පෙනී සිටිමින් ගත් ඡායාරූප ද මාධ්‍ය තුළ පළ වී තිබුණා.

“මෙය ඉතාම හොඳ සිනමාපටයක්. එහි විකීගේ රඟපෑම මා තුළ විශාල බලපෑමක් ඇති කළා. මට දැනුණේ ෆීල්ඩ් මාර්ෂල් සෑම් බහදූර් ඇත්තටම ඉන්නවා වගෙයි. විකීගේ ඉරියව්, ශරීර භාෂාව සැබැවින්ම අපූරුයි. මෙය අපේ සෑම පරම්පරාවකම අය නැරඹිය යුතු නිර්මාණයක්. අපේ ඉතිහාසය ගැන අවබෝධයක් මෙයින් ලබා ගත හැකියි” සචින් සඳහන් කර තිබුණා.

සචින් මේ ආකාරයෙන් තමාගේ රංගනය අගය කිරීම විකී තුළ මහත් සතුටක්, සංවේදී බවක් ඇති කර තිබෙනු දකින්න ලැබුණා. ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ ඒ ගැන සටහනක් ද තබා තිබුණා. “මගේ ළමා වියේ වීරයා අද මගේ චිත්‍රපටය නැරඹුවා. ඔබගේ කාරුණික වදන්වලට ස්තුතියි සචින් ටෙන්දුල්කාර් සර්. එය මගේ ජීවිත කාලය පුරාම මට මතක තිබෙනු ඇති”.

සැබැවින්ම සචින් වැනි දැවැන්තයක‍ෙග් අැගැයුමට පාත්‍ර වීම විකී වැනි නව පරපුරේ නළුවකු තුළ විශාල ආත්ම විශ්වාසයක්, ශක්තියක් ඇති කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මෙම සිනමා පටයේ විකී රඟපාන චරිතයට පසුබිම් වන සෑම් බහදූර් (සෑම් මනෙක්ෂෝ) ඉන්දියානු යුද හමුදා ඉතිහාසයේ අතිවිශේෂ චරිතයක්. එරට ඉතිහාසය තුළ ෆීල්ඩ් මාර්ෂල් ධුරයට පත් කෙරුණු පළමු හමුදා නිලධාරියා ඔහු යි. සෑම් බහදූර්ගේ හමුදා සේවය ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේ යි. එයින් පසු දශක හතරක කාලයක් ඔහු යුද හමුදාවේ සේවය කළ අතර ඉන්දියාව සම්බන්ධ වූ යුද්ධ පහකදී ම ඔහු සිය සේවය ලබා දුන්නා. සෑම් බහදූර් 1969 වසරේ හමුදාපති ධුරයට ද පත් වුණා. 1971 වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධයේ දී ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙය වූ හමුදා නායකයා ලෙස ඔහු විශේෂයෙන් ගෞරවයට පාත්‍ර වෙනවා.

ඉතිහාසයේ මේ තරම් ගෞරවයක් දිනාගත් සැබෑ චරිතයක් සිනමාපටයක් තුළ නිරූපණය කිරීම නළුවකුට ඉතා අභියෝගාත්මක වගකීමක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වන විට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙන්නේ විකී කෞෂාල් එම අභියෝගය සාර්ථකව ජයගෙන ඇති බව යි. සෑම් බහදූර් සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ මෙග්නා ගුල්සාර්.

මේ වන විට 35 වැනි වියෙහි පසු වන විකී ඉතා දීප්තිමත් අනාගතයක් හිමි නළුවකු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් ඔහු ජීවිතයේ මුල් කාලයේ නළුවකු වීමට සිතාගෙන සිටි කෙනකු නොවන බවයි සඳහන් වන්නේ. විකීගේ පියා ෂාම් කෞෂාල් ක්‍රියාදාම ජවනිකා අධ්‍යක්‍ෂවරයකු ලෙස සිනමාවට සම්බන්ධ වී සිටි කෙනකු වුවත් තම පුතා සිනමාවට සම්බන්ධ වෙනවාට ඔහු තුළ කැමැත්තක් තිබී නැහැ. මේ නිසා විකී අධ්‍යාපනය ලබා තිබුණේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයකු වීමට යි. එම විෂයය සම්බන්ධයෙන් උපාධියක් ලබා ගැනීමට පවා ඔහු සමත් වුණා. නමුත් පසු කාලයේ විකී මෙම ක්‍ෂේත්‍රයේ රැකියාවක් කිරීමට ගිය අවස්ථාවේ ඔහුට හැඟී තිබුණේ එවැනි රැකියාවක් තමාට සුදුසු නැති බවයි. එයින් පසුව ඔහු විවිධ සිනමා ආයතනවලට සහ නාට්‍ය කණ්ඩායම්වලට බැඳී රංගනය හදාරන්නට පටන්ගෙන තිබුණා. සාර්ථක නළුවකු වීම දක්වා ආ ගමන ආරම්භ වී තිබුණේ ඒ ආකාරයෙනුයි.

චිත්‍රපට නැරඹීම කුඩා වියේ සිටම විකීගේ ප්‍රියතම විනෝදාංශයක් වූ බවත් පැවසෙනවා.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමටත් විකී ඒ කාලයේ කැමැත්තක් දැක්වූවා ලු. කලින් ද සඳහන් කළ ලෙස සචින් ඔහුගේ ළමා කාලයේ වීරයකු වූයේත් ඒ නිසා විය හැකියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division